+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
ඇදහිලිවන්තයන් ධර්මිෂ්ඨයි - මනූ මැතානි
February 15, 2026 Sunday Sermon Notes
අප දෙවියන්වහන්සේව පරීක්ෂා නොකළ යුතුය. දෙවියන්වහන්සේ ප‍්‍රේමණීය බලවත් තැනැන්වහන්සේයි. උන්වහන්සේගේ සත්‍ය වචනය මත රැඳෙමු. දෙවියන්වහන්සේ අපගේ ආලෝකයයි. අපි කවදාවත් දෙවියන්වහන්සේට කාලයක් නොදෙමු. එවැනි ළදරුභාවයෙන් ජීවත් නොවෙමු.
දෙවියන්වහන්සේ සදාකාලයෙන් සදාකාලයට එක සේ ක‍්‍රියා කරයි. අපට යමක් උන්වහන්සේගේ වචනයේ සඳහන් කර තිබෙනවානම් එය ඉෂ්ට කරන්නට උන්වහන්සේ බැඳී සිටි.
2 තිමෝති 2:13
[13] අප අවිශ්වාසවුණත් උන්වහන්සේ විශ්වාසව සිටිනසේක. මක්නිසාද තමන්වහන්සේගේ වචනය බොරුකරන්ට උන්වහන්සේට බැරිය.
තමන්ගේ වචනයට බොරු කරන්නට දෙවියන්වහන්සේට බැරිය. උන්වහන්සේ බැඳී සිටින්නේ අපේ ජීවිතයේ කාරණා ඉෂ්ට කිරීමටය. අපගේ අවිශ්වාසය නිසා උන්වහන්සේ කවදාවත් වෙනස් වන්නේ නැත.
රෝම 3:3
[3] ඉඳින් සමහරෙක් ඇදහිල්ල නැතුව සිටියොත් කිමෙක්ද? ඔවුන්ගේ ඇදහිලි නැතිකමෙන් දෙවියන්වහන්සේගේ විශ්වාසකම හිස්වේද?
දෙවියන්වහන්සේ කවදාවත් වෙනස් වෙන්නේ නැත. උන්වහන්සේ විශ්වාස කළොත් අපට බොහෝ ප‍්‍රයෝජන ලැබේ. විශ්වාස නැතිනම් කිසිදු ප‍්‍රයෝජනයත් නැත. දෙවියන්වහන්සේගේ වචනයත් සමඟ ගමන් කරන්න පුරුදු වෙමු. උන්වහන්සේගේ ලියවිල්ල විශ්වාස කරමු.
ගලාති 3:9-10
[9] මෙසේ ඇදහිල්ලෙහි පිහිටෙන්නෝ ඇදහිලිවන්තවූ ආබ්‍රහම් සමඟ ආශීර්වාද ලබති. [10] මක්නිසාද යම් පමණ දෙනෙක් ව්‍යවස්ථාවේ ක්‍රියාවල පිහිටෙන්නෝද, එපමණ දෙනා ශාපයකට යටත්ව සිටිති, මක්නිසාද: ව්‍යවස්ථාපොතෙහි ලියා තිබෙන සියලු දේවල් කරන පිණිස එහි නොපවතින සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබේ.
අප ඇදහිල්ලෙන් සිටිනවානම් ආබ‍්‍රහම් සිටි ආකාරයට අපිත් ආශීර්වාදලත් සෙනඟක් වෙයි. අපගේ තිබෙන විශ්වාසය අපගේ ක‍්‍රියාව විශ්වාස කරනවානම් ඔබ හොඳ මනුෂ්‍යයෙක්, හොඳ වෙන්නටයි උත්සාහ කරන්නේ ජීවිතයේ කිසි නරකක් නැහැ එමනිසා දෙවියන්වහන්සේ ආශීර්වාදය කරන්නට ඕන කියන අදහස ඉවත් කළ යුතුය. එයට හේතුව අපි දෙවියන්වහන්සේගේ දරුවන්නම් අප උන්වහන්සේව විශ්වාස කිරීම වැදගත් වේ.
