+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ඇදහිල්ල නැති නොවන පිණිස - මනූ මැතානි
April 12, 2026 Sunday Sermon Notes


ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ අප නිතරම ප‍්‍රීති විය යුතුය. දෙවියන්වහන්සේ අපව කැඳවා තිබෙන්නේ ඇදහිල්ලෙන් ජීවත් වෙන්නටය. අප යේසුස්වහන්සේව පිළිගත් පසු අපට යෑමට වෙන මාර්ගයක් නැත. අපගේ පෙනීමේ ගමන අවසාන වන්නේ වතුර බෞතීස්මයත් සමඟය. පරණ මනුෂ්‍යයා වළලා දමන්නේය. පරණ මනුෂ්‍යයා ජීවත් වූයේ හැඟීම් වලින් සිතේ ප‍්‍රකාරයටය. නමුත් නව මනුෂ්‍යයා ජීවත් වන්නේ දෙවියන්වහන්සේගේ වචනයෙනි. ඒ මනුෂ්‍යයාට ඇත්තේ එකම එක ගමනකි. ඒ අදහිල්ලේ ගමනය.

2 කොරින්ති 5:7
[7] (මක්නිසාද අප හැසිරෙන්නේ පෙනීමෙන් නොව ඇදහීමෙන්ය.)

අපි ගමන් කරන්නේ පෙනීමෙන් නොව ඇදහිල්ලෙනි. පෙනිම හා හැඟීම් සාමාන්‍යයෙන් ඇදහිල්ලට විරුද්ධය. ඊට හේතුව නම් ඇදහිල්ලෙන් අප උරුම කරගන්නා දේවල් මේ ලෝකයේ පෙනෙන දේවල් හා හැඟීම්බරින් අප සිටිනවානම් ඒවාට විශාල බාධාවක් වන්නේය.

ඇදහිල්ලෙන් සිටින මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේ දෙස බලමින් උන්වහන්සේගේ වචනය මෙනෙහි කරමින් උන්වහන්සේට මුල් තැන දෙමින් විශ්වාසයෙන් සිටිනවානම් අපට මේ ලෝකයේ ජිවත් විමට පහසුය.

අපට එන සිතුවිලි, හැඟීම්, ලෙඩ රෝග මේ දේවල් වලට මුහුණ දීමට සිදු වේ. අප මේ ලෝකයේ ජීවත් වනවානම් අනිවාර්යයෙන් මේ දේවල් වලට මුහුණ දිමට සිදු වේ. නපුරු සිතුවිලි ගෙන එන්නේ යක්ෂයාය. නමුත් මේ සියළු දේ වලින් ජය ගැනීමට අපට පුළුවන.

අප ඇදහිල්ලෙන් ගමන් කරන නිසා යක්ෂයා උත්සාහ කරන්නේ අපව පරාජයට පත් කරන්නටය.

ඇදහිල්ලේ ගමන නතර කළහොත් කිතුනු ජීවිතය ජයක්ග‍්‍රාහීව ගමන් කිරීමට නොහැකිය. දෙවියන්වහන්සේ අපව කැඳවා තිබෙන්නේ ශක්තිමත්ව ඇදහිල්ලක් ඇතිව සිටීමටය.

ශු. ලූක් 8:11
[11] ඉඳින් උපමාව මෙසේය. බීජ නම් දෙවියන්වහන්සේගේ වචනයය.

ඇදහිල්ල පැමිණෙන්නේ දේව වචනය ඇසීමෙනි. බීජය නොමැතිව අස්වැන්නක් ලැබෙන්නේ නැත.

රෝම 10:17
[17] මෙසේ ඇසීමෙන් ඇදහිල්ලද ක්‍රිස්තුස්වහන්සේගේ වචනයෙන් ඇසීමද පැමිණෙන්නේය.

ශු. ලූක් 8:12
[12] මග අසල ඒවා නම් වචනය ඇසූ අයය; එකල ඔවුන් අදහා නොගැළවෙන පිණිස යක්ෂයා ඇවිත් ඔවුන්ගේ සිත්වලින් වචනය උදුරාගන්නේය.

