+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ලෞකිකත්වයද නැතහොත් දේව භක්තියද? - මනූ මැතානි
April 26, 2026 Sunday Sermon Notes

 

 අප දෙවියන්වහන්සේට කීකරු වී ගමන් කළ යුතුය. උන්වහන්සේ අපට යමක් පැවසුවානම් අප අනිවාර්යයෙන් ඒ දේවල් කළ යුතුය. උන්වහන්සේ කෙරෙහි තිබෙන විශ්වාසය කඩ නොකරමු. අපේ අවශ්‍යයතාවන් සියලු දේ දෙවියන්වහන්සේ අපට සපයා දෙනවා ඇත.

දේව වචනය මෙනෙහි කිරීමෙන් උන්වහන්සේ ගැන දැන ගැනීමට අපට හැකිය. දෙවියන්වහන්සේගේ කැමැත්ත කුමක්ද කියා අප දැනගත යුතුය.

2 තිමෝති 1:4-5
[4] එසේය, නුඹේ කඳුළු සිහිකර, නුඹ තුළ තිබෙන අවංක ඇදහිල්ල සිහියට ගෙන, මම ප්‍රීතියෙන් පූර්ණවන පිණිස නුඹ දකින්ට ආශාවෙමි. [5] ඒ ඇදහිල්ල පළමුකොට නුඹේ ආච්චිවූ ලොයිස් තුළද නුඹේ මෑණියන්වූ එවුනීකි තුළද වාසයකළාය. නුඹ තුළත් එය වාසයකරන බව විශ්වාසකරගන සිටිමි.

2 තිමෝති 1:6
[6] ඒ කාරණය නිසා මාගේ අත්තැබීම කරණකොටගෙන නුඹ තුළ තිබෙන දෙවියන්වහන්සේගේ දීමනාව පුබුදුකරන හැටියට නුඹට සිහිකරවමි.

කුඩා කාලයේ සිටම දෙවියන්වහන්සේගේ වචනය සමඟ එකඟ වෙමු. දෙවියන්වහන්සේ සමඟ කීකරුව බැඳී සිටින අය සමඟ අපි එකට එක්ව බැඳී සිටිමු.

2 තිමෝති 3:14-15
[14] එහෙත් නුඹ ඉගෙනගත්තාවූ, නුඹට සහතිකවූ කාරණා කොයි තැනැත්තන්ගෙන් ඉගෙනගත්තෙහිද කියාත්, [15] ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ගැළවීම පිණිස නුඹ නැණවත්කරන්ට පුළුවන්වූ ශුද්ධලියවිලි නුඹ බාල වයසේ පටන් දැනගන සිටින බවත් දැන, ඒවායෙහි පිහිටා සිටින්න.

අපි ලෝකයා වෙතට යන විට සාක්ෂිකාරයෙකු ලෙසයි යන්නේ. මම ලෝකයේ ආලෝකයයි. මම පොළොවේ ලුණු වෙමි.

කුඩා වයසේදී යම් දෙයකට පුරුදු වුණායින් පසු ඒවා ඈත්වී නොයයි. මුල සිටම වැරදි දේවල් වලට බැඳී සිටියොත් අපගේ අනාගතයේ විශාල වෙනසක් සිදු වීමට ඉඩ ඇත. නමුත් කුඩා වයසේ සිට දෙවියන්වහන්සේ සමඟ බැඳි සිටියොත් බොහෝ රැවටිලි සහිත දේවල් වලින් වැළකී නිදහසේ ජීවත් වීමට හැකියාව ඇත.

යේසුස්වහන්සේ අපට පවසන්නේ මේ ලෝකයේ ජිවත් වනවානම් සර්පයන් මෙන් ඥාණවන්තවද පරෙවියන් මෙන් අහිංසකවද සිටිය යුතුය කියාය.

අපි පසුබට නොවී ජීවත් වෙමු. දෙවියන්වහන්සේගේ වචනය, උන්වහන්සේගේ දේවල් උතුම්කොට සලකමු.

දෙවියන්වහන්සේගේ සියලු දේවල් අපට දී ඇත. අපට උන්වහන්සේ තුළ සියලු පොරොන්දුවක් ලබා ගැනීමට පුළුවන. කිතුනු ජීවිතයේ අරම්භයේ පටන් වගකීමක් ඇතිව ජීවත් වෙමු.

