+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
අපගේ ප්‍රාණය සඵලවත් වීම වැදගත් - යෝෂා මනූ
March 29, 2026 Sunday Sermon Notes
ස්වාමීන්වහන්සේ ඉතා යහපත්ය. අප යේසුස්වහන්සේගේ නාමය අදහගත් හෙයින් දෙවියන්වහන්සේගේ පුත‍්‍රයන් බවට වූයේය.
යොහාන් 1:12
[12] නුමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන්වහන්සේගේ දරුවන්වෙන්ට උන්වහන්සේ බලය දුන්සේක.
යේසුස්වහන්සේගේ නාමය තුළ අපට නිදහස්කම, මිදීමේ අයිතිවාසිකම් තිබේ. යේසුස්වහන්සේගේ නාමය පාවිච්චි කරමින් අපට යක්ෂයන් දුරු කළ හැකිය. ලෙඩ රෝගීන්ද සුවය ලබන්නේ යේසුස්වහන්සේගේ නාමයෙනි. උන්වහන්සේගේ නාමය ඉතා බලවන්තය. මනුෂ්‍යයෙකුට ස්වර්ගයට යාමට ඒ නාමය හැර වෙන නාමයක් නොමැත.
නිරයෙන් අපව ගළවාගෙන මුදවා ගත්තේ යේසුස්වහන්සේය. මේ සත්‍යයතාවයේ වචන අප ඉගෙන ගත යුතුය. අපි අපේ මනස පුරවා ගත යුත්තේ උන්වහන්සේගේ වචනයෙනි.
ගැළවීම ලැබුවාට පසුව දැනගත යුතු තවත් කරුණක් ඇත. ඒ මනස අලුත් කර ගැනීමය. දෙවියන්වහන්සේ පොරොන්දු රාශියක් දී ඇත්තේ අලුත් මනුෂ්‍යයාටයි. පරණ මනුෂ්‍යයාට නොවේය. බයිබලය පවසන පරිදි අප ආත්මයක්ය. අපට ප‍්‍රාණයක් ඇත. අප ශරීරයක් තුළ වාසය කරයි.
ලෝකයේ සිටින මනුෂ්‍යයන් කල්පනා කරන්නේ ශරීරය ගැන පමණයි. ඒ මනුෂ්‍යයන් මනසට දමා ගන්නේත් ලෝකාකාර ක‍්‍රම සහ විධියයි. ඔවුන් කැමති ලෝකය අනුව සිටින්නටයි. නමුත් ඔවුන්ගේ ආත්මය මැරී ඇත. නමුත් අප ගැළවීම ලැබුවායින් පසු අපේ ආත්මය නැවත ඉපදෙයි.
අප දැන් ආත්මික මනුෂ්‍යයන්ය. අප ආත්මිකව නැවත ඉපදුණානම්, ආත්මිකව අප දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධ වී සිටිනවානම් ආත්මයට මුල් ස්ථානය දිය යුතුය. ආත්මික මනුෂ්‍යයා තුළ වාසය කරන්නේ යේසුස්වහන්සේ, දෙවිපියාණන්වහන්සේ හා ශුද්ධාත්මයාණන්වහන්සේය.
ආත්මය තුළ යේසුස්වහන්සේ සිටිනවානම් සුවය, මිදීම, ජයග‍්‍රහණය, සමාදානය, ආශීර්වාදය අපට අයිතිය. ඒ තැනැන්වහන්සේ අප තුළ සිටින නිසාය.
ප‍්‍රාණය කොටස් තුනකට බෙදේ, ඒ මනස, කැමැත්ත හා අපගේ හැඟීම්ය. මේ සියළුම දේ ප‍්‍රාණය තුළ තිබෙන කොටස්ය.
3 යොහන් 2
[2] ප්‍රේමවන්තය, නුඹේ ආත්මය සඵලවන්නාක්මෙන්ම නුඹ සියල්ලෙහි සඵලවන ලෙසද සුවසේ සිටින ලෙසද යාච්ඤාකරමි.