දෙවියන්වහන්සේ තුළ ශාපයක් නොවී ආශීර්වාදයක් විය යුතුය. එසේ විය හැක්කේ ඇදහිල්ලෙන් සිටීමෙනි. උන්වහන්සේගේ පොරොන්දු මත ඇදහිල්ල තිබිය යුතුය. යේසුස්වහන්සේ කුරුසියේදී වධ වේදනා විඳීමෙන් අද අපට දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ලැබී ඇත. අප උන්වහන්සේගේ ධර්මිෂ්ඨයන්ය. බොහෝ මනුෂ්‍යයන් “ධර්මිෂ්ඨ” කියන වචනය පිළිගන්නේ නැත.
ගලාති 2:16
[16] යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන මිස ව්‍යවස්ථාවේ ක්‍රියා කරණකොටගෙන මනුෂ්‍යයෙක් ධර්මිෂ්ඨකරනු නොලබන බව දැන, ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් නොව ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු ලබන පිණිස, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහාගතිමුව. මක්නිසාද ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් කවර මනුෂ්‍යයෙක්වත් ධර්මිෂ්ඨකරනු නොලබයි.
අප දැනගත යුතු කරුණක් වන්නේ, කිසිම මනුෂ්‍යයෙක් ධර්මිෂ්ඨ වන්නේ ව්‍යවස්ථාවේ ක‍්‍රියාවන් තුළින් නොවේ. අපි ව්‍යවස්ථව පිළිපදින හොඳ මනුෂ්‍යයන් හෝ නරක මනුෂ්‍යයන් නොවෙමු. අන් අයගේ ජීවිත දිහා බලා සන්සන්දනය නොකරන්න. අපගේ ජීවිත අප අනික් මනුෂ්‍යයන් වාගේ කියා සසඳන්නට අවශ්‍ය නැත, අප තවත් කෙනෙකුගේ ජීවිත සමඟ සන්සන්දනය නොකරමු.
යේසුස්වහන්සේගේ කාලයේ ඵරුසිවරුන් පැවසුවේ, මනුෂ්‍යයන් එක එක අයුරින් වෙන් කරයි. යේසුස්වහන්සේ ඵරුසිවරුන්ට විරුද්දව කෝපයෙන් සිටියාය. ඵරුසිවරුන් සමඟ උන්වහන්සේ සම්බන්ධකම් පැවැත්වූයේ නැත. ඔවුන් කළ හා කී දේවල් නිසා යේසුස්වහන්සේ බොහෝ සේ කලකිරීමට පත් වූයේය. උන්වහන්සේ ඵරිසිවරුන්ට සම්පූර්ණයෙන්ම විරුද්ධ විය. දෙවියන්වහන්සේ අදත් අපට පවසන්නේ ඵරිසිවරුන්ගේ ස්වභාවයෙන් ජීවත් නොවී උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට යටත් වී සිටින්න කියාය.
රෝම 10:3
[3] මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නොදැන, තමුන්ගේ ධර්මිෂ්ඨකම ස්ථිරකරන්ට සොයමින්, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට යටත් නූණෝය.
බොහෝ දේවල් අප ඉගෙන ගනිමින් අසන නමුත් නව ගිවිසුමේ ඕනෑම කාරණා ඇදහිලිවන්තයන්ට උගන්වන්නේ නැත්තම් ඔවුන් කිසිවක් ඉගෙන ගෙන නැත. අපි උඩඟුකමෙන් ජීවත් වෙයි. එයින් දෙවියන්වහන්සේ අප තුළ කිසිවක් කරන්නේ නැත. අප නිතරම සිටිය යුත්තේ ධර්මිෂ්ඨකමෙන්ය.
ධර්මිෂ්ඨකම යන වචනය බයිබලයේ බොහෝ තැන්වල ඇත. ධර්මිෂ්ඨ මනුෂ්‍යයාගේ මාවත යහපත්ය. ඔබ දෙවියන්වහන්සේ තුළ නොවටිනා කෙනෙකු සේ නොසිතන්න.
හෙබ්‍රෙව් 7:25
[25] එබැවින්, උන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නන් උදෙසා මැදහත්කම්කරන පිණිස උන්වහන්සේ නිරතුරුම ජීවත්වන හෙයින්, ඔවුන් කෙළවර දක්වාම ගළවන්ට උන්වහන්සේට පුළුවන.
