+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ස්වාමීන්ගේ ශක්තියේ බලවත්කමෙහි බලවත් වෙන්න- මනූ මැතානි
February 22, 2026 Sunday Sermon Notes


 
දේව වචනය තුළින් අප ශක්තිමත් වෙමු. අපේ හදවතින් දෙවියන්වහන්සේ තුළ පූර්ණ වෙමු. තවත් කෙනෙකුට ආශීර්වාදයක් වෙන්න අපට හැකිය.

එපීස 6:10
[10] ඉතින් ස්වාමීන්වහන්සේ තුළද උන්වහන්සේගේ ශක්තියේ බලවත්කමෙහිද බලවත්වෙන්න.

අප මේ පොළොවේ ජීවත් විය යුත්තේ වියවුල්තාවයෙන්, බියෙන්, සැක සහිත ජීවිත ගත කිරීමකින් නොව, දෙවියන්වහන්සේගේ වචනයට ගරු කරමින් ඒ වචනය අනුව ජීවත් වීමය. ගැළවීම ගැන ස්ථීරභාවයක් නැත්තම් තව කෙනෙකුට ගැළවීම ගැන පැවසිය නොහැක.

ඔබ තෝරාගත යුත්තේ දෙවියන්වහන්සේය. උන්වහන්සේ තුළින් ඔබට සෑම දෙයකින්ම ජයගැනීමට හැකියාව ඇත. දෙවියන්වහන්සේ පවසන්නේ උන්වහන්සේ තුළ ශක්තිමත් වන ලෙසය. උන්වහන්සේගේ බලවත්කමෙන් අපට ජය ගත හැකිය. අප දුර්වලයන් නොව ශක්තිමත් පිරිසක්ය.

ඔබ ජීවමාන දෙවියන්වහන්සේ අදහනවානම් අශුද්ධ ආත්ම ඔබ තුළට පැමිණෙන්නේ නැත. අප ජීවිත වලට යක්ෂයාට ඒමට ඉඩ නොදී ශුද්ධාත්මයාණන් වහන්සේ තුළ පූර්ණවී සිටිමු.

දෙවියන්වහන්සේගේ වචනය අපට ආලෝකයයි. උන්වහන්සේගේ වචන ප‍්‍රකාශ කරමින් ගමන් කරමු.

යෝබ් 6:24
[24] මට උගන්වන්න, එවිට මම නිශ්ශබ්දව සිටින්නෙමි. මට වැරදුණේ කුමක් ගැනද කියාත් මට තේරුම්කර දෙන්න.

අප දිව පාලනය කර ගත යුතුය. නිකම් වචන කතා නොකර අවශ්‍යය දේ පමණක් කතා කර දෙවියන්වහන්සේ සමඟ රැඳෙමු.

“මගේ දිව පාලනය කරගන්නේ කෙසේදැයි මට උගන්වන්න. මට වැරදුණු ස්ථාන හරිගස්වාගන්නට උගන්වන්න ස්වාමිනි.” හරි වචන කතා කිරීම ඉතා වැදගත්.

යෝබ් 6:25
[25] අවංකකමේ වචන කොපමණ බලවත්ද! නුමුත් නුඹලාගේ අවවාදයෙන් තරවටුකරන්නේ කුමක් ගැනද?

ඔබ කතා කරන්නේ දෙවියන්වහන්සේගේ ජීවමාන වචන නම් ආලෝකමත්ය.

යෝබ් 22:28
[28] නුඹ කාරණයක් නියමකරගත් කල්හි ඒක නුඹට ස්ථිරවන්නේය; නුඹේ මාර්ග කෙරෙහිද එළිය බැබළෙන්නේය.

ඔබ යම් කාරණාවක් ප‍්‍රකාශ කරන විට එය ඔබගේ ජීවිතයේ ස්ථීර වෙයි. දෙවියන්වහන්සේගේ වචන අපේ අනාගතය සූදානම් කරයි. අප කතා කරන වචන අපගේ අනාගතයට ප‍්‍රයෝජනවත්ය.

