පාවුල් දේශනා කළ ඇදහිල්ලේ වාක්‍යය - මනූ මැතානි
April 6, 2022 Sunday Sermon Notes
දේව වචනය ප‍්‍රකාශ කිරීම ඉතා වැදගත්ය. එය අපගේ ජීවිතේ රටාවක් කර ගනිමු. වචනය නිතරම අපගේ මුඛයේ හා තොල්වල තබා ගනිමු. ඔබගේ යටි සිතින් පවා දේව වචනය ප‍්‍රකාශ කළ යුතුය. මන්ද යටි සිතින් ඔබට ඔබගේ මනස පාලනය කළ හැකිය. සිතුවිලි පරාජය කළ හැකි වන්නේ ඔබගේ ප‍්‍රකාශ තුළිනි.
අපි කථා කරන වචන වලින් අපගේ සිත පාලනය කර ගනිමු. ඔබගේ සිතුවිලි වලට ඔබව පාලනය කරන්නට ඉඩ නොදෙන්න. සැම දෙනාටම පරීක්ෂා පැමිණේ. පරීක්ෂකයාගේ එකම උත්සහය අපව පරීක්ෂාවට ලක් කිරීමය.
1 තෙසලෝනික 3:5 මේ නිසා මටත් තවත් ඉවසාගන්ට නොහැකිව, පරීක්ෂකයා යම් අන්දමකින් නුඹලාව පරීක්ෂා කිරීමෙන් අපේ වීර්යය හිස්වුණාදෝ කියා නුඹලාගේ ඇදහිල්ල ගැන දැනගන්නා පිණිස එවීමි.
පාවුල් පවසන්නේ, ඔවුන් සෙනඟව ගැළවීමට ගෙන එමින් වචනය ඉගැන්වුවත්, පරීක්ෂකයා එම සෙනඟව පරීක්ෂාවට පමුණුවා ඔවුන් එයට අසුවන්නේ නම් ඒ අය වෙනුවෙන් කළාවු සේවය නිරර්ථක වන බවය. පරීක්ෂකයා පැමිණෙන්නේ ඔබව නොමඟ ගෙනයන්නටය.
ඔබ ඇදහිල්ලේ පණිවිඩ අසමින්, ඇදහිල්ලෙන් ජීවත්වෙමින්, ගමන් කරනවාට යක්ෂයා නිතරම විරුද්ධවයි සිටින්නේ. යක්ෂයාගේ කැමැත්ත අප එන්නාවු ඕනෑම තත්වයක් එසේම යැයි කියා භාරගෙන සිටිනවාටය. ඔබ ආත්මික ලෙස නැගී සිටිමින් ඔබගේ ආධිපත්‍ය පාවිච්චි කරනවාට යක්ෂයා කැමති නැත.
ප‍්‍රශ්න පැමිණෙන විට ඒවාට යටත්ව ඒවා පිළිනොගෙන එම ආත්ම වලට විරුද්ධව නැගී සිටින්න. ඉශ‍්‍රායෙල්වරු ගොලියත් නිසා නිතරම පිලිස්තිවරුන් ඉදිරියේ පරාජය භාරගෙන සිටි මොහොතක, යුධ බිමට පැමිණි දාවිත්ට ගොලියත්ව පරාජය කිරීමට අසීරු කරුණක් යැයි කියමින් ඔහුට යටත්වීමට සිදුවේයැයි කෙලෙසින්වත් පැවසුවේ නැත.
දාවිත් පැවසුවේ සිංහයාත්, වලසාත් දෙදෙනාම මරා දැමූ ඔහුට ජීවමාන දෙවියන්වහන්සේට මිග කියන මේ පිලිස්තියාත් උන් එකෙකු වාගේ කියාය. (1 සාමුවෙල් 17:36)
ඇදහිල්ල යන වචනයත් සමඟම ජයද අපට හිමිය. යක්ෂයාට යටත් වෙන්නැයි බයිබලයේ කෙහෝවත් සඳහන්ව නැත.
යාකොබ් 4:7
[7] එබැවින් දෙවියන්වහන්සේට යටත්ව සිටින්න; නුමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න, එවිට ඔහු නුඹලා වෙතින් පලායනවා ඇත.
දෙවියන්වහන්සේගේ වචනයට යටත්ව උන්වහන්සේගේ අණ අපි පවත්වමු. එවිට යක්ෂයා අප වෙතින් පලා යනු ඇත. ඔබව පාගා දැමීමට යක්ෂයාට ඉඩ නොදෙන්න.
