Print this page

යේසුස්වහන්සේ තමාගේ නාමය උරුම කර ගත්තේ කෙසේද?- යෝෂා මනූ
November 13, 2022 Sunday Sermon Notes

යක්ෂයා නිතරම ඔබ පරාජිතයෙකු බව පෙන්වීමට උත්සාහ කරයි. නමුත් ඔබ ජය ගත්තෙකු බව පැවසිය යුතුයි.

"මා තුළ තිබෙන ඇදහිල්ලෙන් මා ජයගත් කෙනෙකු" බව ඔබ පවසන්න.

මා තුළ සිටින තැනැන්වහන්සේ ලෝකයේ සිටින තැනැත්තාට වඩා බලවත් බව බයිබලයේ පවසයි. 1 යොහන් 4:4

1 යොහන් 5:4
මක්නිසාද දෙවියන්වහන්සේගෙන් උපන් යමක් ඇද්ද එය ලෝකයෙන් ජයගන්නේය. ලෝකයෙන් ජයගෙන තිබෙන්නේ අපේ ඇදහිල්ලය.

ලෝකයෙන් ජය ගත්තාවූ ඇදහිල්ල ඔබ තුළය.

යේසුස්වහන්සේගේ නාමය බලවත්ම නාමයයි.

මනුෂ්‍යයෙකුට ගැළවීම ලබා ගත හැකි වන්නේ යේසුස්වහන්සේගේ නාමයෙන් පමණි.

යේසුස්වහන්සේ ඒකජාතක පුත්‍රයා ලෙස සෑම දේව දූතයෙකුට වඩා උත්කෘෂ්ට නාමයක් උරුම කර ගත්සේක.

පියාණන්වහන්සේටත්, සභාවටත්, සාතන්ටත් මෙම නාමයේ තේරුම කුමක්ද කියා අපි බලමු.

පියාණන්වහන්සේ යේසුස්වහන්සේගේ නාමය තුළ වස්තුව, සම්පත, තේජස, බලය හා ආධිපත්‍යය තැන්පත් කර තිබේ.

ඒ නාමය සමඟ යේසුස්වහන්සේ උසස්ම තනතුරට පත්වූසේක. මෙම අති මහත්, නාමය පිටුපස ක්‍රියා කරන බලය, ආධිපත්‍යය, චරිතය ස්වභාවය, ප්‍රසිද්ධත්වය අපගේ මේ කුඩා මනසින් අපට වටහා ගත නොහැකියි.

හෙබ්‍රෙව් 1:1‭-‬4
1 දෙවියන්වහන්සේ ආදි කාලයෙහි බොහෝ කොටස්වලින්ද බොහෝ අන්දම්වලින්ද ප්‍රොපේතවරුන් ලවා පියවරුන්ට කථාකරවා,
2 මේ දවස්වල කෙළවරදී පුත්‍රයාණන් ලවා අපට කථාකෙරෙවුසේක. උන්වහන්සේව සියල්ලට උරුමක්කාරයා කළසේක, උන්වහන්සේ කරණකොටගෙන ලෝකවල් සෑදූසේක.
3 උන්වහන්සේ දෙවියන්වහන්සේගේ මහන්තත්වයේ ප්‍රභාවයද උන්වහන්සේගේ දේවත්වයේ ස්වරූපයද වනසේක්, තමන්ගේ බලපරාක්‍රමයේ වචනයෙන් සියල්ල දරමින්, පව් ගැන පවිත්‍රවීමක් කළ පසු, උසස්ථානවල මහෝත්තමයාණන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්සේක.
4 මෙසේ දේවදූතයන්ට වඩා උත්කෘෂ්ට නාමයක් උන්වහන්සේට උරුමව තිබෙන ලෙසම ඔවුන්ට වඩා එපමණ උතුම්වූසේක.

