+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
නොමැරී ජීවත්වන්න - මනූ මැතානි
March 15, 2026 Sunday Sermon Notes
දෙවියන්වහන්සේගේ වචනය අපට ඖෂධයකි. ඒ ඖෂධය පාවිච්චි කරමින් සම්පූර්ණ සමාදානය නිදහස අත්දැකීමට හැකිය. ඇදහිල්ල ඇත්තේ අපට ජය ගැනීමටය. දෙවියන්වහන්සේගේ වචනය සමඟ ජීවත් වෙමු.
හිතෝපදේශ 4:20-22
[20] මාගේ පුත්‍රය, මාගේ වචනවලට ඇහුම්කන්දී, මාගේ කීම්වලට නුඹේ කන නමන්න. [21] ඒවා නුඹේ ඇස් ඉදිරියෙන් පහ නොවේවා; නුඹේ සිත තුළ ඒවා තබාගන්න. [22] මක්නිසාද ඒවා සම්බවන්නන්ට ඒවා ජීවනයත් ඔවුන්ගේ සකල ශරීරයට සුවයත්වේ.
දෙවියන්වහන්සේගේ වචනය අපගේ ඖෂධයයි. දේව වචනය ගන්නේ අපගේ ප‍්‍රකාශයෙනි. දෙව් ප‍්‍රීතිය අපගේ ශක්තියයි. යේසුස්වහන්සේ දරාගත් ඒ වේදනාව තුළින් අපට නිදහස ලැබී ඇත. දෙවියන්වහන්සේ අපට කියා තිබෙන්නේ උන්වහන්සේ අපගේ ආහාරවලටත් අපේ වතුරටත් ආශීර්වාද කර ඇති බවයි. අපි නිතරම සෑම දෙයකටම දෙවියන්වහන්සේට ස්තුති කරමු. සෑම රෝගයක්ම දෙවියන්වහන්සේ අප මධ්‍යයෙන් ඉවත් කර තිබේ.
හෙබ්‍රෙව් 10:23
[23] අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශකිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු; මක්නිසාද පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාසවසිටිනසේක.
දෙවියන්වහන්සේට අපගේ ඇදහිල්ල පෙන්විය යුතුය. උන්වහන්සේ අපගේ ඇදහිල්ල දකින්නේ ප‍්‍රකාශයෙන් හා හැසිරීමෙනි. දෙවියන්වහන්සේගේ වචනය අපට ඖෂධයක් වැනිය එම නිසා වචනය සුළු නොකරන්න වග බලා ගත යුතු වේ. උන්වහන්සේගේ වචනය අපි තදින් අල්ලාගෙන නොකඩවා ප‍්‍රකාශ කරමු. මරණයේ විශබීජ නැති කර දැමිමට ජීවන වචනයට හැකිය. යක්ෂයා හා මේ ලෝකයේ ක‍්‍රමය සදා තිබෙන්නේ මනුෂ්‍යයන්ගේ ජීවිත ඉක්මනටම නැතිකර දැමීමටය. නමුත් දෙවියන්වහන්සේ පවසන්නේ ජීවත් වන්න කියාය.
ද්වීතීය කථාව 30:15, 19
[15] මෙන්න, මම අද ජීවනය හා යහපතද මරණය හා විපතද නුඹ ඉදිරියෙහි තැබීමි.
[19] මා විසින් ජීවනය හා මරණයද ආශීර්වාදය හා ශාපයද නුඹලා ඉදිරියෙහි තැබූ බවට අද නුඹලාට විරුද්ධව සාක්ෂි පිණිස අහසටත් පොළොවටත් හඬගසමි. එබැවින් නුඹත් නුඹේ වංශයත් ජීවත්ව සිටින පිණිස ජීවනය තෝරාගෙන,
මරණයත් ජීවනයත් අප ඉදිරියේ ඇත. අප තෝරාගත යුතු වන්නේ ජිවනයය. මරණය ආරම්භ වූයේ පළමු මනුෂ්‍යයා වන ආදම් ගෙන්ය. නමුත් අපට නැවත ජීවනය ලබා දුන්නේ යේසුස්වහන්සේ තුළිණි. ජීවන වචන කතා කළ යුතුය. අපගේ සිත දේව වචනයෙන් පුරවා ගනිමු.