වචනයේ බිජයෙන් අපට ගැළවීමට හැකිය. යක්ෂයා උත්සාහ කරන්නේ අප ජීවිතයෙන් දේව වචනය උදුරා ගැනීමටය. නමුත් එසේ සිදු කිරීමට නොහැකිය. එයට අප ඉඩ දිය යුතු නැත. වචනය තදින් අල්ලාගන්න. දේව වචනය ප‍්‍රකාශ කරමින් ජීවත් වෙමු. අප දේව වචනය ප‍්‍රකාශ කිරීමෙන් අපගේ ජිවිතය අළුත් වේ. මනසද නිරවුල් වේ.

අප දැන් ගමන් කරන්නේ නොපෙනෙන තලයේය. යක්ෂයා පැමිණෙන්නේ වචනය සොරකම් කිරීමටය. දේව වචනය සිතින් අදහාගෙන ගැළවීමට, සඵල වෙන්න, දියුණු වෙන්න, සුව වෙන්න, අපගේ මාර්ගයන් වෙනස් කර ජීවිත රටාව වෙනස් කරගැනීමට හැකි වන්නේ ඒ බීජය තුළිණි. ඒ බීජය අප සිත තුළට දමා ප‍්‍රකාශ කරමින් අප සිටිය යුතුය.

දේව වචනය ප‍්‍රකාශ කිරීමෙන් අපගේ මනස සම්පූර්ණ වේ. අන් අයටත් ආශීර්වාදයක් වෙන ලෙස ජීවත් වෙමු.

ශු. යොහන් 10:10
[10] සොරා එන්නේ සොරකම්කරන්ටත් මරන්ටත් විනාශකරන්ටත් පමණක්ය. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධිකලෙස ලැබෙන පිණිසත්ය.

අප මේ දේව වචනය තදින් අල්ලා ගනිමු. මේ වචනයෙන් අපි දකුණටවත් වමටවත් නොහැරී සිටිමු. ලියා තිබෙන මේ වචනය දෙවියන්වහන්සේගේ අන්තිම තීන්දුවයි. අප ජීවිතය තුළ දේව වචනය ක‍්‍රියාත්මක වන බව විශ්වාස කරන්න.

ශු. මතෙව් 19:2-6
[2] බොහෝ සමූහයෝ උන්වහන්සේ අනුව ගියෝය; උන්වහන්සේ එහිදී ඔවුන්ට සුවකළසේක. [3] ඵරිසිවරු උන්වහන්සේ ළඟට පැමිණ උන්වහන්සේ පරීක්ෂාකරමින්: යමෙකු විසින් කොයියම් කාරණයක් නිසාවත් තමාගේ භාර්යාව අත්හැරිය යුතුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. [4] උන්වහන්සේ උත්තරදෙමින්: පටන්ගැන්මේ සිට ඔවුන් මැවූ තැනන්වහන්සේ පුරුෂයෙක්ද ස්ත්‍රියෙක්ද වශයෙන් ඔවුන් මැවූ බවත්, [5] ඒ නිසා මනුෂ්‍යයෙක් තමාගේ පියා සහ මවු අත්හැර තමාගේ භාර්යාවට ඇලුම්වන්නේය කියාද ඒ දෙදෙන එක මාංසය වන්නෝය කියාද කී බවත් නුඹලා කියෙවුවේ නැද්ද? [6] මෙසේ ඔව්හු එවක් පටන් දෙදෙනෙක් නොව එකම මාංසය වෙති. එබැවින් දෙවියන්වහන්සේ එක්කළ දෙය මනුෂ්‍යයා වෙන් නොකෙරේවයි කීසේක.

ඵරිසිවරුන් පැමිණ යේසුස්වහන්සේගෙන් ප‍්‍රශ්න අසා පරීක්ෂාවට පත් කරන ලදී.

යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නම් දෙවියන්වහන්සේට යාච්ඤා කරන්න. යේසුස්වහන්සේ පවසන වචන ප‍්‍රකාශ කරන්න.