ලෝකය දෙස බලමින් කලකිරීමට පත් නොවන්න. අප ලෝකය වෙතට යන විට දෙවියන්වහන්සේගේ සාක්ෂිකාරයෝ හැටියට ජීවත් විය යුතුය. අප ලෝකයේ ලුණුය.

අපි දෙවියන්වහන්සේගේ දේවල් සුළු නොකරමු. අප මේ ලෝකයේ ජීවත් විය යුත්තේ උතුම්ම ආත්මික මනුෂ්‍යයෙකු හැටියටය.

1 යොහන් 2:15
[15] ලෝකයටවත් ලෝකයෙහි තිබෙන දේවලටවත් ප්‍රේම නොකරන්න. යමෙක් ලෝකයට ප්‍රේමකෙරේ නම්, පියාණන්වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත.

ඔබ ලෝකයට ප‍්‍රේම කරනවානම් දෙවියන්වහන්සේට ප‍්‍රේම නොකරයි.
අප සිටින්නේ උසස්ම තැනය. ඒ දෙවියන්වහන්සේගේ දේව රාජ්‍යයේය.
යක්ෂයා දෙවියන්වහන්සේගේ දේවල් ලබා ගනිමින් ඒවා විකෘති කර ලෝකයේ සිටින මනුෂ්‍යයන් රවටයි.

2 කොරින්ති 4:4
[4] නොඇදහිලිකාරවූ ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ ස්වරූපයවූ ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබෙළන පිණිස, මේ ලෝකයේ දෙවියා (පාලකයා) ඔවුන්ගේ සිත් අන්ධකළේය.

ගැළවීමේ පණිවිඩය නොලැබෙන ලෙස ලෝකයේ දෙවියා මනුෂ්‍යයන්ගේ ජීවිත අන්ධ කරයි. ලෝකයේ දෙවියා නොහැදිලිකාර මනුෂ්‍යයන්ගේ මනස විකෘති කර ලෝකය දෙසට යොමු කරයි.

ශු. යොහන් 17:14
[14] මම ඔවුන්ට ඔබගේ වචනය දුනිමි. මා ලෝකයාට අයිති නැති ලෙසම ඔවුනුත් ලෝකයාට අයිති නැති නිසා ලෝකයා ඔවුන්ට වෛරවුණෝය.

දෙමව්පියන් මුල සිටම තම දරුවන් ගැළවීමට යොමු කළ යුතුය. අප අපගේ තරුණ වයසේදීම දෙවියන්වහන්සේට කැප වී ජීවත් විය යුතුය. ලෝකයේ දෙවියා ඔබට වෛර කරයි. ඒ ප‍්‍රතිපත්ති සියල්ලම සාදන්නේ යක්ෂයාය.

[15] ඔබ ලෝකයෙන් ඔවුන් අහක්කරන පිණිස නොව, නපුරාගෙන් ඔවුන් ආරක්ෂාකරන පිණිස යාච්ඤාකරමි.

ශු. යොහන් 17:16
[16] මා ලෝකයෙන් නොවන්නාක් මෙන්ම ඔව්හුද ලෝකයෙන් නොවෙති.

යේසුස්වහන්සේ යාච්ඤා කළේ ලෝකයේ අපව දෙවියාගෙන් ආරක්ෂා කර ගැනීමටය. දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෝකයේ නපුරු දේවල් වලින් එක්සත් වී ගමන් කිරීම නොව නපුරාගෙන් ජීවිතය ආරක්ෂා කරගන්නය.

දෙවියන්වහන්සේ අපට ආශීර්වාද කරන තැනැන්වහන්සේය. දෙවියන්වහන්සේ ලෝකයේ ආලෝකයය. අප මේ පොළොවේ සිටින්නේ ලුණු හා සමානවය.

1 යොහන් 5:19
[19] අපි දෙවියන්වහන්සේගෙන් වන බවද මුළු ලෝකයා නපුරා තුළ බවද දනිමුව.

අප මේ ලෝකයේ සිටින විට ප‍්‍රඥාවෙන් ජීවත් විය යුතුය.