2 වන පදයට අනුව, අන්තිම කාලයේ දෙවියන්වහන්සේ ඔබට කථාකරනුයේ යේසුස්වහන්සේ තුළිණි. අපි උන්වහන්සේගේ හඬ අසමු.

යේසුස්වහන්සේව සියල්ලටම උරුමක්කාරයා ලෙස දෙවියන්වන්සේ පත්කර ඇත.

මේ විශ්වයම අයිති වන්නේ යේසුස්වහන්සේටය.

හෙබ්‍රෙව් 4:3 වන පදය - මහන්තත්වයේ ප්‍රභාවය යනු උන්වහන්සේගේ බැබලෙන්නාවූ තේජාලංකාරය හා දීප්තියයි.

උන්වහන්සේ සූර්යයාට වඩා බැබළෙන්නාවූ තැනැන්වහන්සේය.

යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ දේවත්වයේ සැබෑ ස්වභාවය නැතහොත් ස්වරූපය වනසේක.

යේසුස්වහන්සේ තමන්ගේ බලගතු වචනයෙන් මේ මුළු විශ්වයේ සියල්ලම දරමින් සිටිනසේක.

එළිදරව් 22:16 යේසුස් වන මම සභාවන් උදෙසා මේ දේවල් ගැන නුඹලාට සාක්ෂිදෙන්ට මාගේ දූතයා එවීමි. මම වනාහි දාවිත්ගේ මුල සහ වංශයය, දීප්තිමත් පහන් තාරකාවය.

යේසුස්වහන්සේ අපගේ පව් ගැන පවිත්‍රවීමක් කළ පසු දෙවියන්වහන්සේ උන්වහන්සේව උසස්ථානවල හිඳුවා මේ උත්කෘෂ්ට නාමය දෙනු ලැබුවේය.

ආදම් සහ ඒව දෙවියන්වහන්සේට අකීකරුවී තහනම් ගසෙන් ඵල කෑමෙන් පසු මුළු මනුෂ්‍ය සංහතියටම පව්කාර ස්වභාවය හිමි වුණා. ඒ තුළින් දෙවියන්වහන්සේත් මනුෂ්‍යයාත් අතර තිබූ සබඳතාවය මිය යන ලදි.

එය නැවත පිහිටුවන පිණිස දෙවියන්වහන්සේ යේසුස්වහන්සේව මෙළොවට එවූසේක.

දෙවියන්වහන්සේ එතුමන්ගේ ඒකජාතක පුත‍්‍රයා මෙළොවට එවා යේසුස්වහන්සේ තුළින් පව් ගැන පවිත‍්‍රවීමක් කළසේක.

යේසුස්වහන්සේ මෙළොවට පැමිණෙන්නට පෙර, බයිබලයේ පරණ ගිවිසුමේ පවසන්නේ, උත්තම පූජකයන් විසින් සෑම වසරක් පාසා බැටළුවන්, එළුවන් සහ වස්සන් මරා දමා ඔවුන්ගේ ලේ පූජාවක් කොට තමුන්ගේ පාපය වසා දමන පිණිස සමාව ලබා ගන්නා ලද බවයි.

නමුත් යේසුස්වහන්සේ උන්වහන්සේගේ ලේ එකවරක් අප වෙනුවෙන් වගුරුවා එක් පූජාවක් තුළින් මනුෂ්‍යයන්ගේ පාපය මකා දමා මුළු පාපිෂ්ඨ ස්වභාවයම සම්පූර්ණයෙන්ම ඉවත් කනු ලැබූසේක.

සාතන් පවා කලක් දෙවියන්වහන්සේගේ අග‍්‍ර දේවදුතයෙක්ව සිටි සේවකයෙක් වූයේය. එහෙත් මේ ක්‍රියාව නිසා හෙබ්‍රෙව් 4:4 වන පදය පරිදි, දෙවියන්වහන්සේ යේසුස්වහන්සේට තම ඒකජාතක පුත්‍රයා ලෙස සෑම දේව දූතයෙකුටත් වඩා උත්කෘෂ්ට නාමයක් උරුම කර දී උසස්කොට තැබූ සේක.