පරීක්ෂාවන් වලට හසු නොවී ඇදහිල්ලෙන් ජය ගනිමු. ඇදහිල්ල අත් හැරීමෙන් ජිවිතයට ප‍්‍රශ්න පැමිණේ. ඇදහිල්ල නොමැතිව දෙවියන්වහන්සේ ප‍්‍රසන්න කළ නොහැකිය. එවිට පරාජයද අත් වන්නේය.

2 පේතෘස් 1:1
[1] යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක්ද ප්‍රේරිතයෙක්දවූ, සීමොන් පේතෘස් නම් මා විසින්, අපේ දෙවිවූ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමෙන් අප වාගේ එක සමාන අනර්ඝ ඇදහිල්ල ලැබූවන්ට ලියා එවන වග නම්:

අප එක සමානව අනර්ඝ ඇදහිල්ලෙන් සිටිය යුතුය. අනර්ඝ ඇදහිල්ලෙන් සිටීමට අවශ්‍ය නම් දේව වචනය මෙනෙහි කරන්න. වචනයට අදාළ ගීතිකා ගායනා කරන්න. එවිට අපගේ ජීවිතයේ ඇදහිල්ල ක‍්‍රියාත්මක වනු ඇත.

ඇදහිල්ලේ කර්තෘන් යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේය. ඇදහිල්ලේ ගමනින් අප පරාජය වන්නේ නැත. අප නිතරම ජයගන්නා සෙනඟක්ය. පරීක්ෂාවෙන් ජය ගත හැකි වන්නේ ඇදහිල්ලෙනි.

අපට පැමිණෙන සෑම පරීක්ෂා වලින් දෙවියන්වහන්සේ අපට ජය දී තිබෙන බව විශ්වාස කරමු.

ගීතාවලිය 103:3
[3] උන්වහන්සේ නුඹේ සියලු අයුතුකම් කමාකරනසේක; නුඹේ සියලු රෝග සුවකරනසේක;

සතුරා අපේ මනසට සිතුවිලි අදහස් ගෙන එයි. දෙවියන්වහන්සේ ඇදහිල්ලෙන් සිටින අයට ඇහුම්කන් දෙයි.

බයිබලයේ පවසන්නේ අප යේසුස්වහන්සේගේ ලේ වලින් ජයගන්නා බවයි. එමනිසා අප කොහෙත්ම කිසිසේත්ම පරාජය වෙන්නේ නැත. පරාජය අපට අයිති නැත.

හිතෝපදේශ 25:28
[28] තමාගේ සිත මැඩපවත්වා නොගන්න මනුෂ්‍යයා පවුරක් නැති බිඳවැටුණු නුවරක් මෙන්ය.

සිතුවිලි වලින් ජය ගැනීමට නොහැකිනම් ජීවිතයෙන්ද ජය ගැනීමට නොහැකිය. අපගේ සිත පාලනය කර ගනිමු. අප සිතින් ගණන් ගන්නා දේවල් අප ජීවිතයේ සිදු වේ. දෙවියන්වහන්සේගේ වචනයෙන් අපගේ සිත පවිත‍්‍ර කර ගනිමු.

හිතෝපදේශ 23:7
[7] මක්නිසාද තමාගේ සිතෙන් ගණන්ගන්නා ලෙසම ඔහු වන්නේය. කන්න බොන්නැයි ඔහු නුඹට කියයි; නුමුත් ඔහුගේ සිත නුඹ සමඟ නැත.

යාකොබ් 1:21
[21] එහෙයින් සියලු කිලුටුකමද අධික දුෂ්ටකමද පහකොට, නුඹලාගේ ප්‍රාණ ගළවන්ට පුළුවන්වූ, පිහිටුවනලද වචනය මෘදුකමින් යුක්තව පිළිගන්න.