හිතෝපදේශ 6:30-31
[30] හොරෙක් තමාට බඩගිනි නිසා තමාගේ ආශාව සන්සිඳුවාගන්න පිණිස හොරකම් කළත්, මනුෂ්‍යයෝ එය නොසලකා නොහරිති. [31] නුමුත් ඔහු අසුවුණොත් සත් ගුණයක් ගෙවන්ට ඕනෑය; තමාගේ ගෙයි මුලු සම්පත වුවත් දෙන්ට ඕනෑය.
ආත්මික තලයේ තිබෙන දේවල් සත්‍යය.
ශු. යොහන් 10:10
[10] සොරා එන්නේ සොරකම්කරන්ටත් මරන්ටත් විනාශකරන්ටත් පමණක්ය. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධිකලෙස ලැබෙන පිණිසත්ය.
ශු. ලූක් 10:18
[18] උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: සාතන් විදුලිය මෙන් අහසෙන් වැටුණා දුටිමි.
ආත්මික තලයේ තිබෙන දේවල් සැබෑවූ දේවල්ය.
එපීස 1:4
[4] ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළ අප තෝරාගත් ලෙසම, උන්වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශීර්වාදවලින් උන්වහන්සේ අපට ආශීර්වාද කළසේක.
ස්වර්ගීක ස්ථානවල තිබෙන සෑම දෙයකින්ම දෙවියන්වහන්සේ අපට ආශීර්වාද කර ඇත. ආත්මික තලයෙන් දෙවියන්වහන්සේ අපට බලය දී ඇත. අප කතා කරන වචන ඉතා වැදගත්ය.
ශු. යොහන් 6:63
[63] ජීවත්කරන්නේ ආත්මයය; මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා නුඹලාට කී වචන ආත්මයද ජීවනයද වෙයි.
ශුද්ධාත්මයාණන්වහන්සේ අපට සුවය, සඵලත්වය හා ජීවිතයට අවශ්‍යය දේවල් ලබා දෙයි. උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරගෙන ඒ අනුව ගමන් කරමු. ආත්මික තලයේ සියළු ආශීර්වාද ලැබී ඇති බව අදහන්න. ආත්මික තලයේ අපට හැකියාව, ජීවනය, ශක්තිය, පුළුවන්කම තිබේ.
දෙවියන්වහන්සේ අපට දී තිබෙන වචන ආත්මික ජීවන වචනය. උන්වහන්සේගේ දරුවන් හැටියට අප ජීවන වචන ප‍්‍රකාශ කළ යුතුය.
1 යොහන් 4:17
[17] අප තුළ ප්‍රේමය සම්පූර්ණව තිබීම නම්, ඒ තැනන්වහන්සේ සිටින ආකාරයටම අපත් මේ ලෝකයෙහි සිටින බැවින්, විනිශ්චය දවස ගැන නිසැකකම ඇතුව සිටීමය.
සම්පූර්ණ ප‍්‍රේමය අප තුළ තිබෙන බැවින් විනිශ්චය දවස ගැන බය නොවන්න. දේව වචනයේ සත්‍යය අප විශ්වාස කළ යුතුය. දෙවියන්වහන්සේ අපව කැඳවා තිබෙන්නේ ජීවනයටය.
ශු. ලූක් 10:18
[18] උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: සාතන් විදුලිය මෙන් අහසෙන් වැටුණා දුටිමි.
ශු. ලූක් 10:17
[17] ඉන්පසු සැත්තෑදෙනා ප්‍රීතියෙන් හැරී ඇවිත්: ස්වාමිනි, ඔබගේ නාමය නිසා යක්ෂයෝ පවා අපට යටත්වෙතියි කීවෝය.
අපගේ බලය ඇත්තේ දිවෙහිය. මළාවූ වචන කතා නොකර ජීවන වචන කතා කරමු.
යක්ෂයා අපේ ජීවිතයට යම් යම් වාතාවරණයන් සාදන්න උත්සාහ කරයි. නමුත් අපි යේසුස්වහන්සේගේ වචනයේ ප‍්‍රකාශන සඳහන් කරමු. අප කතා කරන වචන බලවන්තය, ජීවමානය.