යෙසායා 51:23
[23] නුමුත්: අප විසින් නුඹ පාගායන පිණිස වැටී ඉන්නැයි නුඹේ ආත්මයට කීවාවූ නුඹේ පීඩාකාරයන්ගේ අතට ඒක දෙන්නෙමි. එලෙස නුඹ නුඹේ පිට බිම මෙන්ද පාගායන්නන්ට වීථිය මෙන් ද තැබුවෙහිය.
යක්ෂයාට අවශ්‍ය වන්නේ ඔබව පාපිස්සක් මෙන් පාවිච්චි කරන්නටය. එයට කිසිදා ඉඩ නොදෙන්න. අපි නැඟිට බැබලෙමු.
යෙසායා 52:1
[1] සියොන්, පිබිදෙන්න, පිබිදෙන්න, නුඹේ බලය පැළඳගන්න; ශුද්ධ නුවරවූ යෙරුසලම, නුඹේ අලංකාර වස්ත්‍ර පැළඳගන්න. මක්නිසාද තවත් අචර්මඡේදිතයෙක්වත් අපවිත්‍රයෙක්වත් නැවත නුඹ තුළට නොපැමිණෙන්නේය.
සියොන් යනු සභාවේ සිටින සෙනඟය. දෙවියන්වහන්සේ අපට දී තිබෙන ශක්තිය, බලය, හැකියාව අපි පැළඳ ගනිමු. යක්ෂයාගේ පිස්සු දේවලට යටත් නොවී අප දෙවියන්වහන්සේගේ දූ පුතුන් ලෙසින් ප‍්‍රඥාවන්තව, ධර්මිෂ්ඨව දෙවියන්වහන්සේට කීකරුව ගමන් කරමු. සතුරාගේ ක‍්‍රියාවලට අසු නොවන පිණිස අප ඥානාන්විතව ක‍්‍රියා කරමු. (මතෙව් 10:16)
දෙවියන්වහන්සේ අප සමඟ වාසය කරමින් සිටින අපගේ හොඳම මිත‍්‍රයාය. අප වටකර සිටින්නේ ගණන් කළ නොහැකි දේව දූත රාශීයක්ය. අප වටා සාක්ෂිකාර සේනාවක්ද සිටී. ඔවුන් අපව ශක්තිමත් කරමින් සිටියි.
හෙබ්‍රෙව් 12:1
[1] එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා, සියලු බරද පහසුවෙන් අප අසුකරන පාපයද අහක දමා, ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණකරන්නාදවූ යේසුස්වහන්සේ දෙසම බලමින්, අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු.
බයිබලයෙහි ඇති එළිදරව්වීම් අප පාවිච්චි කරමු. සර්පයන් හා ගෝනුස්සන් පාගන්නටත්, සතුරාගේ ශක්තිය මර්ධනය කරන්ටත් දෙවියන්වහන්සේ අපට බලය දී ඇත.
ශු. ලූක් 10:19
[19] බලව, සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්ටත් සතුරාගේ මුළු ශක්තිය මැඩපවත්වන්ටත් මා විසින් නුඹලාට බලය දී තිබේ. කොයි දෙයකින්වත් නුඹලාට අන්තරායක් නොවන්නේය.
යක්ෂයාට අවශ්‍ය වන්නේ අප මාංසික ලෙස හැඟීම් අනුව ජීවත් වී දේව වචනයට පටහැනි ලෙස ක‍්‍රියා කරමින් ආගමික ලෙස ජීවත්වනවාටය.
පාවුල් සහ සීලස් දම්වැල් වලින් බැඳ සිරගෙදර සිටි අවස්ථාවේ ඔවුන් දෙවියන්වහන්සේට යාච්ඤා කරමින් ස්තූති දෙමින් ප‍්‍රශංසා කරන්නට පටන් ගන්නා ලදි. ඔවුන් මධ්‍යම රාත‍්‍රියේ ගීතිකා ගායනා කළෝය. ඔවුන් ගායනා කරමින් සිටින විට මහත් පොළෝ කම්පාවකින් සිරගෙදර දොරවල් ඇරෙන ලදි. එයින් අනතුරුව සිරකරුවන් පැනගියා යයි සිතා සියදිවි නසාගැනීමට හැදූ සිර ගෙදර මුලෑනියා පාවුල් හා සීලස්ගේ වචන වලින් පසු, ඔහුද ඔහුගේ පවුලේ අයද ගැළවීම ලබා ඔවුන් වතුර බව්තිස්මය පවා ලබා ගත්තෝය.