ඇදහිල්ල සහ වැරදි සිතුවිලි වලින් අපට ජීවත් විය නොහැකිය. පවිත‍්‍ර ඇදහිල්ලෙන් ක‍්‍රියා කරමු. දෙවියන්වහන්සේගේ ශුද්ධ අනර්ඝ දේවල් සුළු නොකර ඒවා අගය කරමු.

යූදස් (යූද්) 1:20
[20] නුමුත් ප්‍රේමවන්තයෙනි, නුඹලා වනාහි නුඹලාගේ ඉතා ශුද්ධ ඇදහිල්ල පිට නුඹලාම ගොඩනඟාගනිමින්, ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ සිට යාච්ඤාකරමින්,

අපගේ පිරිසිදු ඇදහිල්ල ආරක්ෂා කර ගනිමු. දෙවියන්වහන්සේට යටහත් පහත්ව ජීවත් වෙමු.

රෝම 11:20
[20] හොඳයි; අවිශ්වාසකම නිසා ඒවා කඩාදමනලද්දේය, නුඹද නුඹේ ඇදහිල්ලෙන් ස්ථිරව සිටින්නෙහිය. උඩඟු නොවී, (දේව බිය ඇතුව) භයවෙන්න.

ඇදහිල්ලෙන් ස්ථීරව සිටිමු. සිතින් උඬඟු නොවී ඇදහිල්ලෙන් ස්ථීරව දෙවියන්වහන්සේට භයෙන් ජිවත් වෙන්න.

නොඇදහිලිකාරකම පාපයකි. නොඇදහිලිකාරකමෙන් නොසිට ඇදහිල්ලෙන් ස්ථීරව සිටිමු.

සිතින් ආත්මිකව සිටින විට ඇදහිල්ල බලවත් සේ ක‍්‍රියා කරයි. සිත මාංශාකාරව තිබුණොත් ඒ ඇදහිල්ල ක‍්‍රියා කරන්නට බාධා ඇති වේ.

රෝම 8:6
[6] මාංසයේ ඇල්ම මරණයය; නුමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානයය.

මාංශාකාර සිතක් තිබීමෙන් මරණය උරුම වේ. ශුද්ධ ඇදහිල්ල ක‍්‍රියාත්මක නොවන විට අප ජීවිතයේ පරාජය වේ. නමුත් ආත්මික මනසක් තිබුණ විට පරාජය නොවී සමාදානයෙන් සිටිය හැකිය.

දෙවියන්වහන්සේගේ වචනයේ බලයෙන් සඵලත්වයෙන් හා සුවයෙන් ජීවත් වෙමු. යක්ෂයාගේ කෲර අදහස් වලට යටත් නොවී සිටිමු.

සෑම පරීක්ෂා වලින් මිදීමට හා ගැළවීමට මාර්ගයක් දෙවියන්වහන්සේ අපට සාදා දී ඇත. මේ ගමනේදී යුද්ධ ඇති වන නමුත් අප නිතරම ජය ගත් සෙනඟක්ය.

2 කොරින්ති 10:3-4
[3] මක්නිසාද අපි මාංසයෙහි හැසිරෙන නුමුත් මාංසයේ හැටියට යුද්ධ නොකරමුව. [4] (මක්නිසාද අපේ යුද්ධායුධ මාංසික නොවේය, එහෙත් ඒවා බලකොටු බිඳහෙළීමට දෙවියන්වහන්සේ ඉදිරිපිට බලසම්පන්නය.)

මාංශයේ හැටියට අප යුද්ධ කරන්නේ නැත. අපගේ හැඟීම්, බියෙන් හා රෝග ලක්ෂණ වලින් අප සිටියි. ඊට හේතුව නම් යුද්ධයක් ඇතිවන්නේ මාංශික තලයේ නොවේය. පෙනෙන දේවල් තාවකාලිකය, නොපෙනෙන දේවල් සදාකාලිකය.

ජෝවෙල් 3:10
[10] නුඹලාගේ හීවැල්වලින් කඩුද නුඹලාගේ දෑකැතිවලින් හෙල්ලද තළාගන්න. මම බලවන්තයෙක්මියි බෙලහීනයා කියාවා.