උත්කෘෂ්ට නාමය යන්නෙන් අර්ථවත් වන්නේ කීර්තිමත්, ශ්‍රීමත් ශ්‍රේෂ්ඨම, උතුම්ම, උසස්තම, අනර්ඝ, උත්තරීතර සහ ඉතා යහපත් යන්නයි.

මතෙව් 1:21
ඈ පුත්‍රයෙකු බිහිකරන්නීය; උන්වහන්සේට යේසුස් යන නාමය තබන්න (හඬ ගසන්න); මක්නිසාද තමන්ගේ සෙනඟ ඔවුන්ගේ පාපවලින් ගළවන්නේ උන්වහන්සේයයි කීවේය.

ලූක් 1:31 බලව, නුඹ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකරන්නීය, උන්වහන්සේට යේසුස් යන නාමය තබන්න (හඬ ගසන්න);

"යේසුස්" යන නාමයේ අර්ථය: ගැළවුම්කරු.

යේසුස් යන නාමයේ හෙබ්‍රෙව් අර්ථය යෝෂුවා. එනම්: යෙහෝවා ගැළවුම්කරුය. උන්වහන්සේ මනුෂ්‍යයන්ව පාපයෙන් ගැළවීම ලබා දෙන්නට පැමිණි ගැළවුම්කරුතුමාණන්ය.

පරණ ගිවිසුමෙහි දෙවියන්වහන්සේ උන්වහන්සේගේ යෙහෝවා නාමයන් කිහිපයක්ම පෙන්නුම් කර ඇත.

යොහෝවා යීරේ, යෙහෝවා රාෆා, යෙහෝවා ෂාලොම්, යෙහෝවා ෂාමා යනාදී වශයෙන් මිදීමේ නාමයන් තුළින් ස්වාමීන්වහන්සේ ප්‍රකාශ වූසේක.

නමුත් නව ගිවිසුම තුළ "යේසුස්වහන්සේ" යන නාමයෙන් ගැළවුම්කරු ලෙස එළිදරව් වූයේය.

අපට සදාකාල ගැළවීම ලබා දෙන්නට උන්වහන්සේ මෙළොවට පැමිණිසේක.

සදාකාල ජීවනය තිබෙන්නේ යේසුස්වහන්සේ තුළ පමණයි.

යොහන් 1:17
මක්නිසාද ව්‍යවස්ථාව මෝසෙස් කරණකොටගෙන දෙනලද්දේය; අනුග්‍රහයද සත්‍යයද පැමුණුණේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙනය.

එළිදරව් 1:5-6
විශ්වාස සාක්ෂිකාරයාවූ, මළවුන්ගෙන් නැගිටි කුලුඳුලාවූ, පොළොවේ රජුන්ගේ අධිපතියාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද, නුඹලාට කරුණාවත් සමාදානයත් වේවා. අපට ප්‍රේමකරන්නාවූ, තමන්ගේ ලෙයින් අපේ පාපවලින් අප මිදුවාවූ, 6 අපව රාජ්‍යයක්ද තමන් පියවූ දෙවියන්වහන්සේගේ පූජකයන්ද කළාවූ තැනන්වහන්සේට ගෞරවයද පරාක්‍රමයද සදාකාලේටම වේවා. ආමෙන්.

දෙවියන්වහන්සේ අපගේ පාපය සහමුලින්ම මකා දමා අපව රාජකීය පූජකයන් බවට පත් කළ සේක. එහෙයින් අප පොළොවේ රජවරුන්ය, ස්වාමිවරුන්ය.

යේසුස්වහන්සේ රජුන්ගේ රජය, ස්වාමිවරුන්ගේ ස්වාමියාය.

ක්‍රියා 4:12
වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ, මනුෂ්‍යයන් අතරේ දෙනලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේයයි කීවේය.

