+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ඔබ ස්වාමීන් තුළ ප්‍රීති වන්න - යෝෂා මනූ
April 12, 2026 Sunday Sermon Notes


 
දේව ප‍්‍රීතිය අපේ සැනසීමයි. අපේ ශක්තියයි. බයිබලයේ පවසන්නේ ප‍්‍රීතිය ආත්මයේ ඵලයක් කියාය.

අප ස්වාමීන්වහන්සේ තුළ නිතරම ප‍්‍රීතිවෙමු. ආත්මිකව ජීවත් වන කෙනෙකු නම් ඔහු තුළ ප‍්‍රීතියේ ඵල තිබිය යුතුය.

යෙසායා 51:11
[11] ස්වාමීන්වහන්සේ විසින් මුදනලද්දෝ ගී කියමින් සියොන්ට හැරීඑන්නෝය; සදාකාල ප්‍රීතියද ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය. සන්තෝෂයද ප්‍රීතිමත්කමද ඔවුන් පිටට පැමිණෙන්නේය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.

දෙවියන්වහන්සේ අපව මිදීමට ගෙනෙන ලදි. අප පව්කාරයන් ලෙස වහලුන් ලෙස යක්ෂයාගේ බන්ධන වලට හසු වී සිටින කල යේසුස්වහන්සේගේ ලෙයින් මිලයක් ගෙවා උන්වහන්සේ අපව මුදවා ගත්තේය. උන්වහන්සේ ගෙවූ මිලය කාටවත් ගෙවන්නට බැරි වූ මිලයකි.

යක්ෂයාට නැවත අපව දෙවියන්වහන්සේගේ හස්තයෙන් උදුරා ගැනීමට නොහැකිය. අප උන්වහන්සේගේ හස්තයේ ස්ථීරව සිටියි.

සියොන් ලෙස හඳුන්වන්නේ දෙවියන්වහන්සේගේ අභිමුඛයයි. ඔබ අධෛර්මත් වී, කලකිරීමෙන් සිටින්නේ නම්, දෙවියන්වහන්සේ පවසන්නේ උන්වහන්සේ වෙතට හැරී ඇවිත් ගැළවීම ලබන ලෙසය. උන්වහන්සේ වෙතට හැරී ඇවිත් සදාකාල ජීවනය ලබා ගන්න කියාය.

යෙසායා 35:10
[10] ස්වාමීන්වහන්සේ විසින් නිදහස්කරනලද අය ගී කියමින් සියොන්ට හැරී එන්නෝය; සදාකාල ප්‍රීතිය ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය. ඔව්හු ප්‍රීතිය හා සන්තෝෂය ලබන්නෝය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.

දෙවියන්වහන්සේ අපව සතුරාගේ බන්ධනවලින්, යම් යම් ඇබ්බැහිවීම් වලින් අපව නිදහස් කළාය. දෙවියන්වහන්සේ අපට දී තිබෙන හඬින් අපි උන්වහන්සේ වෙනුවෙන් ගායනා කරමු.

යෙසායා 61:7
නුඹලාගේ ලජ්ජාව වෙනුවට දෙගුණයක් ලබන්නහුය; නින්දාව වෙනුවට ඔව්හු තමුන්ගේ කොටස ගැන ප්‍රීතිමත් වන්නෝය. එබැවින් ඔව්හු තමුන්ගේ දේශයෙහි දෙපංගුවක් භුක්ති විඳින්නෝය. සදාකාල ප්‍රීතිය ඔවුන්ට වන්නේය.

යේසුස්වහන්සේව පිළිගත් නිසා මනුෂ්‍යයන් ඔබව ලැජ්ජාවට පත්කර තිබෙනවානම්, නින්දා අපහාස හෝ වැරදි වචන පවසා තිබෙනවානම්, ඔබ ඒවායින් නොසැලී දෙවියන්වහන්සේ වෙත සිත යොමු කරගෙන සිටීම වැදගත්.

යෙසායා 12:1- 3
[1] ඒ දවසෙහි නුඹ කථාකොට: ස්වාමීන්වහන්ස, ඔබට ස්තුති කරමි; මක්නිසාද ඔබ මා කෙරෙහි උදහස්ව සිටිය නුමුත් ඔබගේ උදහස පහවගියේය, ඔබ මා සනසනසේක.[2] බලව, දෙවියන්වහන්සේ මාගේ ගැළවීමය; මම විශ්වාසකරමි, භය නොවන්නෙමි. මක්නිසාද ස්වාමීවූ යෙහෝවඃවහන්සේමගේ සවියත් ගීතිකාවත්ය; උන්වහන්සේ මාගේ ගැළවීම වූසේකැයි කියන්නෙහිය.[3] එබැවින් නුඹලා ප්‍රීති ඇතුව ගැළවීමේ ළින්වලින් දිය ඇදගන්නහුය.