ශු. ලූක් 10:19
[19] බලව, සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්ටත් සතුරාගේ මුලු ශක්තිය මැඩපවත්වන්ටත් මා විසින් නුඹලාට බලය දී තිබේ. කොයි දෙයකින්වත් නුඹලාට අන්තරායක් නොවන්නේය.
දෙවියන්වහන්සේ පැවසුවේ, කිසිම අයුරකින් අපට අන්තරායන් නොපැමිණෙන බවයි. එයට හේතුව නම්, උන්වහන්සේ යක්ෂයාගේ ක‍්‍රියාවන් වලට විරුද්ධව ක‍්‍රියා කරන්න ආධිපත්‍යය අපට දී ඇත.
ශු. ලූක් 10:20
[20] එසේවුවත් ආත්මයන් නුඹලාට යටත්වන නිසා නොව නුඹලාගේ නාම ස්වර්ගයෙහි ලියා තිබෙන නිසා ප්‍රීතිවෙන්නැයි කීසේක.
දෙවියන්වහන්සේ අපගේ නාමයන් ස්වර්ගයේ ලියා ඇති බව සඳහන් වේ.
ක්‍රියා 19:11
[11] දෙවියන්වහන්සේ පාවුල්ගේ අත්වලින් අපූරුවූ ආශ්චර්යයන් කෙරෙවූසේක.
ක්‍රියා 19:12
[12] ඔහුගේ ශරීරයෙන් පිස්නාකඩවත් රෙදිකඩවත් ලෙඩුන් ළඟට ගෙනගිය පමණින් රෝග ඔවුන්ගෙන් පහවිය, නපුරු ආත්මයෝද දුරුව ගියෝය.
දෙවියන්වහන්සේගේ මහත් ආශීර්වාදය විශ්වාස කරන්න. දෙවියන්වහන්සේ පවසන්නේ අපගේ නොහැදිලිකාරකම නිසා යක්ෂයා දුරු කිරීමට නොහැකි වූ බවයි. නොහැදිලිකාරකම වර්ධනය වන්නේ අනවශ්‍යය හිස් දෙඩවිලි නිසාය. එකිනෙකා සමඟ දේව වචනය කතා කරමු.
ක්‍රියා 19:13
[13] නුමුත් තැනින් තැන සංචාරණය කරන යකදුරුවූ යුදෙව්වරුන්ගෙන් සමහරුත් නපුරු ආත්ම වැහී සිටි අයයින් කෙරෙහි ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමය කියන්ට පටන්ගෙන: පාවුල් දේශනාකරන්නාවූ යේසුස්වහන්සේගේ නාමයෙන් නුඹලාට අණකරමියි කීවෝය.
ක්‍රියා 19:14-15
[14] ප්‍රධාන පූජකයෙක්වූ ස්කෙවා නම් යුදෙව්වෙකුගේ පුත්‍රයන් සත් දෙනෙක් මෙසේ කළෝය. [15] නුමුත් නපුරු ආත්මය උත්තරදෙමින්: යේසුස්වහන්සේ අඳුනමි, පාවුල්ද දනිමි; නුමුත් නුඹලා කවුරුදැයි ඔවුන්ට කීවේය.
ඔබගේ නාමය ස්වර්ගයේ ලියා තිබෙන නිසා යක්ෂයාද ඔබගේ නාමය දනී.
එළිදරව් 20:12
[12] මළාවූ ලොකු අයද කුඩා අයද සිංහාසනය ඉදිරියෙහි සිටිනවා දුටිමි; පොත්ද දිගහරිනු ලැබුවේය. ජීවනපොත වන තවත් පොතක් දිගහරිනු ලැබීය. මළාහු තමුන්ගේ ක්‍රියා ලෙස පොත්වල ලියනලද දේවලින් විනිශ්චයකරනු ලැබුවෝය.
ඔබට ආධිපත්‍යයෙන් හා බලයෙන් මේ පොළොවේ ජීවත් වීමට අවශ්‍යය නම් ස්වර්ගයේ තිබෙන ජීවන පොතේ ඔබගේ නාමය ලියා තිබිය යුතුය. යේසුස්වහන්සේ අපගේ ස්වාමීන් ලෙස ගැළවුම්කරු ලෙස පිළිගත යුතුය. අප ජීවිතයේ ආත්මික ඵල දැකිය යුතු වේ.