මනුෂ්‍යයාට ගැළවීම ලබාගෙන තමාගේ පාපයට කමාව තිබෙන්නේ යේසුස්වහන්සේගේ නාමය තුළ පමණයි.

යේසුස්වහන්සේ, මනුෂ්‍යයාගේ පාපය වෙනුවෙන් සදාකාල විසඳුමක් ගෙනාවේය.

2 කොරින්ති 5:17
එබැවින් යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය; මෙන්න, සියල්ලම අලුත්වී තිබේ.

නව මැවිල්ල යනු අපගේ අළුත් ස්වභාවයයි. එනම් අපට දෙන ලද දෙවියන්වහන්සේගේම ධර්මිෂ්ඨ ස්වභාවයයි.

2 කොරින්ති 5:21
අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට * පාපය වෙන්ට [දෙවියන්වහන්සේ] සැලැස්සූසේක. (* එනම් - පාපය තමන් පිටට ගන්ට)

යේසුස්වහන්සේ අප වෙනුවෙන් පාපය වී, අපගේ පාපය උසුලා ගත්සේක. උන්වහන්සේ අපව ධර්මිෂ්ඨ කරමින් අපට කමාව දී ඇත.

හෙබ්‍රෙව් 4:14
එබැවින් අහස පසුකරගියාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් නම් මහා (ශ්‍රේෂ්ඨ) උත්තම පූජකයෙක් අපට සිටින නිසා, අපේ ඇදහිල්ල තදින් අල්ලාගන සිටිමු.

නව ගිවිසුම තුළ අපි දකින්නේ "මහා උත්තම පූජක" යන තනතුර හිමිවූයේ යේසුස්වහන්සේට පමණි.

හෙබ්‍රෙව් 4:15‭-‬16 මක්නිසාද අපට සිටින්නේ අපේ දුර්වලකම්වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව, පව් කිරීමක් නැතුව, සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂාකරනු ලැබූ උත්තම පූජකයෙක්ය. එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම්වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්බවන පිණිසද නිසැකකමින් කරුණාවේ සිංහාසනයට ළඟාවෙමු.

යේසුස්වහන්සේ මහා උත්තම පූජකයා ලෙස කිසිඳු පාපයක් නොකර අප වෙනුවෙන් පාපයේ පූජාවක් වූසේක.

ආදම් පව් කිරීමෙන් ඔහු තුළ තිබුණාවු දෙවියන්වහන්සේගේ ලේ පාපය බවට පත්වුණි. එමනිසා යේසුස්වහන්සේ කන්‍යාවක් තුළින් ශුද්ධාත්මයාණන් කරණකොටගෙන උපත ලබා නැවත මෙළොවට දෙවියන්වහන්සේගේ පවිත‍්‍ර ලේ ගෙනැවිත්, ඒ ලේ වලින් අපව සෝදා පාපයෙන් මිදීම අපහට ලබා දෙන ලදි.

හෙබ්‍රෙව් 5:9‭-‬10 යේසුස්වහන්සේ මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ හැටියට උත්තම පූජකයෙක්ය යන නම දෙවියන්වහන්සේගෙන් ලැබ, තමන්වහන්සේට කීකරුවෙන්නාවූ සියල්ලන්ටම සදාකාල ගැළවීමේ කර්තෘවූසේක.

මෙල්කිසදෙක් යනු ලෙවීවරුන්ගෙන් පැවත ආ පූජකයෙක් නොව, පියෙක්වත් මවෙක්වත් පෙළපතක්වත් දවස්වල පටන්ගැන්මක්වත් ජීවිතයේ කෙළවරක්වත් නැත්තාවූ මේ තෙමේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාට සමානකරනු ලැබ නිතරම පූජකයෙක්ව පවතින්නේය.
හෙබ්‍රෙව් 7:3

ආබ‍්‍රහම් දසයෙන් කොටස් දුන්නේ එතුමන්ටය. ඔහු පිළිබඳ මුලක් අගක් සඳහන් කර නොමැත.