දෙවියන්වහන්සේගේ හස්තයේ තිබෙන දේ අප ප‍්‍රකාශ කරන්නැතිනම් ඒවා ඉෂ්ඨ වන්නේ නැත. යක්ෂයා බලමින් සිටින්නේ අපේ අනාගතය විනාශ කර දැමීමටය. නමුත් අපට අවශ්‍ය වන්නේ හොඳ අනාගතයක්ය. අප තෝරාගත යුත්තේ දේව වචන අපේ මුඛයෙන් පිට කරන්නටය. දෙවියන්වහන්සේගේ වචනය ආලෝකයයි.

දෙවියන්වහන්සේ අපට පවසන්නේ වචන ගැන ප‍්‍රවේසම් වී හරි ලෙස අවංක වචන කතා කරන ලෙසය. දේව වචනය අප ජීවිතයේ කරන්න පටන් ගනී.

ගීතාවලිය 119:130
[130] ඔබගේ වචන එළිදරව්වීමෙන් ආලෝකය ලැබේ; එයින් නුවණ නැත්තන්ට තේරුම් ලැබේ.

දෙවියන්වහන්සේගේ වචනය එළිදරව්වක් වී ආලෝකය ලැබේ. අපගේ ජීවන මාර්ගයට දෙවියන්වහන්සේගේ සත්‍යය වචනය ආලෝකයක් වේ. දිනපතා දෙවියන්වහන්සේගේ වචන හරි ලෙස ප‍්‍රකාශ කරමු.

ගීතාවලිය 119:105
[105] ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය’

යේසුස්වහන්සේගේ මුල් ප‍්‍රතිපත්ති අපි පාවිච්චි කළ යුතුය. උන්වහන්සේ ආරම්භයේ සිටම අප සමඟ සිටියාය. අප අන්ධකාරයෙන් ආලෝකයට පැමිණ තිබෙන්නේ දෙවියන්වහන්සේ නිසාය.

උත්පත්ති 1:1-2
[1] පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූසේක. [2] පොළොව වනාහි පාළුව හිස්ව තිබුණාය; ගැඹුර පිට අන්ධකාරය විය. දෙවියන්වහන්සේගේ ආත්මය ජලමතුයෙහි හැසිරෙමින් සිටිසේක.

උත්පත්ති 1:3
[3] දෙවියන්වහන්සේ: එළිය වේවයි කීසේක; එවිට එළිය විය.

දෙවියන්වහන්සේ දිගින් දිගටම අනාගතයට කතා කරමින් උන්වහන්සේ මේ මුළු ලෝකයම මවන ලදී.

උත්පත්ති 1:26 තව දෙවියන්වහන්සේ: අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ; ඔව්හු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයෙහි පක්ෂීන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුළු පොළොව කෙරෙහිද පොළොව පිට බඩගා යන සියල්ලන් කෙරෙහිද ආණ්ඩුකෙරෙත්වයි කීසේක.

දෙවියන්වහන්සේ මනුෂ්‍යයාව මැව්වේ මේ පොළොව පාලනය කරන්නටය. අපට අනාගතය පෙනෙන්නේ ලෙඩ රෝග, පැතිරී යන රෝග, විනාශකාරී දේවල්ය. ඒවා දරාගත නොහැකිය. නමුත් ඉදිරි අනාගතයේදී දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය. දෙවියන්වහන්සේගේ වචනය කොයිම දෙමුවහත් කඩුවකට වඩා තියුණුය.

උන්වහන්සේගේ වචනය බලවන්තය. දෙවියන්වහන්සේගේ වචනයට කරන්න බැරි දෙයක් නැත. උන්වහන්සේ පවසන්නේ උන්වහන්සේගේ සත්‍යය වචනයෙන් ඔබ අනාගතයට කතා කරන ලෙසය. අප ශක්තිමත්ව සිටිය යුතුය. දෙවියන්වහන්සේ තුළ බලවත් විය යුතුය.