අහස පොළොව මැවූ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ දරුවන් අපය. යක්ෂයාට භයෙන් අප ජීවත් විය යුතු නැත. දෙවියන්වහන්සේගේ වචනය අපගේ ආරක්ෂාවයි. දෙවියන්වහන්සේ අපේ අන්තිම දක්වාම උන්වහන්සේ මැදහත්කාරකම් කරයි. අප ගැළවීම ලබන්නට පෙර යක්ෂයාට කීකරු වී සිටි පිරිසක්ය. යක්ෂයා බොරුව උගන්වයි. සමහර සභාවන් බොරු දේවල් උගන්වයි. බයිබලයේ පවසන පරිදි අපි ධර්මිෂ්ඨයන් වෙමු.
රෝම 3:4
[4] එසේ නොවේවා. ඔබවහන්සේගේ වචනවලින් ඔබ සාධාරණව පෙනෙන පිණිසත් ඔබ විනිශ්චයකරනු ලබන කල ජය ගන්න පිණිසත්ය කියා ලියා තිබෙන ලෙස, සියලු මනුෂ්‍යයන් බොරුකාරයන් වුණත් දෙවියන්වහන්සේ සැබෑ බව පෙනේවා.
පාපය ගැන දිගින් දිගටම අප ඉගෙන ගත්තොත් පාපය කරයි, නමුත් දෙවියන්වහන්සේගේ පුත‍්‍රකම ගැන ඉගෙනගත්තා නම් ධර්මිෂ්ඨව ජීවත් වෙන්නට හැකිය.
අප දෙවියන්වහන්සේගේ දරුවන් වුණේ අපේ කැමැත්තෙන් නොව, උන්වහන්සේගේ කැමැත්තෙන්. දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත‍්‍රයා වන යේසුස්වහන්සේ පොළොවට එවා උන්වහන්සේගේ දරුවන් ලෙස අපව පිළිගන්නා ලදී. දෙවියන්වහන්සේ අපට දී තිබෙන්නේ දෝෂාරෝපණයේ සේවයක් නොව, උන්වහන්සේ අපට දී තියෙන්නේ ධර්මිෂ්ඨකමේ සේවයක්ය.
2 කොරින්ති 3:9
[9] මක්නිසාද වරදට පත්කිරීමේ සේවය තේජස නම් ධර්මිෂ්ඨකමේ සේවයේ තේජස ඊට වඩා බොහෝසෙයින් වැඩිව තිබේ.
පරණ ගිවිසුමේ දෝෂාරෝපණයේ සේවයකි නමුත් නව ගිවිසුම ධර්මිෂ්ඨකමේ සේවයකි.
අපි අපේ අතින් වරදක් පාපයක් සිදු වූවත් දැන් අප ධර්මිෂ්ඨයෝය. දෙවියන්වහන්සේ සමඟ එකඟ නොවන මනුෂ්‍යයා උඩඟුය.
රෝම 3:23
[23] මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති.
මේ පදය සභාවේ තිබෙන දැක්මක්ය. අපගේ ජීවිතයට යම් කිසි බලපෑමක් තිබේනම් අප එයින් මිදිය යුතුය. අසත්‍යයයෙන් මිදී සත්‍යයට පැමිණ නිදහස් වන්න.
ගීතාවලිය 51:5
[5] බැලුව මැනව, මම අයුතුකම සහිතව සාදනු ලැබීමි; මාගේ මෑණියෝ පාප සහිතව මා ගැබ්ගත්තාය.
බයිබලයේ පවසන්නේ අප මව් කුසයේ සිටියදීම පව්කාරයන් කියාය. අප සියළු දෙනාම පව්කාර මනුෂ්‍යයන්ය. යේසුස්වහන්සේගේ සේවයෙන් මනුෂ්‍යයන් ධර්මිෂ්ඨ නොවුණානම් උන්වහන්සේ පාපයේ සේවකයෙකි. යේසුස්වහන්සේ කුරුසපත් වුණේ දෙවියන්වහන්සේගේ රුධිරය උන්වහන්සේ තුළ තිබුණු නිසාය. යේසුස්වහන්සේගේ පූජාව ධර්මිෂ්ඨකමේ පූජාවයි.