යේසුස්වහන්සේද අල්ඵා සහ ඔමේගාය, පටන්ගැන්ම හා අන්තිමයාය.

යේසුස්වහන්සේ අපගේ සදාකාල ගැළවීමේ කර්තෘ වූසේක.

හෙබ්‍රෙව් 6:20
යේසුස්වහන්සේ මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ හැටියට සදාකාලේටම උත්තම පූජකයෙක් වී, අප උදෙසා පෙරටුව යන්නෙක් මෙන් එහි ඇතුල්වූසේක.

යේසුස්වහන්සේ අප වෙනුවෙන් කස පහරවල්ද, හිස මතට කටු ඔටුන්නක්ද, කුරුසියේදී ඇණ පහරද ලබා, හිස සිට මුළු ශරීරය පුරාම උන්වහන්සේ සම්පූර්ණයෙන්ම ලේ වලින් වැසී සිටිසේක.

උන්වහන්සේ මෙලෙස කුරුසිය මත ලේ පූජාවක් වූයේ අපව නව මැවිල්ලක් කර සදාකාල උරුමයක් ලබා දීමටය.

හෙබ්‍රෙව් 9:12
යේසුස්වහන්සේ එළුවන්ගෙත් වස්සන්ගෙත් ලේ කරණකොටගෙන නොව තමන්ගේම ලේ කරණකොටගෙන, අප උදෙසා සදාකාල මිදීම ලබාගෙන එකම වරක් ශුද්ධස්ථානයට ඇතුල්වූසේක.

හෙබ්‍රෙව් 9:14
කැලලක් නැතුව සදාකාල ආත්මයාණන් කරණකොටගෙන තමන්ම දෙවියන්වහන්සේට පූජාවුණාවූ ක්‍රිස්තුස්වහන්සේගේ ලෙයින් ජීවමාන දෙවියන්වහන්සේට සේවයකරන පිණිස, මළ ක්‍රියාවලින් නුඹලාගේ හෘදයසාක්ෂිය කොපමණ වැඩියෙන් පිරිසිදුකරනු නොලබන්නේද?

යේසුස්වහන්සේගේ ලේ වලින් අපගේ හෘද සාක්ෂිය පවිත‍්‍ර කරනු ලැබීය. යේසුස්වහන්සේගේ තමාගේ ලේ වගුරුවා අපගේ පාප සම්පූර්ණයෙන්ම මකා දැමුවේය.

1 යොහාන් 1:9
අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක.

අප අතින් පාපයක් වූවිට අප එය ස්වාමීන්වහන්සේ ඉදිරියේ කියාදී සමාව ඉල්ලූ විට උන්වහන්සේගේ ලේ වලින් එය සම්පූර්ණයෙන්ම මකා දමනු ඇත. නැවත එහි සිහිකිරීමක් නැත.

යේසුස්වහන්සේ අපව පියාණන්වහන්සේ හා සමඟ සම්බන්ධ කිරීමටත්, සහභාගිකම් පැවැත්වීමටත් ගැළවීම මෙළොවට ගෙනාසේක.

යොහන් 17:3
සදාකාල ජීවනය නම් මේය-එකම සැබෑවූ දෙවියන්වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවනලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳිනගැනීමය.

යේසුස්වහන්සේගේ ලේ පූජාව තුළින් අපට කෙලින්ම දෙවියන්වහන්සේ වෙතට ගොස් "ඔබවහන්සේ මාගේ ගැළවුම්කරුය, මාගේ මිදුම්කරුය" කියා යේසුස්වහන්සේගේ නාමය තුළින් දේව අභිමුඛයේ නිර්භීතව සිටගැනීමට පුළුවන.


Watch the Sermon Video

Read 231 times