ක්‍රියා 16:25-33
[25] නුමුත් මධ්‍යම රාත්‍රිය පමණේදී පාවුල්ද සීලස්ද යාච්ඤාකරමින් දෙවියන්වහන්සේට ගී කීවෝය, හිරකාරයෝද ඔවුන්ට ඇහුම්කන්දීගන සිටියෝය; [26] හදිසියෙන් මහත් පොළෝකම්පාවක් විය, එයින් හිරගෙයි අත්තිවාරම් සෙලවුණේය. එකෙණෙහිම සියලු දොරවල් ඇරුණේය; සියල්ලන්ගේ බැඳුම්ද මිදුණේය. [27] එකල හිරගෙයි මුලාදෑනියා නින්දෙන් පිබිද, හිරගෙයි දොරවල් ඇරී තිබෙනවා දැක, හිරකාරයෝ පැනලා ගියෝයයි සිතා, කඩුව ඇදගන තමාම මරාගන්ට හැදුවේය. [28] නුමුත් පාවුල් කථාකොට: නුඹට කිසි අනතුරක් කර නොගන්න. මක්නිසාද අපි සියල්ලෝ මෙහියයි මහත් හඬින් මොරගසා කීවේය. [29] එකල ඔහු එළි ඉල්ලාගන ඇතුළට පැන, භයින් වෙවුලමින්, පාවුල් සහ සීලස් ඉදිරියෙහි වැටී, [30] ඔවුන් පිටතට කැඳවා කථාකොට: ස්වාමිවරුනි, ගැළවෙන පිණිස මා විසින් කුමක් කටයුතුදැයි ඇසුවේය. ඔව්හු කථාකොට: [31] ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහාගන්න, එවිට නුඹ ගැළවෙන්නෙහිය, නුඹද නුඹේ ගෙයි වැසියෝද එසේමයයි කීවෝය. [32] තවද ඔව්හු ඔහුගේ ගෙදර වැසි සියල්ලන් ඇතුළුව ඔහුට ස්වාමීන්වහන්සේගේ වචනය කියාදුන්නෝය. [33] ඔහු රාත්‍රියේ ඒ පැයේදීම ඔවුන් රැගෙන, ඔවුන්ගේ තුවාල සේදුවේය; ඔහුද ඔහුගේ ගෙයි වැසි සියල්ලෝද එකෙණෙහිම බව්තීස්මකරනු ලැබුවෝය.
දෙවියන්වහන්සේ එවන පොළෝකම්පා වලින් මනුෂ්‍යයන් ගැළවෙනවා මිස, විනාශ වන්නේ නැත. අපගේ ප‍්‍රකාශන වලින් අපගේ ජීවිතේ වෙනස් කර ගත හැකිය. එයින් ඔබ නැඟිසිටින්නේ යක්ෂයාට විරුද්ධවයි. අපි ජීවන වචන කථා කිරීම පුරුද්දක් කර ගනිමු.
1 පේතෘස් 3:9
[9] නපුරට නපුරවත් නින්දාවට නින්දාවවත් නොකොට, නුඹලාට ආශීර්වාදයක් උරුමවෙන පිණිස කැඳවනු ලැබූ බැවින්, ආශීර්වාදම කරන්න.
දෙවියන්වහන්සේ අප කැඳවා ඇත්තේ අහිංසක බැටළුවන් මෙන් සිටීමටය. ඔබ ඉහළ මට්ටමේ ප‍්‍රඥාවන්තයෙකු මෙන් ජීවත්වන්න. මන්ද යේසුස්වහන්සේ අපගේ ප‍්‍රඥාවයි.
1 කොරින්ති 1:30
[30] නුමුත් උන්වහන්සේ කරණකොටගෙන නුඹලා ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නහුය. ඒ තැනන්වහන්සේ දෙවියන්වහන්සේගෙන් අපට ප්‍රඥාව එනම් ධර්මිෂ්ඨකමද ශුද්ධකමද මිදීමද කරනු ලැබූසේක.
දෙවියන්වහන්සේට ඔබට පෙන්වන පියවර අනුව ක‍්‍රියා කරන විට ඔබට ප‍්‍රඥාවන්තයෙක් විය හැකිය. අපට උගත්කමක් නොතිබුනද දෙවියන්වහන්සේට අපට උගතුන්ගේ දිවක් දී ඇත.
