+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ඔබට මඟ පෙන්වු අයව සිහි කරන්න - මනූ මැතානි
March 8, 2026 Sunday Sermon Notes

තීතස් 1:1-2
[1] බොරු නොකියන දෙවියන්වහන්සේ පූර්ව කාලවලට ප්‍රථමයෙන් පොරොන්දුවුණාවූ, [2] අපේ ගැළවුම්කාරයා වන දෙවියන්වහන්සේගේ ආඥාව ලෙස මට භාරදෙනලද පණිවිඩයෙන් තමන්වහන්සේගේ වචනය ප්‍රකාශකිරීමෙන් නියම කාලවලදී එළිදරව්කළාවූ සදාකාල ජීවනයේ බලාපොරොත්තුව සඳහා,

දෙවියන්වහන්සේ කවදාවත් බොරු නොකියයි. උන්වහන්සේ වෙනස් වෙන්නේත් නැත.

මක්නිසාද ස්වාමීන්වහන්සේ වන මම වෙනස් නොවෙමි; එබැවින් යාකොබ්ගේ පුත්‍රයෝවූ නුඹලා විනාශ නොවී සිටින්නහුය.[මාලාකි 3:6]

අපේ යාච්ඤාවන් වලට පිළිතුරු දෙන්න දෙවියන්වහන්සේ බැඳී සිටියි.

හෙබ්‍රෙව් 6:18
[18] මෙසේ කළේ දෙවියන්වහන්සේ විසින් බොරුකියන්ට බැරිවූ වෙනස් නොවන කාරණා දෙකක් කරණකොටගෙන, අප ඉදිරියේ තබා තිබෙන බලාපොරොත්තුව අල්ලාගැනීමට ආරක්ෂාව පිණිස පලා ආවාවූ අපට මහත් ධෛර්යයක් ලැබෙන පිණිසය.

මනුෂ්‍යයන් බොරු කියයි නමුත් දෙවියන්වහන්සේ බොරු නොකියයි.

එපීස 3:9
[9] සියල්ල මැවුවාවූ දෙවියන්වහන්සේ තුළ සියලු කාලවල පටන් සැඟවී තිබුණාවූ රහසේ නියමය කිමෙක්ද කියා සියල්ලන්ට පෙන්වන පිණිසත්ය.

දෙවියන්වහන්සේ සියල්ල මවන ලදි. උන්වහන්සේට අපහසු වූ බලවත් වූ කිසි කාරණයක් නොමැත. අපේ මැවුම්කරුවූ දෙවියන්වහන්සේට අපට අවශ්‍යය සියළු දේ සපයා දීමට හැකිය. උන්වහන්සේට කිසි හිඟයක් නැත. දෙවියන්වහන්සේව සීමා නොකර සිටිමු.

කොලොස්සි 1:15-17
[15] උන්වහන්සේ අදෘශ්‍යමාන දෙවියන්වහන්සේගේ ස්වරූපයය, මුලු මැවිල්ලේ කුළුඳුලාණෝය; [16] මක්නිසාද සිංහාසන වේවා, ස්වාමිකම් වේවා, අධිපතිකම් වේවා, බලපරාක්‍රම වේවා, ස්වර්ගවල සහ පොළොවෙහිත් ඇති පෙනෙන්නාවූ දේවල්ද නොපෙනෙන්නාවූ දේවල්ද යන සියල්ල උන්වහන්සේ තුළ මවන ලද්දේය; සියලු දේ උන්වහන්සේ කරණකොටගෙනද උන්වහන්සේ උදෙසාද මවා තිබේ; [17] උන්වහන්සේ සියල්ලටම පළමුවෙන් සිටිනසේක, සියල්ලද උන්වහන්සේ තුළ පවතින්නේය.

පෙනෙන දේවල් දකින දේවල් මේ සෑම දෙයක්ම දෙවියන්වහන්සේගේ මැවිලිය. පෙනෙන දේවල් වලට අපි ස්තුති කරමු. අපි නමස්කාර කරන දෙවියන්වහන්සේ අති උතුම්ය. අපේ දෙවියන්වහන්සේ අලුත් දේවල් කරන දෙවි කෙනෙකි. ස්වාභාවික දේවල් නැවුම් වූ දේවල් උන්වහන්සේ අපට ලබා දෙයි.