යෙසායා 60:1 නැගිට බැබළියන්න, මක්නිසාද නුඹේ ආලෝකය පැමුණුණේය, ස්වාමීන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි උදාවිය.

අපේ ආලෝකය දෙවියන්වහන්සේගේ සත්‍ය වචනයයි.

කොලොස්සි 3:1 ඉඳින් නුඹලා ක්‍රිස්තුස්වහන්සේ සමඟ නැගුටුවනලද්දහු නම් උසස් තැන්හි තිබෙන දේවල් සොයාගන්න. එහි ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ වැඩහිඳිනසේක.

කොලොස්සි 3:2
[2] පොළොවේ තිබෙන දේ නොව උසස්තැන්හි තිබෙන දේම සලකන්න.

දෙවියන්වහන්සේ තුළින් නැවත නැඟිට සිටින කෙනෙකු නම් යේසුස්වහන්සේ පිළිගෙන, වතුර බෞතීස්මය ගෙන දේව දරුවෙකු සේ සිටිනවානම් උසස් තැන්වල දේ සොයා කතා කරන්න.

ශු. මතෙව් 6:6 නුමුත් නුඹ යාච්ඤාකරන කල්හි නුඹේ ඇතුල් ් ගෙට වැද, දොර වසා, රහසිගතව වසන නුඹේ පියාණන්වහන්සේට යාච්ඤාකරන්න, එවිට රහසින් දකින නුඹේ පියාණන්වහන්සේ ඔබට විපාකදෙනසේක.

ශු. මතෙව් 6:7-10
[7] තවධ යාච්ඤාකිරීමේදී අන්‍ය ජාතීන් මෙන් නිරර්ථකවූ වචන කියාගන කියාගන නොයන්න. ඔව්හු තමුන්ගේ වචන රාශිය නිසා අසනු ලබන්නෝයයි සිතති. [8] එබැවින් ඔවුන්ට සමාන නොවෙන්න. මක්නිසාද නුඹලාගේ පියාණන්වහන්සේගෙන් නුඹලා යමක් ඉල්ලන්ට පළමුවෙන් නුඹලාට වුවමනා දේ කුමක්දැයි උන්වහන්සේ දන්නාසේක. [9] එහෙයින් නුඹලා මෙසේ යාච්ඤාකරන්න:– ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍යය ඒවා. [10] ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.

දෙවියන්වහන්සේ තම ගෝලයන්ට ඉගැන්වූයේ යාච්ඤා කරන්නටය. දෙවියන්වහන්සේගේ වචනයෙන් පිට කිසිම දෙයකට උන්වහන්සේ අහුම්කන් දෙන්නේ නැත. උන්වහන්සේගේ භාෂාවෙන් අප යාච්ඤා නොකරන්නේනම් එය උන්වහන්සේගේ කැමැත්ත නොවේය.

ධර්මිෂ්ඨයෙකු යාච්ඤා කළ යුත්තේ දෙවියන්වහන්සේගේ පිළිතුරු ලබා ගැනීමටය. උන්වහන්සේ අපට පවසන්නේ වචනය අනුව යාච්ඤා කරන්න කියාය. අපට අවශ්‍යය දේ දෙවියන්වහන්සේ කලින්ම දන්නවා ඇත. ස්වර්ගයේ වැඩ වාසය කරන්නේ අපගේ පියාණන්වහන්සේය. උන්වහන්සේට නමස්කාරයත් ගෞරවයත් පුද කරමු.

තද හුළඟක් හමන්නාක්මෙන් ශබ්දයක් අහසෙන් හදිසියෙන් පැමිණ, එයින් ඔවුන් හිඳගෙන උන්නාවූ මුළු ගෙය පිරුණේය. [ක්‍රියා 2:2]

දෙවියන්වහන්සේ පවසන්නේ ස්වර්ගයේ ක‍්‍රියාත්මක වෙන විදිහට මේ පොළොවේත් ක‍්‍රියාත්මක විය යුතුය කියාය. එය සිදු විය යුත්තේ අප තුළිනි. යක්ෂයා උත්සාහ කරන්නේ මෙය විනාශ කර දමා මනුෂ්‍යයන් නොමඟ යවා ඔවුන්ට ගැළවීමට නොදී ඔවුන්ව දෙවියන්වහන්සේගෙන් ඈත් කර තබන්නටය නමුත් අප කළ යුත්තේ දෙවියන්වහන්සේගේ කැමැත්තය.