1 යොහන් 2:8-10
[8] නැවතත් අලුත් ආඥාවක් නුඹලාට ලියා එවමි, එය උන්වහන්සේ තුළද නුඹලා තුළද සැබෑය; මක්නිසාද අන්ධකාරය පහවේගන යයි, සැබෑවූ ආලෝකය දැනටම බබළයි [9] ආලෝකයෙහි පවතිමියි කියමින් තමාගේ සහෝදරයාට වෛරවෙන්නා මේතාක් අඳුරෙහි සිටියි. [10] තමාගේ සහෝදරයාට ප්‍රේමවෙන්නා ආලෝකයෙහි පවතියි, පැකිලීමට කාරණයක්ද ඔහු තුළ නැත.
ඔබ ඔබගේ සහෝදරයන්ට ප‍්‍රේම කරන්න. ගැළවීම ලබා ගත් කෙනෙකු නම් ඔබගේ ජීවිතයේ එකිනෙකා සමඟ සහභාගීකම් පවත්වන්නට ආශාවක් තිබිය යුතුය. ඔබගේ සහෝදරයන්ට වෛර කරනවානම් ඔබ තවමත් ඇත්තේ අන්ධකාරයේය. ඔබ ගමන් කරන්නේ දෙවියන්වහන්සේගේ ආලෝකයේය. අප නිදහසේ ගමන් කිරීම දේව කැමැත්ත වේ.
1 යොහන් 2:11
[11] නුමුත් තමාගේ සහෝදරයාට වෛරවෙන්නා අන්ධකාරයෙහි සිටියි, අන්ධකාරයෙහි හැසිරෙයි, අන්ධකාරය ඔහුගේ ඇස් අන්ධකළ නිසා තමා කොතැනට යන්නේදැයි ඔහු නොදනියි.
අන්ධකාරය සමඟ අපට කිසිම සම්බන්ධකමක් නැත. අන්ධකාරයේ සිටින මනුෂ්‍යයක්ගේ ජීවිත වල කිසිම ස්ථාවරභාවයක් නැත. අපට බොරුකාර ජීවිතයක් ගත කළ නොහැක. යක්ෂයා අපව ලැජ්ජාවට පත් කරයි. එකිනෙකා සමඟ අවංක වෙමු.
එපීස 4:22
[22] [එසේ ඉගෙනගත්තේ] නුඹලාගේ ජීවිතයේ පළමු හැසිරීම ලෙස රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව දූෂ්‍යවන්නාවූ පරණ මනුෂ්‍යයා පහකරදමා,
අප දැන් සේවය කරන්නේ ප‍්‍රේමණීය දෙවියන්වහන්සේටය. ඔබ යේසුස්වහන්සේව පිළිගත්ත කෙනෙකු නම් දෙවියන්වහන්සේගේ ස්වරූපයට මවා තිබෙන අයෙකු ලෙස ජීවත් වන්න.
ඔබගේ හැසිරීම සහ ප‍්‍රකාශනය පරණ මනුෂ්‍යයාගෙන් පහ කර දමන්න.
හිතෝපදේශ 17:4
[4] නපුර කරන්නා දුෂ්ට තොල්වලට ඇහුම්කන්දෙයි; බොරුකාරයා ප්‍රයෝගකාර දිවට කන් යොමුකරයි.
යක්ෂයා අහුම්කන් දෙන්නේ බොරුකාර තොල් වලටයි. යක්ෂයාට ඉඩ නොදී අප ගමන් කරමු.
එපීස 4:22
[22] [එසේ ඉගෙනගත්තේ] නුඹලාගේ ජීවිතයේ පළමු හැසිරීම ලෙස රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව දූෂ්‍යවන්නාවූ පරණ මනුෂ්‍යයා පහකරදමා,
පරණ මනුෂ්‍යාගේ හැසිරීම් සහ ප‍්‍රකාශන තුළින් අප වැළකී සිටිය යුතුය. ඔබගේ සිතේ තිබෙන චරිතය වෙනස් කරගන්න. දිනපතා දේව වචනය අසන විට ඔබගේ සිතේ තිබෙන චරිතය වෙනස් වේ. බොරු නොකියන, සෑම දෙනාටම ප‍්‍රේම කරන කෙනෙකු වන්න.