රෝම 4:17
[17] (නුඹ බොහෝ ජාතීන්ට පියෙකු කෙළෙමියි ලියා තිබෙන ලෙස) ආබ්‍රහම් තමා විශ්වාසකළාවූ, මළවුන් ජීවත්කරන්නාවූ, නැති දේ ඇති දේ මෙන් සඳහන්කරන්නාවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි අප සියල්ලන්ගේ පියාණෝය.

නැති දේ ඇති ලෙස සඳහන් කරන දෙවියන්වහන්සේ කෙරෙහි අප විශ්වාස කළ යුතුය. දකින දේ නොව, අවශ්‍ය දේ දෙවියන්වහන්සේ ප‍්‍රකාශ කර ඇත.

උත්පත්ති 1:1-3
[1] පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූසේක. [2] පොළොව වනාහි පාළුව හිස්ව තිබුණාය; ගැඹුර පිට අන්ධකාරය විය. [3] දෙවියන්වහන්සේගේ ආත්මය ජලමතුයෙහි හැසිරෙමින් සිටිසේක.

දෙවියන්වහන්සේගේ දූ දරුවන්නම් උන්වහන්සේගේ සමානාත්වයට අප මවා තිබෙන්නේය. අපත් උන්වහන්සේ වාගේම නැතිදේ ඇති දේ මෙන් සඳහන් කළ යුතුය. ශුද්ධාත්මයාණන්වහන්සේ අපේ ජීවිතයේ සැරිසරමින් සිටී.

ගීතාවලිය 103:20
[20] උන්වහන්සේගේ වාග් ශබ්දය අසා උන්වහන්සේගේ වචන ඉෂ්ටකරන්නාවූ ශක්තියෙන් බලවන්තයෙනි, ස්වාමීන්ගේ දූතයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.

දෙවියන්වහන්සේගේ වචන අපගේ මුඛයෙන් පිට නොවන්නේ නම් උන්වහන්සේට අප වෙනුවෙන් කිසිවක් කළ නොහැකිය. පරාජිත වචන කතා නොකරමු.

උත්පත්ති 1:3
[3] දෙවියන්වහන්සේ: එළිය වේවයි කීසේක; එවිට එළිය විය.

දෙවියන්වහන්සේ ආරම්භයේ සිටම අපට දී තිබෙන්නේ ක‍්‍රියා කරන්නටය. උන්වහන්සේ පවසන්නේ ආධිපත්‍යයෙන් අප කතා කළ යුතුය කියාය. දුර්වලභාවයෙන් ජීවත් නොවී ශක්තිමත්ව දෙවියන්වහන්සේගේ වචනය සමඟ රැඳී සිටිමු.

අප අතිශයින් ජයගන්නෝය. පරාජය විශ්වාස නොකරමු. ක‍්‍රිස්තුස්වහන්සේ තුළින් අපට සියල්ල කළ හැකිය. පරාජය ව්ශ්වාස නොකරමු. පෙනෙන දේවල් තාවකාලිකය නමුත් නොපෙනෙන දේවල් සදාකාලිකය.

2 කොරින්ති 4:18
[18] ඉතාමත්ම වැඩි වශයෙන් සදාකාල තේජස් භාරයක් සාදාදෙන්නේය. මක්නිසාද පෙනෙන දේ කාලිකය; නොපෙනෙන දේ සදාකාලිකය.

අපට වැදගත් වන්නේ දේව ලියවිල්ලේ සඳහන් කර ඇති දේවල්ය. දෙවියන්වහන්සේ පවසන්නේ නොපෙනෙන දේවල් සදාකාලික බවය.

යෙහෝවා රෆ්ෆා දෙවියන්වහන්සේ අපගේ සුවයයි. උන්වහන්සේ අපගේ වෛද්‍යයවරයාණෝය.