ස්වර්ගයේ කැමැත්ත මේ පොළොවේ සිදු විය යුතුය. මේ ලෝකයේ සියල්ලම ඇත්තේ පියාණන්වහන්සේ යටතේය. දෙවියන්වහන්සේගේ වචනය තුළින් ශක්තිමත්ව සිටීමෙන් සෑම ගැටළුවකටම මුහුණ දිය හැකිය.

ක්‍රියා 1:6-7
[6] එහෙයින් ඔව්හු රැස්වූ විට: ස්වාමිනි, මේ කාලයේදී ඔබ ඉශ්‍රායෙල්ට රාජ්‍යය නැවත පිහිටුවාදෙනසේක්දැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. [7] උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: පියාණන්වහන්සේ තමන්ගේම බලය යටතේ තබාගත් කාලයන්ද ප්‍රස්තාවන්ද දැනගැනීම නුඹලාට අයිති නැත.

එළිදරව් 5:9
[9] ඔව්හු අලුත් ගීතිකාවක් ගායනාකරමින්: ඔබ පොත ගන්ටත් එහි මුද්‍රා කඩන්ටත් වටින තැනන්වහන්සේය. මක්නිසාද ඔබ මරනු ලැබ, සියලු ගෝත්‍රවලින්ද භාෂාවන්ගෙන්ද සෙනඟගෙන්ද ජාතීන්ගෙන්ද මිනිසුන් ඔබගේ ලෙයින් දෙවියන්වහන්සේට මිලේට ගෙන,

එළිදරව් 5:10
[10] ඔවුන් අපගේ දෙවියන්වහන්සේට රාජ්‍යයක්ද පූජකයන්ද කළසේක; ඔව්හු පොළොවෙහි රජකම්කරතියි කීවෝය.

සියළු ජාතීන්, සියළු මනුෂ්‍යයන් දෙවියන්වහන්සේ මිලේට ගෙන ඇත. නමුත් ඔවුන්ගේ කැමැත්තට විරුද්ධව දෙවියන්වහන්සේ බලහත්කාරයෙන් දේව රාජ්‍යය වෙත ඔවුන් ඇතුල්ත් කරගන්නේ නැත.

යේසුස්වහන්සේ අපේ පව් වලට සමාව දී හමාරය. අප උන්වහන්සේව පිළිගත්තානම් උන්වහන්සේ අප තුළ ක‍්‍රියා කරයි. උන්වහන්සේව පිළිගන්නා අය පුත‍්‍රයන් බවට පත් කර ගනී. දෙවියන්වහන්සේ අප වෙනුවෙන් නිරයට ගොස් මිලය ගෙව්වාය.

ආදම්ගේ ලේ තුළින් මනුෂ්‍යයන්ව විනාශ කරන ලදී, නමුත් යේසුස්වහන්සේගේ ලේ තුළින් ජීවනය දුන්නාය. යේසුස්වහන්සේ පිළිගත් කෙනෙකු නම් ඔබ පොළොවේ රජකම් කරයි.

ශු යොහන් 1:12
නුමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන්වහන්සේගේ දරුවන්වෙන්ට උන්වහන්සේ බලය දුන්සේක.

රෝම 5:17
[17] මක්නිසාද එක්කෙනාගේ වරද නිසා ඒ එක්කෙනා කරණකොටගෙන මරණය රජකම්කළේවී නම්, කරුණාවේද ධර්මිෂ්ඨකම නමැති දීමනාවේද බහුලත්වය ලබන අය, එක්කෙනාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ඊට වඩා ජීවනයෙහි රජකම්කරන්නෝය.

ජීවනය රජකම් කරයි.