එපීස 4:24
[24] සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද දෙවියන්වහන්සේට සමානව මවනලද්දාවූ අලුත් මනුෂ්‍යයා පැළඳගන්නා ලෙසය.
යේසුස්වහන්සේගේ හැසිරීමෙන් සහ ප‍්‍රකාශනයෙන් අලුත් මනුෂ්‍යාව පැළඳගමු. දෙවියන්වහන්සේ අපව සාදා ඇත්තේ සැබෑකමෙන් හා ධර්මිෂ්ඨකමෙන්ය. උන්වහන්සේගේ ස්වරූපයෙන්ම සාදා ඇත.
එපීස 4:25
[25] එහෙයින් බොරුකීම අත්හැරදමා, එක් එක්කෙනා තම තමාගේ අසල්වාසියා සමඟ සැබෑව කථාකරන්න. මක්නිසාද අපි එකිනෙකාගේ අවයවයෝය.
බොරු කීම අත්හැරිය යුතුය. දෙවියන්වහන්සේගේ අණපනත් විශ්වාස කළ යුතුය. මනුෂ්‍යයන් සමඟ සැබෑව කතා කළ යුතුය.
එපීස 4:26-27
[26] කෝපවුණත් පව් නොකරන්න. ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින්ට ඉඩ නාරින්න. [27] යක්ෂයාට ඉඩ නොදෙන්න
කෝපවුනත් පව් නොකරන්න කියා දෙවියන්වහන්සේ අපට පවසන ලදී. අපට ජීවනය ඉතා වැදගත්ය.
ආමොස් 5:14-15
[14] නුඹලා ජීවත්වන පිණිස නපුර නොව යහපත සොයන්න. එවිට සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා කියන ලෙස නුඹලා සමඟ සිටිනසේක. [15] නපුරට ද්වේෂකර, යහපතට ප්‍රේමවී, දොරටුවෙහි යුක්තිය පිහිටුවන්න. සමහරවිට සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ යෝසෙප්ගේ ඉතිරි අයට දයාවෙනවා ඇත.
යහපත නම් දේව වචනයය. අපට දෙවියන්වහන්සේගේ ජීවනය අත්දැකීමට අවශ්‍යය නම් ප‍්‍රායෝගික දේවල් මේ ජීවිතයේ අත්දැකීමට අවශ්‍යය.
රෝම 12:21
[21] නපුරුකමෙන් පරාජය නොවී, යහපත්කමෙන් නපුරුකම පරාජයකරන්න.
අපට ජීවනය ඉතා වැදගත්ය. යහපත්කමෙන් නපුර පරාජය කරමු. ජීවත් වීමට අවශ්‍යය නම් යහපත අවශ්‍යය. යහපත නම් දේව වචනයය.
ආමොස් 5:14-15
[14] නුඹලා ජීවත්වන පිණිස නපුර නොව යහපත සොයන්න. එවිට සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා කියන ලෙස නුඹලා සමඟ සිටිනසේක.[15] නපුරට ද්වේෂකර, යහපතට ප්‍රේමවී, දොරටුවෙහි යුක්තිය පිහිටුවන්න. සමහරවිට සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ යෝසෙප්ගේ ඉතිරි අයට දයාවෙනවා ඇත.
නපුර නොව, යහපත සෙවිය යුතුය. දෙවියන්වහන්සේ අප සමඟ සිටින සේක. යහපතට ඇලුම් වෙන්න පුරුද්දක් කර ගනිමු. දෙවියන්වහන්සේ අපට දයාව දක්වන්නේ අප අපගේ දොරටු හරි ලෙස තබාගෙන සිටියහොත් විතරය. දොරටු නම් ඇස්, කන්, නාසයය. අප තෝරාගත යුත්තේ දෙවියන්වහන්සේගේ දේවල් පමණි. අප ජීවත් වී දෙවියන්වහන්සේගේ නාමය ප‍්‍රකාශ කරමු.
ගීතාවලිය 118:17
[17] මම නොනැසී, ජීවත්ව සිට, ස්වාමීන්ගේ ක්‍රියා ප්‍රකාශකරන්නෙමි.
දෙවියන්වහන්සේගේ ක‍්‍රියාවන් ප‍්‍රකාශ කරමු. උන්වහන්සේ අපට මරණය නොව ජීවනය දී ඇත.
Watch the Sermon Video