ගලාති 2:16
[16] යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන මිස ව්‍යවස්ථාවේ ක්‍රියා කරණකොටගෙන මනුෂ්‍යයෙක් ධර්මිෂ්ඨකරනු නොලබන බව දැන, ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් නොව ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු ලබන පිණිස, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහාගතිමුව. මක්නිසාද ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් කවර මනුෂ්‍යයෙක්වත් ධර්මිෂ්ඨකරනු නොලබයි.
ගලාති 2:17
[17] නුමුත් ක්‍රිස්තුස්වහන්සේ තුළ ධර්මිෂ්ඨකරනු ලබන්ට සොයමින්ම අපිම පවා පව්කාරයෝව පෙනෙමු නම්, ක්රිස්තුස්වහන්සේ පාපයේ සේවකයෙක් වනසේක්ද? එසේ නොවේවා.
ව්‍යවස්ථාවේ ක‍්‍රියාවලින් කිසිම මනුෂ්‍යයෙකු ධර්මිෂ්ඨ වන්නේ නැත. අප ක‍්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණියේ ධර්මිෂ්ඨකම සොයාගෙනය. නමුත් අප පව්කාරයන් බවට පත් වී සිටිනවානම් තවමත් එසේ වී නම් ක්රිස්තුස්වහන්සේ පාපයේ සේවකයෙකි. ක‍්‍රිස්තුස්වහන්සේ කුරුසපත් වුණේ ආදම්ගේ ලේ තුළින් නමුත් අප හොඳටම දන්නා කරුණක් වන්නේ යේසුස්වහන්සේ ඉපදුනේ ආදම්ගේ ලේ තුළින් නොව දෙවියන්වහන්සේගේ ලෙයින්ය. දෙවියන්වහන්සේ පාපයේ සේවකයෙකු නොවේ. උන්වහන්සේ මේ ලෝකයට පැමිණියේ පව්කාරකමෙන් අපව මුදවා ගන්නටය. උන්වහන්සේ වෙතට අප ගෙන එන්නය.
රෝම 3:10
[10] ඒ ගැන මෙසේ ලියා තිබේ: ධර්මිෂ්ඨ කෙනෙක් නැත, එසේය, එක්කෙනෙක්වත් නැත;
රෝම 3:24
[24] එබැවින් ඔව්හු උන්වහන්සේගේ අනුග්‍රහයෙන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන මිදීම කරණකොටගෙන නොමිලයේ ධර්මිෂ්ඨකරනු ලබන්නෝ වෙති.
අප සියළු දෙනාම පව්කාරයින් ලෙස සිටි නමුත් දෙවියන්වහන්සේ අපව ධර්මිෂ්ඨ කර තිබෙන්නේ නොමිලේය. අපගේ ධර්මිෂ්ඨකම දෙවියන්වහන්සේ ඉදිරියෙහි කිලුටු වැරහැලි හා සමානය.
යෙසායා 64:6
[6] අපි සියල්ලෝම අපවිත්‍ර කෙනෙකු මෙන් වී සිටිමුව, අපේ සියලුම ධර්මිෂ්ඨකම්ද කිලුටු වස්ත්‍රයක් මෙන්ය. අපි සියල්ලෝම කොළයක් මෙන් පරවෙමුව; අපේ අයුතුකම්ද සුළඟ මෙන් අප පහකරගනයයි.
දෙවියන්වහන්සේ අපට කියන්නේ අපගේ ධර්මිෂ්ඨකමෙන් නොව අප ගැළවී තිබෙන්නේ උන්වහන්සේගේ ධර්මිෂ්ඨ ක‍්‍රියාවන් තුළින්.