යෙසායා 61:10
[10] මම ස්වාමීන්වහන්සේ තුළ බොහෝසේ ප්‍රීතිවන්නෙමි, මාගේ ආත්මය මාගේ දෙවියන්වහන්සේ තුළ සන්තෝෂවන්නේය; මක්නිසාද මනමාලයා පූජක මකුටයක් දමාගන්නාක්මෙන්ද මනමාලි ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන්ද උන්වහන්සේ ගැළවීම නැමති වස්ත්‍ර මට පැළදේවුසේක, ධර්මිෂ්ඨකම නැමති සළුවධ මට පෙරෙවුසේක.

යෙසායා 60:1
[1] නැගිට බැබළියන්න, මක්නිසාද නුඹේ ආලෝකය පැමුණුණේය, ස්වාමීන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි උදාවිය.

යෙසායා 60:2
[2] එසේය, පොළොව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය. නුමුත් නුඹ කෙරෙහි ස්වාමීන්වහන්සේ උදාවනසේක, උන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි පෙනෙන්නේය.

ඔබ තුළ තිබෙන දේව වචනය තුළින් ඔබ ආලෝකමත් කෙනෙක්ය. දෙවියන්වහන්සේ අපට පවසන්නේ ස්වාමීන්ගේ වචනය හරි ලෙස භාවිතා කරන ලෙසය. බලාපොරොත්තුවක් නැති වචන කතා නොකරන්න.

යෙසායා 60:3
[3] ජාතීන් නුඹේ ආලෝකයටද රජවරුන් නුඹේ උදාවීමේ දීප්තියටද එනවා ඇත.

දෙවියන්වහන්සේගේ දරුවන්නම් ඔවුන් තුළ ඇත්තේ ජීවනය පමණකි.

රෝම 13:11-12
[11] තවධ කාලය දැන, එනම් දැන් නුඹලා නින්දෙන් පිබිද සිටින්ට හරි වේලාවයයි දැන, එසේ කරන්න. මක්නිසාද අප අදහාගත් කාලයේදී තිබුණාට වඩා දැන් ගැළවීම අපට ළංව තිබේ. [12] රාත්‍රිය බොහෝසේ ඉකුත්ව ගියේය, දවාල ළඟය. එබැවින් අන්ධකාරයේ ක්‍රියා අහකදමා, ආලෝකයේ ආයුධ පැළඳගනිමු.

රෝම 13:13-14
[13] ක්‍රීඩා ඝෝෂාව සහ බීමත්කමෙන් හෝ සල්ලාලකම සහ අනාචාරයෙන් හෝ ඩබර සහ ඊර්ෂ්‍යාවෙන් හෝ නොහැසිර, දවාලෙහි මෙන් ඔබින ලෙස හැසිරෙමු. [14] නුමුත් තෘෂ්ණා පූර්ණකරන පිණිස මාංසයට ඉඩනොදී, ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පැළඳගන්න.

අපි අවදිව සිටිමු. දෙවියන්වහන්සේගේ ජීවනය අප තුළින් නිකුත් වේ. ධර්මිෂ්ඨකමේ ළය වැස්ම, ගැළවීමේ තොප්පිය, වචනයේ කඩුව, සමාදානයේ පාවහන්. ආලෝකයේ ආයුධ පැළඳගෙන සිටින්න. අවංක මනුෂ්‍යයන් ලෙස අපි හැසිරිය යුතුය. අප දෙවියන්වහන්සේගේ වංශයේ මනුෂ්‍යයන්ය.

අපි යේසුස්වහන්සේ ලෙසම අපත් ජීවත් වෙමු. උන්වහන්සේ හැසිරෙන ආකාරයට හැසිරෙමු. දෙවියන්වහන්සේගේ වචන ජීවන වචනයි එවාගෙන් මනුෂ්‍යයන්ගේ ජීවිත ආලෝකමත් වේ. උන්වහන්සේගේ ආත්මික වචන වලින් මනුෂ්‍යයන්ව ජීවත් කරයි.


Watch the Sermon Video

Read 153 times