යෙසායා 50:4
[4] විඩාවූ අයට වචනවලින් පිහිටවෙන්ට දැනගන සිටීමට ස්වාමිවූ දෙවියන්වහන්සේ උගතුන්ගේ දිව මට දී තිබේ. ගෝලයන් මෙන් ඇසීමට උන්වහන්සේ උදයක් පාසා පුබුදුවනසේක, මාගේ කන පුබුදුවනසේක.
යේසුස්වහන්සේගේ ගෝලයන්ගේ නිර්භීත කථාවට ඒ ආගමික නායකයන් පුදුම වූවෝය. මන්ද උන්වහන්සේගේ ගෝලයන්ට උන්වහන්සේ මෙන් ක‍්‍රියා කරන්නට පුළුවන් වූවා.
ක්‍රියා 4:13
[13] එවිට ඔව්හු පේතෘස්ගේද යොහන්ගේද නිර්භීතකම දැක, ඔවුන් අපණ්ඩිතවූ නූගත් මනුෂ්‍යයන් බව දැන මවිතවූවෝය; ඔවුන් යේසුස්වහන්සේ සමඟ සිටි බව ඔව්හු ඇඳින්නෝය.
ඔබට අවශ්‍ය වචනය ඒ මොහොතේදී දීමට දෙවියන්වහන්සේට පුළුවන.
අපට තිබෙන්නේ උන්වහන්සේගේ වචනය පිළිගෙන එයට කීකරුව ගමන් කිරීමයි. කුණාටුව මධ්‍යයේත් යේසුස්වහන්සේ කිසිදු කැලඹිල්ලකින් තොරව නිදා සිටින ලදි. නමුත් ගෝලයන් භයවෙන්ටත්, කැලඹෙන්ටත් වූවෝය. අප යේසුස්වහන්සේ තුළ සිටින විට කුණාටු බාධා මධ්‍යයේ වුවත් අපට සැනසිල්ලේ සිටින්ට හැකියාව තිබිය යුතුය.
යේසුස්වහන්සේ කුණාටුවට කථා කර, එය නිශ්චල කරන ලදි. මුහුදට කථාකර සමාදානය වේවායි පැවසීය. මාර්ක් 5:39
ඔබ කුණාටුවට අණ කරමින් කථා කරන්නට පුරුදුවන්න. සමහරවිට එය රෝගයේ කුණාටුවක් විය හැක. එයට කථා කරමින් අණ කරන්න.
ශු. යොහන් 15:4
[4] මා තුළ පැවතෙන්න, මමත් නුඹලා තුළ පවතින්නෙමි. අත්ත මිදිවැලෙහි නොපවතී නම් තනියම ඵල දරන්ට බැරුවාක්මෙන්, නුඹලා මා තුළෙහි නොපවතිවු නම්, ඵල දරන්ට නුඹලාට බැරිය.
අප යේසුස්වහන්සේව පැළඳගනිමු.
රෝම 13:14
[14] නුමුත් තෘෂ්ණා පූර්ණකරන පිණිස මාංසයට ඉඩනොදී, ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පැළඳගන්න.
ඵල නැති අත්තික්කා ගසට යේසුස්වහන්සේ කථාකළේය (මාර්ක් 11:12-14).
පසුවදා ගස වියලි තිබෙනවා දැක පුදුමවූ ගෝලයන්ට යේසුස්වහන්සේ පැවසුවේ සැක නොසිතා ඇදහිල්ලෙන් කියන දේ සිදුවන බවය.
ශු. මාර්ක් 11:22-23
[22] යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටින්න. [23] සැබවක් නුඹලාට කියමි–කවරෙක් නුමුත් මේ කන්දට කථාකොට: ඉදිරී මුහුදේ වැටෙන්නැයි කියා, තමාගේ සිතින් සැක නොකොට, තමා කියන දේ සිදුවේයයි අදහන්නේ නම්, ඒක ඔහුට සිදුවන්නේය.
අප ඇදහිල්ල ඇතිව සිටින්ට අවශ්‍යයයි. ඇදහිල්ල හැමෝටම ඇත්තේ නැත.
2 තෙසලෝනික 3:2
[2] හිතුවක්කාර නපුරු මනුෂ්‍යයන්ගෙන් අප ගළවනු ලබන පිණිසද අප උදෙසා යාච්ඤාකරන්න; මක්නිසාද සියල්ලන්ටම ඇදහීම නැත.