ශු. යොහන් 6:27-29
[27] නැතිවී යන කෑම පිණිස නොව සදාකාල ජීවනයට පවතින්නාවූ කෑම පිණිස වැඩකරන්න, එය මනුෂ්‍ය පුත්‍රයා නුඹලාට දෙනසේක. මක්නිසාද පියාණන්වහන්සේ, එනම්, දෙවියන්වහන්සේ විසින් ඔහු මුද්‍රාකොට තිබේයයි කීසේක. [28] එබැවින් ඔව්හු කථාකොට: දෙවියන්වහන්සේගේ වැඩ ඉෂ්ටකරන පිණිස අප විසින් කුමක් කටයුතුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. [29] යේසුස්වහන්සේ උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ වැඩය නම් උන්වහන්සේ විසින් එවූ තැනැත්තා කෙරෙහි නුඹලා විසින් අදහාගැන්මයයි කීසේක.
දෙවියන්වහන්සේව සතුටු කරන්නට අප කළ යුත්තේ උන්වහන්සේ මේ ලෝකයට එවපු තැනැන්වහන්සේ ඇදහීමයි. විශ්වාස කිරීමයි. උන්වහන්සේ අපගේ සියල්ලෙන් සියල්ලය. දෙවියන්වහන්සේගේ පූජාව යේසුස්වහන්සේයි. යේසුස්වහන්සේ කළ ක‍්‍රියාව තුළින් අප සිත් වල තිබුණු පාපයේ හැඟීම උන්වහන්සේ ඉවත් කරන ලදී.
හෙබ්‍රෙව් 10:2-3
[2] පුළුවන් නම්, නමස්කාරකරන්නන් වරක් පවිත්‍රකරනලදුව, පව් ගැන ඔවුන්ට තවත් හැඟීමක් නැති බැවින්, ඒ පූජා ඔප්පු කිරීම නවතින්නේ නැද්ද? [3] නුමුත් ඒ යාගවලින් අවුරුදුපතා පව් ගැන සිහිකිරීමක් ඇත්තේය.
සැමවිටම පාපයේ හැඟීම් තිබුණි. පාපය ඉවත් කිරීමට නොහැකි විය. මේ පරණ ගිවිසුමයි. එළුවන්ගේ, පරවියන්ගේ ලේ වලින් අවුරුද්දක් පාසා ඔවුන් පාපය වසා දැමීය. නමුත් ඔවුන්ගේ පාපය අමතක වීමක් උනේ නැත. ඔවුන් සිටියේ භයෙන්ය. ඒ පාපය නිසාය.
ශු. යොහන් 6:30-34
[30] එබැවින් ඔව්හු: එසේවී නම් අප විසින් දැක ඔබ විශ්වාසකරන පිණිස ලකුණක් වශයෙන් ඔබ කුමක් කරනසේක්ද? ඔබ මොන වැඩක් කරනසේක්ද? [31] ඔවුන්ට කන පිණිස ස්වර්ගයෙන් කෑම දුන්නේයයි ලියා තිබෙන ලෙස අපේ පියවරු වනයේදී මන්නා කෑවෝයයි උන්වහන්සේට කීවෝය. [32] එහෙයින් යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: සැබවක් සැබවක් නුඹලාට කියමි–ස්වර්ගයෙන්වූ කෑම නුඹලාට දුන්නේ මෝසෙස් නොවේ; නුමුත් ස්වර්ගයෙන් පැමිණෙන සැබෑවූ කෑම මාගේ පියාණන්වහන්සේ නුඹලාට දෙනසේක. [33] මක්නිසාද දෙවියන්වහන්සේ දෙන කෑම නම් ස්වර්ගයෙන් බැස ලෝකයාට ජීවනය දෙන කෑමයයි කීසේක. [34] එබැවින් ඔව්හු: ස්වාමීනි, ඒ කෑම නිතරම අපට දුන මැනවයි කීවෝය.
ශු. යොහන් 6:35
[35] යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: ජීවනදායක කෑම නම් මමය. මා ළඟට එන්නාට බඩගිනි නොවන්නේය, මා කෙරෙහි අදහන්නාට කිසිකලකත් පිපාසා නොවන්නේය.
අප දෙවියන්වහන්සේ තුළ ඉන්නවානම් කිසිසේත් හිඟ වන්නේ නැත. දෙවියන්වහන්සේ වෙතට එන මනුෂ්‍යයා ගැළවීම ලබයි. ශුද්ධාත්මයාණන්වහන්සේගේ බෞතීස්මය ලබන කෙනා පිපාසා නොවන්නේය.