දෙවියන්වහන්සේ අපගේ ජීවිතයේ අප කරනා වැරදි දේවල් නිසා උදහස් වී සිටි නමුත් උන්වහන්සේ ඒ උදහස යේසුස්වහන්සේ මත තබන ලදී.
යේසුස්වහන්සේ අපේ ගැළවුම්කරුය. දෙවියන්වහන්සේගේ ශක්තිය නිසා උන්වහන්සේ අපගේ ගීතිකාවද වන්නේය.

යෙරෙමියා 31:13
[13] එවිට කන්‍යාවද තරුණයෝ සහ මහල්ලෝද එක්ව නටා සන්තෝෂවන්නෝය. මක්නිසාද මම ඔවුන්ගේ වැලපීම ප්‍රීතියට හරවා, ඔවුන්ගේ ශෝකයෙන් පසුව ඔවුන් ප්‍රීතිකරවන්නෙමි.

අපි දෙවියන්වහන්සේ වචනය තුළ ප‍්‍රීති වෙමු. දෙවියන්වහන්සේ අපට දුන් ප‍්‍රීතිය කිසි කෙනෙකුට සොරකම් කළ නොහැකිය.

1 පේතෘස් 1:9
[9] නුඹලාගේ ඇදහිල්ලේ තීන්දුව වන නුඹලාගේ ආත්ම ගැළවීම ලබමින්, කියා නිමකළ නොහැකිවූ, තේජසින් පූර්ණවූ මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන්නහුය.

අප ධර්මිෂ්ඨ නම් නිතරම ප‍්‍රීතියෙන් සිටිය යුතුය.

ගීතාවලිය 32:11
[11] ධර්මිෂ්ඨයෙනි, ස්වාමීන් කෙරෙහි සතුටුව ප්‍රීතිවව්. අවංක සිත් ඇති සියල්ලෙනි, ප්‍රීති නාද කරව්.

සතුරු හමුදා තුනක් යෙහෝෂාපට් රජතුමාට එරෙහිව සටනට පැමිණියා.

2 ලේකම් 20:1
[1] මින්පසු මෝවබ් පුත්‍රයෝද අම්මොන් පුත්‍රයෝද ඔවුන් සමඟ අම්මොනිවරුන්ගෙන්
සමහරෙක්ද යෙහෝෂාපාට්ට විරුද්ධව යුද්ධයට ආවෝය.

මෝවබ් සහ අම්මොන් යන පුත‍්‍රයන් මාංශයෙන් ඉපදුණු දරුවන්ය.

මෝවබ්, අම්මොන් සහ අම්මොනිවරුන් නැතහොත් ඔවුන්ට [සෙයිර් කඳුකරයේ වැසියන් කියාද නැතහොත් එදොම්වරුන් හෝ මියුනිවරුන්
කියාද පවසයි.

මොවුන් සමාන කළ හැකි වන්නේ ලෞකික මනසක්, මාංශාකාර මනසක් ඇති, නොහොත් ලෝකාකාරව සිටින අය ලෙසයි. මේ අයට වචනයෙන් වෙනස් නොවූ මනසක් ඇති අතර මොවුන් ආත්මික දේවල් වලට ඇලුම් නොවන ස්වභාවයක් ඇති සෙනඟව සිටී. මේ අයට ඍණාත්මකව සිතන මනසක්ද, දේවල්වල වැරදි පැත්තක්ද නිතරම අසුභවාදී දේ ගැන සිතන සිතුවිලි ඇති අයවලුන්ය.

මෝවබ් සහ අම්මොන් වංශය බිහි වුණේ ලෝත් තුළිණි.