1 යොහන් 5:20-21
[20] තවද දෙවියන්වහන්සේගේ පුත්‍රයා ඇවිත් අප සැබෑවූ තැනන්වහන්සේව ඇඳිනගන්න ලෙස අපට තේරුම දී තිබෙන බව දනිමුව, සැබෑවූ තැනන්වහන්සේ තුළ, එනම් උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ අපි සිටිමුව. සැබෑවූ දෙවියන්වහන්සේද සදාකාලවූ ජීවනයද මුන්වහන්සේමය. [21] මාගේ පිය දරුවෙනි, දේවතා රූපවලින් දුරුව සිටින්න.

අප සිටින්නේ දෙවියන්වහන්සේ තුළය. උන්වහන්සේ තුළ අපට සදාකාල ජීවනය ඇත.

අපගේ ශරීරය දෙවියන්වහන්සේගේ මාළිගාවයි. අප මනුෂ්‍යයන් ගළවනු ලබනවානම් දෙවියන්වහන්සේ අප තුළින් ක‍්‍රියා කරයි. අප ජීවිතයේ සාක්ෂියක් ඉතුරු කරමින් අන් මනුෂ්‍යයන් ගළවනු ලබයි.

දෙවියන්වහන්සේ අපට දී තිබෙන්නේ ඉතා වටිනා ජීවිතයකි.

කොලොස්සි 3:5
[5] එබැවින් පොළොවේ තිබෙන නුඹලාගේ අවයවයන්, එනම් වේශ්‍යාකමත් අපිරිසිදුකමත් කාමරාගයත් නපුරු තෘෂ්ණාවත් රූපවැදීමවූ තණ්හාවත් නසන්න.

අපට අයිති නැති දේවල් ගැන තෘෂ්ණාවෙන් සිටිනවානම් එය රූප වන්දනාවක් වේ. දෙවියන්වහන්සේ අපට සපයා දෙන දෙවියන්වහන්සේය.

අප සම්බන්ධ විය යුත්තේ දෙවියන්වහන්සේ සමඟය. අප යන ගමනේදී උන්වහන්සේ අප සමඟය.

1 කොරින්ති 7:31
[31] මේ ලෝකය භුක්තිවිඳින්නෝ අධික ලෙස භුක්ති නොවිඳින්නන් මෙන්ද සිටිය යුත්තෝයයි කියමි. මක්නිසාද මේ ලෝකයේ අන්දම පහවෙවී යන්නේය.

අප දෙවියන්වහන්සේ සමඟ සහභාගීකම පවත්වාගත යුතුය. අප සිටින සෑම තැනම උන්වහන්සේ අප සමඟ සිටී. හුස්ම ගන්නා සියල්ලෝම උන්වහන්සේට ප‍්‍රශංසා කළ යුතුය.

අප මොන දේ පාවිච්චි කළත් ඒවා මේ ලෝකයේ දේවල්ය. නමුත් ඒවා මත අප විශ්වාසය තැබිය යුතු නැත. අප විශ්වාස කළ යුත්තේ දෙවියන්වහන්සේගේ වචනයයි.

ගීතාවලිය 115:17
[17] මළාහුවත් නිශ්ශබ්ද ස්ථානයට යන්නාහුවත් ස්වාමීන්ට ප්‍රශංසා නොකෙරෙති;

ලෝකයේ සිටින මනුෂ්‍යයන් මළාවූ අයය. දෙවියන්වහන්සේට ප‍්‍රශංසා නොකර ඔවුන්ගේ දේවල් ගැන පවසමින් සිටී. දෙවියන්වහන්සේ අපට හුස්ම දෙන දෙවියන්වහන්සේය. අප උන්වහන්සේට ස්තුති ප‍්‍රශංසා කළ යුතුය.

යෙසායා 38:18
[18] මක්නිසාද ඔබට ප්‍රශංසාකරන්ට මිනී වළටවත් ඔබ වර්ණනාකරන්ට මරණයටවත් බැරිය. වළට බසින්නෝ ඔබගේ විශ්වාසකම ගැන බලා නොසිටින්නෝය.