ක්‍රියා 13:37
[37] නුමුත් දෙවියන්වහන්සේ විසින් නැගුටුවනලද තැනන්වහන්සේ කුණුවීමට නොපැමිණිසේක.
යේසුස්වහන්සේව අපායේ රඳවා ගැනීමට යක්ෂයාට බැරි විය.
ක්‍රියා 13:38-39
[38] එහෙයින්, සහෝදරයෙනි, උන්වහන්සේ කරණකොටගෙන පව් කමා කිරීම නුඹලාට ප්‍රකාශකරනු ලබන බව දැනගන්න. [39] අදහාගන්නාවූ සියල්ලෝ උන්වහන්සේ කරණකොටගෙන සියලු දේවල් පිළිබඳව නිර්දෝෂකරනු ලබති. එසේ නුඹලාට මෝසෙස්ගේ ව්‍යවස්ථාව කරණකොටගෙන නිර්දෝෂ (ධර්මිෂ්ඨ) කරනු ලබන්ට නුපුළුවන්විය.
කිසිම අයුරකින් මෝසෙස්ගේ ලියවිල්ලෙන් ධර්මිෂ්ඨ වෙන්නට බැරිය. ස්වර්ගය යටතේ අපට දී ඇත්තේ එකම එක නාමයක්ය ඒ නාමය නම් යේසුස් යන නාමයයි. දෙවියන්වහන්සේව විශ්වාස කිරීමෙන් අප සියළු දේවල් වලින් ධර්මිෂ්ඨ වේ. කිසිම පාපයක් නැත. සියළු දේවල් වලින් අප නිදහස් වේ. තවමත් මනුෂ්‍යයින් පවසන්නේ මෝසෙස්ගේ ව්‍යවස්ථාව පිළිපැදිය යුතුයි කියාය.
ක්‍රියා 4:12
[12] වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ, මනුෂ්‍යයන් අතරේ දෙනලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේයයි කීවේය.
ක්‍රියා 13:39
අදහාගන්නාවූ සියල්ලෝ උන්වහන්සේ කරණකොටගෙන සියලු දේවල් පිළිබඳව නිර්දෝෂකරනු ලබති. එසේ නුඹලාට මෝසෙස්ගේ ව්‍යවස්ථාව කරණකොටගෙන නිර්දෝෂ (ධර්මිෂ්ඨ) කරනු ලබන්ට නුපුළුවන්විය.
යේසුස්වහන්සේ පිළිගත්තායින් පසුව අපට තවත් දේවල් කිරීමට අවශ්‍ය නැත. දැන් අපට තිබෙන්නේ අපේ මනස අලුත් කරගනිමින් උන්වහන්සේගේ දිව්‍යයමය වචනය විශ්වාස කරමින් පොරොන්දු විශ්වාස කරමින් ශුද්ධ ලෙස ජීවත් වීමයි.
යෙසායා 61:3
[3] සියොන්හි වැලපෙන්නන් පළඳවමින්, අළු වෙනුවට මාලාවකුත් වැලපීම වෙනුවට ප්‍රීතිය නැමති තෛලයත් ක්ලාන්ත සිතක් වෙනුවට ප්‍රශංසාව නැමති වස්ත්‍රයත් ඔවුන්ට දෙන්ටද උන්වහන්සේ මා එවූසේක. මෙසේ කළේ ස්වාමීන්වහන්සේට ගෞරව ලැබීමට උන්වහන්සේ විසින් හිටෙවුවාවූ ධර්මිෂ්ඨකමේ අලෝන ගස්ය කියා ඔවුන් ගැන කියනු ලබන පිණිසය.
අපේ ගැළවීම තුළින් දෙවියන්වහන්සේ අපව ධර්මිෂ්ඨ ගසක් හැටියට හිටුවා තිබේ.