2 ලේකම් 20:2-4
[2] එවිට සමහරෙක් ඇවිත් යෙහෝෂාපාට්ට කථාකොට: මුහුද එගොඩින් සිරියේ සිට මහත් සමූහයක් ඔබට විරුද්ධව එන්නාහ; ඔව්හු හශශොන්-තාමාර්හි (ඒන්-ගෙදිය කියන්නෙත් ඊටමයි) සිටිතියි කියා දැන්නුවෝය. [3] එවිට යෙහෝෂාපාට් භයවී, ස්වාමීන්වහන්සේ සොයන්ට සිත යොමුකර, යූදා මුළුල්ලෙහි උපවාසයක් ප්‍රකාශකෙළේය. [4] ස්වාමීන්වහන්සේගෙන් පිහිට ඉල්ලන පිණිස යූදාවරු රැස්වූවෝය. යූදාහි සියලු නුවරවලින් ඔව්හු ස්වාමීන්වහන්සේ සොයන්ට ආවෝය.

2 ලේකම් 20:14-21
[14] එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය සභාව මැද සිටි ආසාප්ගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ ලෙවීය මත්තනියාගේ පුත්‍රවූ යෙයියෙල්ගේ පුත්‍රයා වන බෙනායාගේ පුත්‍රවූ සෙකරියාගේ පුත්‍රයා වන යහසීයෙල් කෙරෙහි පහළ වූයේය. [15] ඔහු කථාකොට: සියලු යූදාවරුනි, යෙරුසලමේ වැසියෙනි, යෙහෝෂාපාට් රජ්ජුරුවෙනි, ඇහුම්කන්දෙන්න. ස්වාමීන්වහන්සේ නුඹලාට මෙසේ කියනසේක–මේ මහත් සමූහයා නිසා භයනොවෙන්න, නොකැලඹෙන්න; මක්නිසාද මේ යුද්ධය නුඹලාගේ නොව දෙවියන්වහන්සේගේය.
[16] හෙට ඔවුන්ට විරුද්ධව යන්න. බලව, ඔව්හු ශීශ් නම් නැගුමෙන් නැගී එති; යෙරුයෙල් කාන්තාරයට ඉස්සරහපිට මිටියාවතේ කෙළවරදී ඔව්හු නුඹලාට සම්බවන්නෝය. [17] යූදාවරුනි, යෙරුසලමේ වැසියෙනි, මේ යුද්ධයේදී නුඹලා සටන්කරන්ට ඕනෑ නැත. සැරසී නිශ්චලව සිට ස්වාමීන්වහන්සේ නුඹලාට දෙන ගැළවීම බලාසිටින්න. ස්වාමීන්වහන්සේ නුඹලා සමඟ සිටින නිසා භයනොවී, නොකැලඹී, හෙට ඔවුන් වෙතට පිටත්ව යන්නය කියා වදාරනසේකැයි කීවේය. [18] එවිට යෙහෝෂාපාට් මුහුණින් බිමට නැමුණේය. සියලු යූදාවරුද යෙරුසලමේ වැසියෝද ස්වාමීන්වහන්සේට නමස්කාරකරමින් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වැඳවැටුණෝය. [19] කොහාතිවරුන්ගේ පුත්‍රයෝද කොරාවරුන්ගේ පුත්‍රයෝද වන ලෙවීවරු ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඉතා මහත් හඬකින් ප්‍රශංසා කිරීමට නැගුටුණෝය.
[20] ඔව්හු අලුයම නැගිට තෙකෝවා කාන්තාරයට පිටත්ව ගියෝය. ඔවුන් පිටත්වෙද්දී යෙහෝෂාපාට් නැගිට සිට කථාකොට: යූදාවරුනි, යෙරුසලමේ වැසියෙනි, මාගේ වචන අසන්න; නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න, එවිට නුඹලා ස්ථිරවන්නහුය; උන්වහන්සේගේ ප්‍රොපේතවරුන් විශ්වාස කරන්න. එවිට නුඹලා සඵලවන්නහුයයි කීවේය.
[21] ඔහු සෙනඟ සමඟ මන්ත්‍රණයකොට ස්වාමීන්වහන්සේට ගීතිකාකරන්නන් පත්කෙළේය. ඔව්හු යුද්ධ සේනාවට පෙරටුව යමින්, ශුද්ධකමේ අලංකාරයෙන් යුක්තව ප්‍රශංසා කරමින්–ස්වාමීන්වහන්සේට ස්තුතිකරන්න, මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල්ම පවත්නේයයි කීවෝය.

බියෙන් සහ කැළඹීමෙන් සටනක් ජය ගැනීමට නොහැකිය. අප දෙවියන්වහන්සේගේ හඬින් කතා කරන ප්‍රොපේතවරුන් පවසන දේවල් විශ්වාස කරනවානම් ඒ දේ එසේම සිද්ධ වෙනවා ඇත.