අපි දෙවියන්වහන්සේට ප‍්‍රේම කරන සෙනඟක් වෙමු. යොහන් පවසන්නේ, ඔබගේ ප‍්‍රාණය සඵලවන්නාක් මෙන්ම ඔබ සැම දෙයින්ම සඵල වනවා කියාය. අපට ආශීර්වාදය ලබා ගෙන දියුණුව, වැඩිවීම තුළ ජීවත් වීමට ලැබේ. අප සුවෙන් ජිවත් වීම ඉතා වැදගත් වේ. දේව කැමත්ත අනුව උන්වහන්සේ තුළ ජීවත් විය යුතුය.
රෝම 12:1-2
[1] එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ.[2] නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.
අපගේ ශරීර දෙවියන්වහන්සේට බාර කළ යුතු වේ. එය උන්වහන්සේ පවසා තිබේ.
නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන්වහන්සේගෙන් ලැබූ, නුඹලා තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාළිගාව බව නොදනිවුද? නුඹලා නුඹලාටම අයිති නැත; මක්නිසාද නුඹලා මිලේටගනු ලැබුවහුය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන්වහන්සේට ගෞරවකරන්න [1 කොරින්ති 6:19-20]
මේ ශරීරය ස්වාමින්වහන්සේගේ මාළිඟාවයි.
1 කොරින්ති 6:17
[17] නුමුත් ස්වාමීන්වහන්සේට එක්වූ තැනැත්තේ එක ආත්මයය.
ස්වාමීන්වහන්සේගේ ආත්මය අප ආත්මය හා එක්වී ඇත. අපගේ ආත්මය හා ශරීරය ශුද්ධව තබා ගැනීම අපගේ වගකීමකි. දෙවියන්වහන්සේ අපගේ පාප මකා දමා සමාව දී හමාරය. දැන් අප නව මැවිල්ලක්ය. අප උන්වහන්සේගේ හවුල් උරුමක්කාරයෝය.
බයිබලයේ වචන, පද මුතු මැණික් වැනිය. දෙවියන්වහන්සේගේ වචනයෙන් අපි ප‍්‍රීති වෙමු.
ගලාති 2:20
[20] මම ක්‍රිස්තුස්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබ සිටිමි; එසේවී නුමුත් මම ජීවත්වෙමි; නුමුත් තවත් මා නොව ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත්වනසේක. තවධ මා දැන් මාංසයෙහි ජීවත්වන ජීවිතය මට ප්‍රේමකළාවූ, මා උදෙසා තමන්ම පාවාදුන්නාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත්වෙමි.
පරණ මනුෂ්‍යයා ක‍්‍රිස්තුස්වහන්සේ සමඟ කුරුසියේ ඇණ ගසන ලදී. යේසුස්වහන්සේ සැබවින්ම කුරුසපත් විය. නමුත් අපි ඇදහිල්ලෙන් කුරුසපත් වී සිටිමු.
අප තුළ දැන් ජීවත් වන්නේ අලුත් මනුෂ්‍යයාය. වතුර බෞතීස්මයේදී පරණ මනුෂ්‍යයා වළලා දමා ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් නව මනුෂ්‍යයෙකු විය.
එබැවින් යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය; මෙන්න, සියල්ලම අලුත්වී තිබේ. [2 කොරින්ති 5:17]
අප ජීවත් විය යුත්තේ මාංශාකාරයෙන් නොව, ආත්මික පුද්ගලයෙකු ලෙසය. මනස වෙනස් කර ගැනීමෙන් අපගේ ආත්මය ගැළවීම ලබයි. ආත්මික මනුෂ්‍යයා තුළ සිටින්නේ යේසුස්වහන්සේය. වචනය කතා කර වචනය තුළින් පෝෂණය වී මනස වෙනස් කරගැනීමෙන් ඔබ ආත්මික මනුෂ්‍යයෙකු වන්නේය. අප තීරණ ගත යුත්තේ ආත්මිකවය. දෙවියන්වහන්සේගේ පොරොන්දු ගෙන අප ප‍්‍රකාශ කළ යුතුය. ස්වර්ගික ලෙස අප මේ පොළොවේ ජීවත් විය යුතුය.