දෙවියන්වහන්සේ ප‍්‍රේමයෙන් පූර්ණ කෙනෙක්ය. උන්වහන්සේ අප තුළ වාසය කරනවානම් අපත් මේ ප‍්‍රේමයේ පූර්ණකමෙන් එකිනෙකා සමඟ ප්‍රේමයෙන් හා අනුකම්පාවෙන් ගමන් කළ යුතුය. මෙවැනි වචන අපේ සිතේ තිබුණොත් දෙවියන්වහන්සේ ඉතා ඉක්මනින් අප ජීවිත තුළ ක‍්‍රියා කරන්නට පටන් ගනී.

1 යොහන් 4:18
[18] ප්‍රේමයෙහි භය ඇත්තේ නැත. සම්පූර්ණ ප්‍රේමය භය දුරුකරයි, මක්නිසාද භය දඬුවමින් යුක්තය; භයවන තැනැත්තේ ප්‍රේමයෙහි සම්පූර්ණ නොවී සිටියි.

2 කොරින්ති 10:3
[3] මක්නිසාද අපි මාංසයෙහි හැසිරෙන නුමුත් මාංසයේ හැටියට යුද්ධ නොකරමුව.

අපගේ යුද්ධය තිබෙන්නේ ආත්මික තලයේය. අපගේ දෙවියන්වහන්සේ අපගේ රැකවරණයයි. උන්වහන්සේගේ ආලේපයෙන් අපව ආලේප කර ඇත. අපගේ ජිවන ගමන ශක්තිමත් කරමින් අපි ගමන් කරමු.

අප තනිවී නැත. දෙවියන්වහන්සේ අප සමඟය. උන්වහන්සේ අපේ ජීවිතයේ ආලෝකයය. දෙවියන්වහන්සේ පවසන්නේ, ගණන් කරන්නට බැරි තරම් දේවදුතයන් අප අතර සිටින බවයි.

හෙබ්‍රෙව් 12:22-23
[22] නුමුත් නුඹලා ළඟාවී සිටින්නේ සියොන් කන්දටත්, ජීවමාන දෙවියන්වහන්සේගේ නුවරවූ ස්වර්ගීය යෙරුසලමටත්, ගණන් නැති දේවදූත සේනා වෙතටත්, [23] ස්වර්ගයෙහි නාම ලියා තිබෙන කුලුඳුලන්ගේ මහ රැස්වීමට හා සභාවටත්, සියල්ලන්ගේ විනිශ්චයකාරවූ දෙවියන්වහන්සේද සම්පූර්ණකරනලද ධර්මිෂ්ඨයන්ගේ ආත්මද,

භයෙන් ජීවත් නොවී ඇදහිල්ලෙන් ජීවත් වෙමු.

2 කොරින්ති 10:4
[4] (මක්නිසාද අපේ යුද්ධායුධ මාංසික නොවේය, එහෙත් ඒවා බලකොටු බිඳහෙළීමට දෙවියන්වහන්සේ ඉදිරිපිට බලසම්පන්නය.)

දෙවියන්වහන්සේගේ දැනගැන්මට විරුද්ධව ඇති සිතුවිලි විශ්වාස නොකරමු. තමාගේ සිතට එන සිතුවිලි පාලනය නොකරන්නේනම් ඒ සිත යක්ෂයා පාලනය කරනවා ඇත. අපගේ සිත පාලනය කරගන්නට පුරුදු වෙමු.

2 කොරින්ති 10:5
[5] අපි විවාදයන්ද දෙවියන්වහන්සේ ගැන දැනගැනීමට විරුද්ධව උසස්වන්නාවූ සියලු උසස් දේවල්ද බිඳහෙළා, සියලු සිතිවිලි ක්‍රිස්තුස්වහන්සේට කීකරුවීමට වහල්කරදෙමුව.

අපගේ සිතට එන සෑම සිතුවිල්ලක්ම පරාජය කළ යුතුය. සිතුවිලි වලින් පාලනය නොවී දෙවියන්වහන්සේගේ මඟ පෙන්වීම අනුව ජීවත් වෙමු.
“ක‍්‍රිස්තුස්” යන වචනයේ අර්ථය “ආලේපයය”. අප ජිවත් වන්නේ දෙවියන්වහන්සේගේ මඟ පෙන්විමෙනි.