2 ලේකම් 20:22-30
[22] ඔවුන් ප්‍රීති ඝෝෂාවද ප්‍රශංසාවද පටන්ගත් වේලාවේදී යූදාට විරුද්ධව ඇවිත් සිටි අම්මොන් සහ මෝවබ් පුත්‍රයන්ටද සෙයිර් කඳුකරයේ වැසියන්ටද [එදොම්වරුන් / මියුනිවරුන්] විරුද්ධ ස්වාමීන්වහන්සේ රැක සිටින සේනාවක් සිටෙවුසේක; ඔව්හු පැරදුණෝය. [23] මක්නිසාද අම්මොන් සහ මෝවබ් පුත්‍රයන් සෙයිර් කඳුකරයේ වැසියන්
[එදොම්වරුන් / මියුනිවරුන්]
සිඳදමා විනාශකරන පිණිස ඔවුන්ට විරුද්ධව නැගිට්ටෝය. සෙයිර් වැසියන් මුළුමනින්ම නැතිකළායින් පසු ඔව්හු එකෙක් අනිකෙකු විනාශකරන්ට උපකාරවූහ.

මේ සතුරු හමුදාවන් අතර සම්පූර්ණ වියවුලක් ඇති වුණා.
සතුරු හමුදා දෙකක් තවත් සතුරු හමුදාවකට විරුද්ධව සටන් කරමින් එකිනෙකාව මරා දැමුවා.

[24] යූදාවරු වනාහි කාන්තාරයේ මුරකොටුව උඩට ඇවිත් ඒ සමූහයා දෙස බැලූ විට, ඔවුන් මළකඳන්ව බිම වැටී ඉන්නවා දුටුවෝය, ගැළවුණාවූ කිසිවෙක්ද නොසිටියේය.
[25] යෙහෝෂාපාට්ද ඔහුගේ සෙනඟද ඔවුන්ගෙන් කොල්ලය ගන්ට ආ කළ වස්තුවද මළකඳන්ද අනර්ඝ බඩුද ඔවුන්ට සම්බවුණේය; ගෙනයන්ට බැරි තරමට ඔව්හු ඒවා ගළවාගත්තෝය. කොල්ලය අධික බැවින් ඔවුන් තුන් දවසක් ඒවා එකතුකරමින් සිටියෝය. [26] සතරවෙනිදා ඔව්හු බෙරාකා (ආශීර්වාදයේ) මිටියාවතේ රැස්වුණෝය; ඔවුන් එහිදී ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකළ බැවින් අද දක්වා තිබෙන පරිදි ඒ ස්ථානයට බෙරාකා (ආශීර්වාදයේ) මිටියාවතයයි කියනලද්දේය.
[27] එවිට යූදා සහ යෙරුසලමේ සියලු මනුෂ්‍යයෝද ඔවුන්ට පෙරටුව යෙහෝෂාපාට්ද ප්‍රීතියෙන් යෙරුසලමට හැරී යන්ට පිටත් වුණෝය; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ සතුරන් ගැන ප්‍රීතිවෙන්ට ඔවුන්ට සැලැස්සූසේක. [28] ඔව්හු වීණාද මහ වීණාද හොරණෑද ඇතුව යෙරුසලමට ස්වාමීන්වහන්සේගේ ගෘහයට ආවෝය. [29] ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්ගේ සතුරන්ට විරුද්ධව සටන්කළ බව දේශවල සියලු රාජ්‍යයන් ඇසූ විට ඔවුන් පිටට දෙවියන්වහන්සේගෙන් භීතියක් පැමිණියේය.
[30] මෙසේ යෙහෝෂාපාට්ගේ රාජ්‍යය නිශ්චලව තිබුණේය. මක්නිසාද ඔහුගේ දෙවියන්වහන්සේ හාත්පසින්ම ඔහුට සමාදානය දුන්සේක.

ඔබට ඇති ණය වලින් නිදහස් විමට අවශ්‍ය නම් දෙවියන්වහන්සේට ප‍්‍රශංසා කර ගීතිකා ගායනා කරන්න. එවිට ස්වාමීන්වහන්සේ ඔබට මාර්ගයක් පහදා දෙනවා ඇත.

දෙවියන්වහන්සේ අප වෙනුවෙන් සටන් කරනවා ඇත. අපට තිබෙන්නේ ජයග‍්‍රහණය ප‍්‍රකාශ කර ප‍්‍රීති වීම පමණයි.


Watch the Sermon Video

Read 157 times