අප තෝරාගත යුත්තේ දෙවියන්වහන්සේට ගෞරවය මහිමය දෙමින් ජීවත් වෙන්නටය.

ගීතාවලිය 30:9
[9] මා වළට බසින කල මාගේ ලෙයින් ඇති ප්‍රයෝජනය කිම්ද? ධූලි ඔබට ප්‍රශංසාකරන්නේද? ඔබගේ සත්‍යතාව ප්‍රකාශකරන්නේද?

දෙවියන්වහන්සෙගේ ලේ වලින් ගිවිසුමක් සාදා ඇත. එමනිසා උන්වහන්සේට ගෞරවය දෙමින් ජීවත් වන්න. දෙවියන්වහන්සේගේ ලේ වල ඇත්තේ ජීවනයයි.

දෙවියන්වහන්සේගේ සත්‍යතාවේ වචනය අප ප‍්‍රකාශ කළ යුතුය. අපගේ ලේ දෙවියන්වහන්සේගේ ලේ වලින් ශුද්ධ පවිත‍්‍ර කර තිබෙන නිසා අප ප‍්‍රයෝජනවත් ජීවිතයක් ගත කළ යුතුය.

ජීවත් වී සිටින අප දෙවියන්වහන්සේගේ සත්‍යතාවයේ වචනය කතා කළ යුතුය.
අප දැන් ගත කරන්නේ ප‍්‍රයෝජනවත් ජීවිතයක්ය. අපි දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධකම් පවත්වමින් උන්වහන්සේගේ වචනය විශ්වාස කරමු. එසේම උන්වහන්සේ සමඟ මේ ගමන ගමන් කරමින් එකිනෙකාට සුභාරංචිය පතුරවමින් අප ජීවත් විය යුතුය.

අපගේ අන්තිම හුස්ම දක්වා දෙවියන්වහන්සේ සමඟ කාලය ගත කරමු.

1 යොහන් 5:18
[18] දෙවියන්වහන්සේගෙන් ඉපිදී සිටින කිසිවෙක් පව් නොකරන බව අපි දනිමුව; එහෙත් දෙවියන්වහන්සේගෙන් උපන් තැනැත්තේ තමාම ආරක්ෂාකරගන්නේය, නපුරා ඔහුට අතගසන්නේ නැත.

අපගේ ආත්මය දෙවියන්වහන්සේ සමඟ බැඳී ඇත. අපගේ පව් සිදු වෙන්නේ අපගේ ආත්මයෙන් නොව, මාංශයෙනි.

අභ්‍යන්තර මනුෂ්‍යයා සදකාල ජීවනය ලබා ගත් කෙනෙකි. ඔවුන් කිසි කලක පව් කරන්නේ නැත. නමුත් ප‍්‍රාණය (මනස), හා ශරීරය අප විසින් ආරක්ෂා කර ගත යුතු වේ. අප ජීවිතයට බලපැම් ඇති කරන්නට නපුරාට ඉඩ නොදෙමු. යක්ෂයා නැති අයට සේම තිබෙන අයටද පරීක්ෂාවන් ගෙන එනු ලබයි.

උත්පත්ති 13:5
[5] ආබ්‍රම් සමඟ ගියාවූ ලොත්ටද බැටළු රැළවල්ද ගවයෝද සිටියෝය, කූඩාරම්ද තිබුණේය.

උත්පත්ති 13:6
[6] ඔවුන්ට සම්පත් බොහෝ නිසා එක්ව විසීමට දේශය ඉඩ මදිවුණේය; එබැවින් එක්ව විසීම ඔවුන්ට නුපුළුවන්විය.

උත්පත්ති 13:7
[7] ආබ්‍රම්ගේ ගවයන්ගේ එඬේරුන් සහ ලොත්ගේ ගවයන්ගේ එඬේරුන් අතරේ ඩබරයක් විය. එකල්හි කානානිවරුද පෙරිස්සිවරුද දේශයෙහි වාසයකළෝය.