එපීස 3:20
[20]ඉතින් අප තුළ ක්‍රියාකරන්නාවූ බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දේට වඩා ඉතා අධිකලෙස කරන්ට බලය ඇත්තාවූ තැනන්වහන්සේටම,

අප ඉල්ලන දේවල් වලටත් වඩා සපයා දෙන්නට දෙවියන්වහන්සේට හැකිය. දෙවියන්වහන්සේ අප තුළ ක‍්‍රියා කරයි. උන්වහන්සේ ක‍්‍රියා කරන්නේ දේව වචනය තුළිණි.
අප තුළ ඇත්තේ ශුද්ධාත්මයාණන්ගේ හැකියාවය, බලයය. දෙවියන්වහන්සේට කිසිම දෙයක් අපහසු නැත. මේ විශ්වයේ මැවුම්කරුවන් වන්නේ දෙවියන්වහන්සේය. උන්වහන්සේට පටන් ගැන්මත් සහ අවසානයක් නැත. දෙවියන්වහන්සේට කිසි වයසක් නැත. උන්වහන්සේ ජීවත් වන දෙවි කෙනෙකි. උන්වන්සේ සදාකාලීනව ජීවත් වන දෙවියන්වහන්සේය.

යෙසායා 46:10
[10] මම වනාහි අන්තිමය මුල පටන්ද තවම සිද්ධනූණ දේ පුරාණයේ පටන්ද දන්වන්නාවූ: මාගේ මන්ත්‍රණ පවත්නේය කියාත් මාගේ මුලු කැමැත්ත ඉෂ්ටකරන්නෙමියි කියාත් කියන්නාවූ තැනන්වහන්සේය.

හෙට දවස කුමක් වේද කියා අප දන්නේ නැත. නමුත් දෙවියන්වහන්සේ මේ සියල්ලක්ම දන්නේය. උන්වහන්සේට ආශ්චර්යයමත් දේවල් කළ හැකිය.

යෙසායා 43:16
[10] මුහුදෙහි මාර්ගයක්ද මහ ජලයන් මැදින් පාරක්ද සාදන්නාවූ,

දෙවියන්වහන්සේගේ අනර්ඝ වූ පොරොන්දු අපි ප‍්‍රකාශ කරමු. මහ මුහුදේ පාරවල් සෑදිය නොහැකිය, නමුත් දෙවියන්වහන්සේ ඉශ‍්‍රායෙල් සෙනඟට මහ මුහුද දෙබෑ කර මාර්ගයක් විවර කරමින් ඔවුන්ව මිසර දේශයේ සිට පොරොන්දු දේශයට යවන ලදී. දෙවියන්වහන්සේ පුදුමාකාර දෙවි කෙනෙකි.

බයිබලයේ පද කියවා මෙනෙහි කරමු. මෝසෙස් මරණයට පත් වුනායින් පසු දෙවියන්වහන්සේ යෝෂුවාට පැවසුවේ ඉශ‍්‍රායෙල් සෙනඟ පෙරොන්දු දේශයට රැගෙන යන ලෙසය. ඔවුන් එසේ යන අවස්ථාවේදී යෝර්දාන් නදිය පසු කරගෙන යෑමට සිදු විය. දෙවියන්වහන්සේ යෝර්දාන් නදිය මැද්දෙන්ද මාවතක් විවර කරන ලදී.

යෙසායා 43:19
[19] බලව, මම අමුතු දෙයක් කරන්නෙමි; දැන් ඒක අටගන්නවා ඇත; නුඹලා ඒක නොදන්නහුද? මම කාන්තාරයෙහි පවා මාර්ගයක්ද වනයෙහි ගංගාද සාදන්නෙමි.

දෙවියන්වහන්සේ කරන දේවල් ගැන අප විශ්වාස කළ යුතුය. උන්වහන්සේ හාස්කම් කරනා දෙවියන්වහන්සේය.