ඇදහිල්ල ආරම්භ වන්නේ දෙවියන්වහන්සේගේ වචනය ඇසීමෙනි.
ඇදහිල්ල සියල්ලන්ටම බෙදා දී ඇත. එය වැඩිකර ගැනීම අපගේ වගකීමය.
රෝම 12:3
[3] නුඹලා එකිනෙකා සුදුසු තරමට වඩා තම තමා ගැන උතුම්කොට නොසිතා, දෙවියන්වහන්සේ එකිනෙකාට බෙදාදුන් ඇදහිල්ලේ ප්‍රමාණය ලෙස පමණදැන සිතන හැටියට, මට දෙනලද අනුග්‍රහයෙන් නුඹලා අතරෙහි එකිනෙකාට කියමි.
ඇදහිල්ලෙන් ජයග‍්‍රාහිකව ජීවත්වීම අපගේ කැඳවීමයි.
1 යොහන් 5:4
[4] මක්නිසාද දෙවියන්වහන්සේගෙන් උපන් යමක් ඇද්ද එය ලෝකයෙන් ජයගන්නේය. ලෝකයෙන් ජයගෙන තිබෙන්නේ අපේ ඇදහිල්ලය.
ඇදහිල්ලෙන් යේසුස්වහන්සේ මාගේ ස්වාමීන් යැයි ප‍්‍රකාශ කර ගැළවීම ලබාගත් අප ඒ ප‍්‍රකාශනය තුළ ජීවත්විය යුතුය. එවිට අප දෙවියන්වහන්සේගෙන් නැවත ඉපදෙනු ඇත. ඒ තුළින් අප ජයග‍්‍රහයකයන් ලෙස ලෝකයෙන් ජය ගන්නෝ වන්නෙමු. ලෝකයෙන් ජය ගන්නේ අපගේ ඇදහිල්ලයි. ඔබ ඇදහිල්ලෙන් ගමන් නොකරන්නේ නම් ඔබට ආත්ම දිනන්නට බැරිවන්නේය. දෙවියන්වහන්සේ ප‍්‍රසන්න කරන ජීවිතයක් ගත කරන්නටත් නොහැකි වන්නේය.
හෙබ්‍රෙව් 11:6
[6] නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය.
ඇදහිල්ලෙන් ගමන් කරන්නට පටන් ගත්විට අප සිටින්නේ යක්ෂයාට විරුද්ධවය. පාවුල් පැවසුවේ ඔහු දේශනාකරන්නේ ඇදහිල්ලේ වාක්‍යය කියාය.
රෝම 10:8
[8] වාක්‍යය නුඹ ළඟය, නුඹේ මුඛයේද නුඹේ සිතේද තිබේය කියාය. එනම් අප විසින් ප්‍රකාශකරන ඇදහිල්ලේ වාක්‍යයය.
අපගේ ගැළවීම තිබෙන්නේද ඇදහිල්ලේ පණිවිඩය තුළිණි. අපගේ මුඛයෙන් ගැළවීමේ පණිවිඩය ප‍්‍රකාශ කළ යුතුය. අපගේ ප‍්‍රකාශ වලින් අපගේ සිත පිරී තිබිය යුතුය. එවිට ඔබ ඵලදැරීමට පටන් ගනී. ඔබ අසනීප වුවත් “ඔව් මා අසනීපයි නමුත් යේසුස්වහන්සේගේ තුවාල වලින් මා සුවයි” කියා පවසන්න.
අපි නැති දේ ඇති දේ මෙන් පවසමු.
රෝම 4:17
[17] (නුඹ බොහෝ ජාතීන්ට පියෙකු කෙළෙමියි ලියා තිබෙන ලෙස) ආබ්‍රහම් තමා විශ්වාසකළාවූ, මළවුන් ජීවත්කරන්නාවූ, නැති දේ ඇති දේ මෙන් සඳහන්කරන්නාවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි අප සියල්ලන්ගේ පියාණෝය.
දෙවියන්වහන්සේ ආබ‍්‍රහම්ට පැවසු වචන ඔහු විශ්වාස කරන ලදි. එලෙසම දෙවියන්වහන්සේ පැවසු දේවල් උන්වහන්සේ ඔහුට ඉටුකර දෙන ලදි.
හෙබ්‍රෙව් 10:23
[23] අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශකිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු; මක්නිසාද පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාසවසිටිනසේක.