උත්පත්ති 13:8-10
[8] එවිට ආබ්‍රම් ලොත්ට කථාකොට: මා සහ නුඹ අතරෙහිද මාගේ එඬේරුන් සහ නුඹේ එඬේරුන් අතරෙහිද ඩබරයක් නොවේවා; මක්නිසාද අපි සහෝදරයෝය. [9] මුළු දේශය නුඹ ඉදිරියෙහි තිබෙනවා නොවේද? මා කෙරෙන් වෙන්ව යනලෙස නුඹෙන් ඉල්ලමි. නුඹ වම් දෙසට යන්නෙහි නම් මම දකුණු දෙසට යන්නෙමි; නුඹ දකුණු දෙසට යන්නෙහි නම් මම වම් දෙසට යන්නෙමියි කීවේය. [10] ලොත් ඇස් ඔසවා බලා යොර්දානේ මුළු සමභූමිය හැම තැනම ජල සම්පන්නව තිබෙන බව දුටුවේය. ස්වාමීන්වහන්සේ සොදොම සහ ගොමොරා විනාශකරන්ට පළමුවෙන් ඒක ශොවර් දෙසට ස්වාමීන්වහන්සේගේ උයන මෙන්ද මිසර දේශය මෙන්ද වූයේය.

ඇදහිල්ලේ මනුෂ්‍යයන් විශ්වාස කරන්නේ දෙවියන්වහන්සේය. දෙවියන්වහන්සේ ආබ‍්‍රම්ට සේම ලොත්ටත් ආශීර්වාද කරන ලදී. ලෝත් ඇදහිල්ල අත්හැර තම ජීවිතය ලෝකයට ගෙන යන ලදී. ේඑ නිසා ඔහුට තිබුණු සෑම දෙයක්ම නැතිකර ගත්තේය.

අප ජීවිතයේ පරණ දේවල් ගැන නොසිතමු. ඇස් වලින් දකින දේට වඩා
ආත්මයාණන්වහන්සේ පෙන්වන දේ විශ්වාස කරමු. ආත්මික දෙනෙත් විවර කරමින් දෙවියන්වහන්සේගේ හඬට ඇහුම්කන් දෙමු. දෙවියන්වහන්සේ අපව කැඳවා තිබෙන්නේ උන්වහන්සේගේ සෙනඟ සමඟ රැඳෙන්නටය.

විනිශ්චයකාරයන්ගේ පොත 16:18-20
[18] ඔහු තමාගේ සිතේ තිබුණු සියල්ල තමාට කී බව දෙලීලා දැන පිලිස්තිවරුන්ගේ අධිපතිවරුන් අඬගස්වමින්: මේ වතාවේ එන්න, මක්නිසාද ඔහු තමාගේ සිතේ තිබෙන සියල්ල මට කියා තිබේයයි දන්වා ඇරියාය. එවිට පිලිස්තිවරුන්ගේ අධිපතීහු තමුන්ගේ අත්වල මුදල් ඇතුව ඈ ළඟට ආවෝය. [19] ඈ තමාගේ උකුළ පිට ඔහු නිදන්ට සලස්වා, මිනිහෙකු කැඳවා, ඔහුගේ හිසේ සැඩපළු සත කපාදමා, ඔහුට පීඩාකරන්ට පටන්ගත්තාය, ඔහුගේ ශක්තියද ඔහුගෙන් පහව ගියේය. [20] ඈද: සම්සොන්, පිලිස්තිවරු නුඹ අල්ලන්ට එත්යයි කීවාය. එවිට ඔහු නින්දෙන් පිබිද, ස්වාමීන්වහන්සේ තමා කෙරෙන් අහක්ව ගිය බව නොදැන, වෙන වතාවලදී මෙන් පිටතට ගොස් බැඳුම්වලින් නිදහස්වන්නෙමියි කීවේය.

අපට ලෝකයා සමඟ තිබෙන සම්බන්ධය කොයි තත්වයෙන්ද තිබෙන්නේ කියා අප වග බලා ගත යුතුය.

2 කොරින්ති 6:14
[14] නොඇදහිලිකාරයන් සමඟ අසමලෙස සම්බන්ධ නොවෙන්න. ධර්මිෂ්ඨකමෙත් අධර්මිෂ්ඨකමෙත් ඇති සහභාගිකම මොකද? නොහොත් අන්ධකාරය සමඟ ආලෝකයේ ඇති පංගුකාරකම මොකද?