‘’සියෙන්’’ නමින් හඳුන්වන්නේ සභාවයි. අපගේ ආත්මයත්, ප‍්‍රාණයත්, ශරීරයත් දෙවියන්වහන්සේ ගළවා ඇත. දෙවියන්වහන්සේට ගෞරවය ලැබෙන්නේ උන්වහන්සේගේ ධර්මිෂ්ඨ ගස තුළින්ය. අප ධර්මිෂ්ඨව සිට ඵලදරන විට එය දෙවියන්වහන්සේගේ මහිමයයි. ඒ ගෞරවය ලැබෙන්නේ දෙවියන්වහන්සේටය. අප බොහෝ සේ ඵල දැරිය යුතුය.
ශු. යොහන් 15:8
[8] මාගේ පියාණන්වහන්සේට ගෞරව ලැබෙන්නේ නුඹලා විසින් බොහෝ ඵල දැරීමෙන්ය; මෙසේ නුඹලා මාගේ ගෝලයෝ වන්නෝය.
දෙවියන්වහන්සේගේ වචනය ඇසුරින් ඵල දරමු.
රෝම 10:3
[3] මක්නිසාද: ඔව්හු දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නොදැන, තමුන්ගේ ධර්මිෂ්ඨකම ස්ථිරකරන්ට සොයමින්, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට යටත් නූණෝය.
හෙබ්‍රෙව් 10:17-18
[17] ඔවුන්ගේ පාපවල් සහ අධර්මිෂ්ඨකම් තවත් සිහි නොකරන්නෙමියි කියනසේක. [18] ඉඳින් ඒවාට කමාව තිබෙන තැන, පාපය ගැන පූජා ඔප්පුකිරීමක් තවත් නැත.
යේසුස්වහන්සේ එකම එක වරක් පූජාසනයේ පූජා වුණේ මුළු මිනිස් සංහතියම නිදහස් කරන්නය. උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටුණේ නැතිනම් අද අපට ජීවනයක් නැත. මළවුන්ගෙන් නැගිටුණු නිසා අපට සදාකාල ජීවනය ඇත.
හෙබ්‍රෙව් 10:19-20
[19] එබැවින්, සහෝදරවරුනි, යේසුස්වහන්සේ ස්වකීය මාංසය නමැති තිරය මැදින් අප උදෙසා කැපකළාවූ මාර්ගය වන අලුත්වූ ජීවමාන මාර්ගයකින්, [20] උන්වහන්සේගේ ලේ කරණකොටගෙන ශුද්ධස්ථානයට ඇතුල් වීමට අපට නිදහස්කම තිබෙන බැවින්ද,
ශුද්ධස්ථනයට ඇතුල් වෙන්න අපට නිදහස්කම ඇත්තේ යේසුස්වහන්සේගේ ලේ වලිනි. පරණ ගිවිසුමට අනුව ශුද්ධස්ථනයට ඇතුල් වීමට හැකියාව තිබුණේ වසරකට සැරයකි ඒ උත්තම පූජකයන්ටය එක් එක්කෙනාගේ පූජාවන් රැගෙන ගොස් පූජා කරන්නය.
නමුත් යේසුස්වහන්සේ අපගේ උත්තම පූජකයා වී උන්වහන්සේම එක් වරක් පූජාසනයේ පූජා වී උන්වහන්සේ අපව නිදහස් කර ඇත. ඒ නිසා ශුද්ධස්ථනයට යන්නට අපට හැකියාව ඇත.
ශු. මතෙව් 27:50-51
[50] යේසුස්වහන්සේ නැවතත් මහත් ශබ්දයකින් හඬනගා ආත්මය හළසේක. [51] බලව, දේවමාළිගාවේ තිරය ඉහළ පටන් පහළට දෙකඩව ඉරුණේය; පොළොව කම්පාවූවාය;
යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ කුරුසපත් වූ වේලාවේදී දෙකට මැදින් තිරයක් තිබුණි. ශුද්ධස්ථානයත් අති ශුද්ධස්ථානයත් අතර කිසි කෙනෙකුට යා නොහැකිය. නමුත් ඒ තිරය යේසුස්වහන්සේගේ කුරුසපත්වීමෙන් පියාණන්වහන්සේ ඉහල සිට දෙකට ඉරා දැම්මාය. ඒ නිසා අද අපට භයක් නැතිව දෝෂාරෝපණයක් නැතිව ශුද්ධස්ථානයට යා හැකිය.