ඔබගේ ප‍්‍රකාශ තදින් අල්ලා ගෙන විශ්වාසව සිටින්න. මන්ද පොරොන්දුව දුන් තැනැන්වහන්සේ විශ්වාසව සිටියි.
දෙවියන්වහන්සේගේ වචනයට පිටින් දෙයක් අපි නෙපවසා සිටිමු. අපි නොකඩවා දෙවියන්වහන්සේට ස්තූති ප‍්‍රශංසා කරමු.
දෙවියන්වහන්සේ සමඟ කාලය ගත කරන විට අපගේ ජීවිතයේ අසීරු දෙයක් නැත. දෙවියන්වහන්සේගේ වචනය තුළ අපට අවශ්‍ය පෝෂණය හා සියල්ලම ලැබෙනු ඇත. අප දෙවියන්වහන්සේගේ කුණු නොවන්නාවු වචනයෙන් ගැළවීම ලබා ගත් පසු අප උන්වහන්සේ තුළ පැවතිය යුතුය.
ශු. යොහන් 15:4
[4] මා තුළ පැවතෙන්න, මමත් නුඹලා තුළ පවතින්නෙමි. අත්ත මිදිවැලෙහි නොපවතී නම් තනියම ඵල දරන්ට බැරුවාක්මෙන්, නුඹලා මා තුළෙහි නොපවතිවු නම්, ඵල දරන්ට නුඹලාට බැරිය.
ස්වාමීන්වහන්සේගෙන් වෙන්ව අපට කිසිවක් කළ නොහැකිය.
ශු. යොහන් 15:5
[5] මිදිවැල මමය, නුඹලා අතුය. යමෙක් මා තුළෙහි පවතින්නේද, මම ඔහු තුළෙහි පවතිම්ද, ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. මක්නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්ට නුඹලාට බැරිය.
ප‍්‍රකාශයෙන්, කියවීමෙන්, ගීතිකා ගායනා කරමින්, තවත් අය ශක්තිමත් කරමින් ස්වාමීන්වහන්සේ තුළ පවතිමින් අප ආත්මිකව ශක්තිමත් වෙමු. සියල්ලෙන් අප ඵල දරන්නන්වෙමු. ඉශ‍්‍රායෙල් සෙනඟ තුළ කිසි ඵල දැරීමක් නොතිබුණි. ඔවුන් තුළ තිබුණේ ආගමිකත්වය පමණි. යේසුස්වහන්සේ එයට ශාප කරන ලදි. උන්වහන්සේ පැවසුවේ වෙහෙසවන්නාවු බර උසුලන්නාවු සිය්ලෙනී මා වෙත එන්න කියාය. (මතෙව් 11:28)
යේසුස් යන නාමයේ අර්ථය උන්වහන්සේ අපගේ ගැළවුම්කරු යන්නය. නමුත් යුදෙව්වරු එය පිළිගත්තේ නැත. යේසුස්වහන්සේ මනුෂ්‍යයන්ව සුව කරන ලදි. අපද සියලු බන්ධන වලින් නිදහස් වෙමු. අපගේ ඇදහිල්ල තිබෙන්නේ ස්වාමීන්වහන්සේගේ බලය තුළියි.
1 කොරින්ති 2:5
[5] එසේ වුණේ නුඹලාගේ ඇදහිල්ල දෙවියන්වහන්සේගේ බලයෙන් මිස මනුෂ්‍යයන්ගේ ප්‍රඥාවෙන් නොපිහිටන පිණිසය.
අපගේ ජීවිතයේ විශ්වාස කරන්නාවු දේ අත්පත් කර ගනිමු. හැඟීම් වලින් නොව අපගේ ප‍්‍රකාශයෙන් ජීවත්වෙමු.
2 පේතෘස් 2:24
අප පාපවලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත්වන පිණිස, උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් ඉසුලූසේක; උන්වහන්සේගේ තුවාල වලින් නුඹලා සුවකරනු ලැබුවහුය.
යේසුස්වහන්සේගේ තුවාල වලින් අපට සුවය ඇත. උන්වහන්සේ මියගියේ අපගේ පාපය හා රෝගය වෙනුවෙනි. අපගේ විශ්වාස තුළින් අපි ජීවත්වෙමු. සියලු මනුෂ්‍යයන් බොරු කරත් ස්වාමීන්වහන්සේ සත්‍යයයි.
Watch the Sermon Video