2 කොරින්ති 6:15
[15] බෙලියෙල් සමඟ ක්‍රිස්තුස්වහන්සේගේ ඇති එකමුතුකම මොකද? නොහොත් නොඅදහන කෙනෙකු සමඟ ඇදහිලිවන්තයෙකුගේ ඇති කොටස මොකද?

නොඇදහිලිකාරයන් සමඟ අපට සම්බන්ධ විය නොහැක. අපි දෙවියන්වහන්සේට විරුද්ධව ක‍්‍රියා නොකරමු. ආලෝකය සහ අන්ධකාරය කිසි විටකත් අපට මිශ‍්‍ර කළ නොහැකිය.

කිසිම වටිනාකමක් නැති යක්ෂයා සමඟ සම්බන්ධ වුවහොත් ක‍්‍රිස්තුස්වහන්සේට දුක් ගෙන දෙයි.

2 කොරින්ති 6:16-17
[16] දේවතා රූප සමඟ දෙවියන්වහන්සේගේ මාළිගාවට ඇති එකඟකම මොකද? මක්නිසාද අපි ජීවමාන දෙවියන්වහන්සේගේ මාළිගාවය; එසේම දෙවියන්වහන්සේ කථාකොට: මම ඔවුන් අතරේ වාසයකරන්නෙමි, හැසිරෙන්නෙමි; මම ඔවුන්ගේ දෙවියන්වහන්සේව සිටින්නෙමි, ඔව්හුද මාගේ සෙනඟව සිටින්නෝයයි කීසේක. [17] එබැවින් නුඹලා ඔවුන් අතරෙන් පිටතට ඇවිත්, වෙන්ව සිටින්න, අපවිත්‍ර දෙයකට අත නොගසා සිටින්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. එවිට මම නුඹලා පිළිගෙන,

අපගේ ශරීරය ජීවමාන දෙවියන්වහන්සේගේ මාළිගාවයි.

2 කොරින්ති 6:18
[18] නුඹලාට පියෙක් වන්නෙමි, නුඹලාද මට පුත්‍රයොත් දූවරුත් වන්නහුයයි සර්ව පරාක්‍රමවූ ස්වාමීන්වහන්සේ කියනසේක.

2 කොරින්ති 7:1
[1] එබැවින්, ප්‍රේමවන්තයෙනි, මේ පොරොන්දු අපට තිබෙන නිසා, මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින් අපම පවිත්‍රකර ගනිමින්, දෙවියන්වහන්සේ කෙරෙහි භයින් යුක්තව, ශුද්ධකම සම්පූර්ණකරගනිමු.

කිලුටුකමෙන් ජීවත් නොවෙමු. වැරදි ඉගැන්වීම් වලින් ඈත් වෙමු. නැතිනම් එය අපේ ජීවිතයට බලපෑම් ඇති කරයි. දේව වචනයේ සත්‍යය හරි ආකාරයෙන් දැනගනිමු. අපි ශුද්ධවන්තයින් ලෙස දෙවියන්වහන්සේගේ වචනයෙන් පූර්ණ වෙමු.

අපි දේව භයෙන් ශූද්ධකමෙන් සම්පූර්ණකමට පැමිණෙමු. සත්‍ය වචනය අපේ ජීවිතය පාලනය නොකරයි, නමුත් අසත්‍ය වචනය අපව පාලනය කරයි. ඒ සමඟම අශුද්ධ ආත්ම පැමිණ අපට කරදර පිඩාද ගෙන දෙයි.

වැරදි ඉගැන්වීම් වලින් ඔබගේ මනස අවුල් කරයි. සත්‍ය වචනය දෙවියන්වහන්සේ ගෙන දෙන විට එය අපේ ජීවිතයට අදාළ කරගෙන වෙනස් වෙමු. අප ලෝකයෙන් වෙන්ව ජීවිතයක් ගත කළ යුතුය. අප ලෝකයේ සිටින නමුත් ලෝකයට අයිති නැත.

1 යොහන් 2:16-17
[16] මක්නිසාද ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් පියාණන්වහන්සේගෙන් නොව ලෝකයෙන් වේ. [17] ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.

දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාල්ම පවතින්නේය.


Watch the Sermon Video

Read 162 times