යෙසායා 35:7- 10
[7] මිරිඟු වැල්ල පොකුණක්ද වියළි භූමිය දිය උල්පත්ද වන්නේය. සිවලුන් ලැග්ගාවූ නිවාසයෙහි බට සහ පන් හටගන්න ඉඩමක් වන්නේය.[8] එහි මාර්ගයක් වන මහමාවතක් වේ, ඊට ශුද්ධකමේ මාර්ගයයයි කියනු ලබන්නේය; අපිරිසිදු කෙනෙක් එහි නොයන්නේය; ඒක ඔවුන්ටම වන්නේය. ඒ මාර්ගයෙහි යන කවුරු නුමුත් අඥානව සිටිතත් මුළාවෙන්නේ නැත. [9] සිංහයෙක් එහි සිටින්නේවත් කිසි චණ්ඩ මෘගයෙක් එහි නැගීයන්නේවත් උන් එහි සම්බවෙන්නේවත් නැත; මුදනු ලැබූ අයවල්ම එහි ඇවිදින්නෝය. [10] ස්වාමීන්වහන්සේ විසින් නිදහස්කරනලද අය ගී කියමින් සියොන්ට හැරී එන්නෝය; සදාකාල ප්‍රීතිය ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය. ඔව්හු ප්‍රීතිය හා සන්තෝෂය ලබන්නෝය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.

අපට වෙනස් කර නොහැකි සමහර දේවල් දෙවියන්වහන්සේට වෙනස් කිරීමට හැකිය. දෙවියන්වහන්සේ දරුවන් වන අපට උන්වහන්සේ අලුත් දේවල් සූදානම් කරයි. දේව අභිමුඛයෙන් විසන්ධි නොවී සිටිමු. උන්වහන්සේගේ මාවතේ අපි ගමන් කරමු. අප ආශීර්වාදය ලබන්නට පෙර ප‍්‍රීති වෙමු. දුක් නොවී, කනස්සලු නොවී, දෙවියන්වහන්සේගේ වචනය විශ්වාස කරමු.

යෙසායා 40:28
[28] පොළොවේ සීමාවල මැවුම්කාරවූ ස්වාමීන්වහන්සේ වන සදාකාල දෙවියන්වහන්සේ ක්ලාන්ත නොවන බවත් වෙහෙස නොවන බවත් නුඹ දන්නේ නැද්ද? නුඹ අසා නැද්ද? උන්වහන්සේගේ ඥානය දැනගන්ට බැරිය.

දෙවියන්වහන්සේ අපට දුන් පොරොන්දු අමතක කරන්නේ නැත. දෙවියන්වහන්සේ අපට පවසන්නේ ක්ලාන්ත නොවී, වෙහෙස නොවී, අවදිව හොඳ සිහියෙන් අපේ පොරොන්දු ඉෂ්ට කරන්නට බැදී සිටින බවයි.

යෙසායා 40:25-26
[25] ඉතින් නුඹලා මා කාට සමාන කරනවාද? මා එක සමානව සිටින්නේ කාටදැයි ශුද්ධ තැනැන්වහන්සේ අසනසේක. [26] නුඹලාගේ ඇස් ඉහළ ඔසවා බලන්න, මේවා මැවුවෙත් මේවායේ සේනාව ගණන් වශයෙන් පිටතට පමුණුවන්නෙත් කවුද? උන්වහන්සේ මේ සියල්ලට නම් කියා හඬගසනසේක; උන්වහන්සේගේ බලයේ මහත්කම නිසාද උන්වහන්සේ ශක්තියෙන් බලවත් බැවින්ද එකක්වත් නෑවිත් නොතිබේ.

දෙවියන්වහන්සේ කිසිවෙකුටත් සමාන කර නොහැක. උන්වහන්සේ අහස පොළොව මැවූ එකම තැනැන්වහන්සේය. අප විශ්වාස කරන සෑම දෙයක්ම උන්වහන්සේට සපයා දිය හැකිය.


Watch the Sermon Video

Read 143 times