යේසුස්වහන්සේගේ පාප පූජාව දෙවියන්වහන්සේ පිළිගත්තාය. උන්වහන්සේ එය පිළිගත් නිසා අද අපට නිදහස ලැබී ඇත. දෝෂාරෝපණයෙන් ජීවත් නොවෙමු.
2 කොරින්ති 3:9
[9] මක්නිසාද වරදට පත්කිරීමේ සේවය තේජස නම් ධර්මිෂ්ඨකමේ සේවයේ තේජස ඊට වඩා බොහෝසෙයින් වැඩිව තිබේ.
පරණ ගිවිසුමේ සේවය තිබුණේ වරදට පත් කිරීමයි. නව ගිවිසුමේ සේවය ධර්මිෂ්ඨකමේ සේවයකි. අපි ධර්මිෂ්ඨයි කියා නොදැන සිටියහොත් යක්ෂයා ඉදිරියෙහි නිර්භීතව සිංහයෙකු මෙන් සිටිය නොහැකිය.
ශු. මාර්ක් 16:17-18
[17] අදහන්නන්ට ඇත්තාවූ ලකුණු නම්: ඔව්හු මාගේ නාමයෙන් යක්ෂයන් දුරුකරන්නෝය; අන් භාෂාවලින් කථාකරන්නෝය; [18] සර්පයන් අල්ලාගන්නෝය, යම් මරණීය වස ජාතියක් බීවත් එයින් කිසිසේත් ඔවුන්ට අනතුරක් නොවන්නේය; ඔවුන් රෝගීන් පිට අත් තැබූ කල්හි, ඔව්හු සුවය ලබන්නෝයයි කීසේක.
සෑම ඇදහිලිවක්තයෙකුටම දෙවියන්වහන්සේ දීමනාවක් දී ඇත. දෙවියන්වහන්සේ අදහන අයගේ ලකුණු නම්, මේවාය: රෝගීන් සුව කිරීම, යක්ෂයන් දුරු කිරීම, යහපත් දේ මනුෂ්‍යයාට කියා දීම අදහන අයගේ ලකුණුය. යේසුස්වහන්සේගේ නාමයෙන් අප කතා කරන විට යක්ෂයන් දුරු වෙයි.
1 යොහන් 4:4
[4] මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලා දෙවියන්වහන්සේට අයිතිව, ලෝකයෙහි සිටින තැනැත්තාට වඩා නුඹලා තුළ සිටින තැනන්වහන්සේ උතුම් බැවින්, නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. ඔව්හු ලෝකයෙන් වෙති.
අප දෙවියන්වහන්සේගේ නාමයෙන් ජය ගත් සෙනඟක්ය. දැන් අප තුළ වාසය කරන තැනැන්වහන්සේ ලෝකයේ සිටින යක්ෂයාට වඩා බලවන්තය. ඒ බලය සන්සන්දනය කරන්නට බැරිය.
ගලාති 3:10-11
[10] මක්නිසාද යම් පමණ දෙනෙක් ව්‍යවස්ථාවේ ක්‍රියාවල පිහිටෙන්නෝද, එපමණ දෙනා ශාපයකට යටත්ව සිටිති, මක්නිසාද: ව්‍යවස්ථාපොතෙහි ලියා තිබෙන සියලු දේවල් කරන පිණිස එහි නොපවතින සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබේ. [11] ඉදින් ව්‍යවස්ථාව කරණකොටගෙන කිසිවෙක් දෙවියන්වහන්සේ ඉදිරිපිට ධර්මිෂ්ඨකරනු නොලබන බව පැහැදිලිය. මක්නිසාද ධර්මිෂ්ඨයා ඇදහිල්ල කරණකොටගෙන ජීවත්වන්නේය.
ධර්මිෂ්ඨයා ජිවත් වන්නේ ඇදහිල්ලෙන්ය. අප ධර්මිෂ්ඨ වී සිටින්නේ යේසුස්වහන්සේ ස්වාමීන් ලෙස පිළිගත්ත නිසාය.
Watch the Sermon Video