රෝම 8:1-5
[1] එහෙයින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඬුවමට පත්කිරීමක් නැත.[2] මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළවූ ජීවනදායක ආත්මයාණන්වහන්සේගේ ව්‍යවස්ථාව පාපයේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස්කළාය.[3] මක්නිසාද දෙවියන්වහන්සේ තමන්වහන්සේගේම පුත්‍රයාණන් පාපමාංසයේ සමානකමෙන්ද පාපය නිසාද එවා, මාංසයේ පාපය දඬුවමට පත්කරමින්, මාංසය කරණකොටගෙන දුර්වලවූ ව්‍යවස්ථාවට බැරිවූ දේ ඉෂ්ටකළසේක.[4] එසේ කළේ මාංසික ලෙස නොව ආත්මිකලෙස හැසිරෙන්නාවූ අප තුළ ව්‍යවස්ථාවේ නියෝගය සම්පූර්ණවෙන පිණිසය. [5] මක්නිසාද මාංසිකලෙස සිටින්නෝ මාංසික දේවලටද ආත්මිකලෙස සිටින්න ආත්මික දේවලටද ඇලුම්වෙති. [6] මාංසයේ ඇල්ම මරණයය; නුමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානයය.
යේසුස්වහන්සේ තුළ සිටින මනුෂ්‍යයාව දඬුවමට පත් වන්නේ නැත. ඒ කෙනාට දොස් පැවරීමක් වරදට පත් කිරීමක් නැත.
පේතෘස්: නුඹලා සියල්ලෝම පසුතැවිලිව, පව්කමාව පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්මය ලබන්න; එවිට ශුද්ධාත්ම දීමනාව නුඹලා ලබන්නහුය. [ක‍්‍රියා 2:38]
අප සම්පූර්ණයෙන්ම ලෝකයාගෙන් වෙන් වූ ජීවිතයක් ගත කළ යුතුය.
පියාණන්වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා, තමන් ප්‍රේමයේ පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පමුණුවාගත්සේක. [කොලොස්සි 1:13]
නව මැවිල්ල තුළ කිසිම දෝෂාරෝපණයක් නැත. අප දැන් නිදහස් පුද්ගලයෝය. පාපය හා මරණය පැමිණියේ යක්ෂයා තුළින්ය. ආදම්ගේ අකීකරුකම, බොරුව හා ද්‍රෝහිකම නිසා පාපය පොළොවට ඇතුල් විය. පාපය නිසා ශාපයද ශාපය නිසා රෝගද බියද අති වූයේය. මේ සෑම දෙයක්ම ඇතුල් වූයේ ආදම් තුළිනි. යේසුස්වහන්සේ පැමිණ උන්වහන්සේ කුරුසපත් වී නැවත නව මැවිල්ලක් ලෙස අපට ජීවනදායක ආත්මයාණන්වහන්සේගේ නව ව්‍යවස්ථාවක් ලබා දුන්නේය.
අපට ජයගන්නට බැරි දේවල් යේසුස්වහන්සේ ජය ගෙන ඒ ජයග‍්‍රාහී ආත්මය දී ඇත. දැන් අපට සෑම දෙයකින්ම ජය ගත හැකිය. පරණ මනුෂ්‍යයන් ලෙස සිටියදී අපට ජය ගත නොහැකි විය.
ආත්මික ලෙස සිටිමින් ආත්මික මනසට ආත්මික දේවල් වලට ආශා කරන්නේ නම් බයිබලය කියවමින්, යාච්ඤා කර, දේව ගෘහයට පැමිණ දේව වචනය අසනවානම් ඔබ ආත්මිකව වර්ධනය වන්නේය. නමුත් ඔබගේ මනස වෙනස් කර ගන්නේ නැතිනම් ඔබ තවමත් මාංශාකාරය. ආත්මික මනුෂ්‍යයා මාංශයට ඇලුම් වුවහොත් මරණය අත්වේ. නමුත් ආත්මික දේවල් වලට ඔබ ආශා කරන්නේනම් ඔබට ලැබෙන්නේ ජීවනයයි.
Watch the Sermon Video