යෝබ් 3:25
[25] මක්නිසාද මා භයවන දේ මට මා භයපත්කරන දේ මට සිද්ධ වෙන්නේය.

යාකොබ් 1:21
[21] එහෙයින් සියලු කිලුටුකමද අධික දුෂ්ටකමද පහකොට, නුඹලාගේ ප්‍රාණ ගළවන්ට පුළුවන්වූ, පිහිටුවනලද වචනය මෘදුකමින් යුක්තව පිළිගන්න.

අපි යටහත් පහත්ව දෙවියන්වහන්සේගේ වචනයෙන් අපගේ ප‍්‍රාණය ගළවා ගනිමු. උන්වහන්සේගේ වචනයන් අපගේ සිතුවිලි අදහස් වෙනස් කර ගනිමු.

සෑම කිළිටුකම් අධික දුෂ්ටකම් පහ කරන්න. දෙවියන්වහන්සේගේ වචනය යටහත් සිතින් අරගෙන ප‍්‍රාණය ගළවා ගනිමු. දෙවියන්වහන්සේගේ ආශීර්වාදය අප වෙත වගුරවා තිබෙන බව විශ්වාස කළ යුතුය.

2 කොරින්ති 8:9
[9] මක්නිසාද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව, එනම්, උන්වහන්සේ ධනවන්තව සිටිය නුමුත්, තමන්වහන්සේගේ දිළිඳුකම කරණකොටගෙන නුඹලා ධනවන්ත වන පිණිස, නුඹලා උදෙසා දිළිඳුවූ බව නුඹලා දන්නහුය.

යේසුස්වහන්සේ කුරුසියේදී දිළිඳු වූයේ අපව ධනවත් කරන්නටය. අපගේ සිත වෙනස් කර ගත යුතුය. අප ඇදහිල්ලෙන් ජීවත් වන මනුෂ්‍යයෝය.

ශු. මතෙව් 13:19
[19] යමෙක් රාජ්‍යයේ වචනය අසා තේරුම් නොගන්නේද, ඔහුගේ සිතේ වපුළ දේ නපුරා ඇවිත් උදුරාගන්නේය. මග අසල වපුරනලද්දේ නම් මොහුය.

දේව වචනය තේරුම් ගනිමු.

ශු. ලූක් 22:31-32
[31] සීමොන්, සීමොන්, බලව, නුඹලා ගෝධුම මෙන් පොළන්ට සාතන් ඉල්ලුවේය. [32] නුමුත් නුඹේ ඇදහිල්ල නැති නොවන පිණිස නුඹ උදෙසා මම යාච්ඤාකෙළෙමි. නුඹ නැවත හැරුණායින් පසු නුඹේ සහෝදරයන් ස්ථිරකරන්නැයි කීසේක.

අප තුළ දෙවියන්වහන්සේගේ වචනය තිබිය යුතුය. ඇදහිල්ල ආරක්ෂා කර ගනිමු. අපගේ ඇදහිල්ල නැති නොවන පිණිස ක‍්‍රියා කරමු.

යෙසායා 61:7
නුඹලාගේ ලජ්ජාව වෙනුවට දෙගුණයක් ලබන්නහුය; නින්දාව වෙනුවට ඔව්හු තමුන්ගේ කොටස ගැන ප්‍රීතිමත් වන්නෝය. එබැවින් ඔව්හු තමුන්ගේ දේශයෙහි දෙපංගුවක් භුක්ති විඳින්නෝය. සදාකාල ප්‍රීතිය ඔවුන්ට වන්නේය.

අප වියවුල්තාවයෙන් සිටියත් දෙවියන්වහන්සේ එය ප‍්‍රීතියට හරවයි. දෙවියන්වහන්සේට බලවත් දේ කළ හැකිය.

දෙවියන්වහන්සේ අපගේ ලැජ්ජාව හරවා අපට දෙගුණයක් ආශීර්වාද කර ඇත.


Watch the Sermon Video

Read 139 times