+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දීමේ ආකල්පය- මනූ මැතානි
November 20, 2022 Sunday Sermon Notes

 

අපගේ දීමනා දසයෙන් කොටස් දීමෙන් අපට ලැබෙන ආශීර්වාද ගැන බලමු.

අප දෙවියන්වහන්සේට නමස්කාරයක් ලෙසින් දීමනා දෙන කල එහි වටිනාකමත් අපට ලැබෙන ආශීර්වාදත්, එසේම අප කුමන හදවතකින් උන්වහන්සේට දිය යුත්තේද සහ අපගේ ආකල්පය කොයි ආකාරද කියා ඉගෙන ගනිමු.

දීම මහත්වූ ආශීර්වාදයකි.

දෙවියන්වහන්සේ බලාපොරොත්තු වන්නේ අප උන්වහන්සේට ප‍්‍රථම ස්ථානය දීමය. එමෙන්ම අපගේ පළමු කොටස දීමය.

මතෙව් 6:33 නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් නුඹලාට දෙනු ලබන්නේය.

දීමෙන් අපට සිදුවෙන දේ ගැන දේව වචනයෙන් සොයා බලමු.

දෙවියන්වහන්සේ පළමුකොට මට දුන්න දෙයින් මා දීමෙන් ලබා ගන්නා ආශීර්වාද කොතරම්ද!

අපට සම්පත ලබාගන්නට පුළුවන්කම, හැකියාව සහ බලය දී තිබෙන්නේ ස්වාමීන්වහන්සේය.

ද්වීතීය කථාව 8:15‭-‬18
15 ගිනි සර්පයන් සහ ගෝනුස්සන් ඇත්තාවූ, වතුර නැති, නියංසායෙන් යුක්තවූ ඒ මහත් භයංකර කාන්තාරය මැදින් නුඹ ගෙනාවාවූ, ගිනිගල් පර්වතයෙන් නුඹට වතුර නික්මවා දී, 16 නුඹේ පියවරුන් නොදත්තාවූ, මන්නාවලින් කාන්තාරයේදී නුඹ පෝෂණයකළාවූ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මතක නැතිකොට: 17 මාගේ බල පුළුවන්කමෙනුත් මාගේ බාහු ශක්තියෙනුත් මේ වස්තුව ලද්දෙමියි නුඹේ සිතින් නොකියන හැටියටද බලාගන්න. 18 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිකරන්න, මක්නිසාද නුඹේ පියවරුන්ට දිවුළ තමන්ගේ ගිවිසුම අද තිබෙන්නාක් මෙන් ඉෂ්ටකරන පිණිස නුඹට සම්පත් ලබාගැනීමට පුළුවන්කම දෙන්නේ උන්වහන්සේය.

අපට ලැබෙන සම්පත්, වස්තු සහ ශක්තියද යන මේ සියල්ලම ස්වාමීන්වහන්සේ තුළින් බව සිහියේ තබා ගැනීම වැදගත්ම දෙය වන අතර ඒ සියල්ලෙහි ප‍්‍රථම කොටස අප උන්වහන්සේට දිය යුතුයි.

මතෙව් 6:21 මක්නිසාද නුඹේ වස්තුව යම් තැනෙක්හිද නුඹේ සිතත් එතැන්හිම වන්නේය.

ඔබගේ වස්තුව තිබෙන ස්ථානයේ ඔබගේ හදවත තිබෙන්නේය.

ඔබගේ හදවත දේව රාජ්‍යයේ තිබේනම් ඔබ පළමුකොට සොයනුයේ දෙවියන්වහන්සේගේ කරුණු කාරණාය.

දෙවියන්වහන්සේ අපගේ සිත සෝදිසි කරනසේක.

යමෙක් පසුබට වන විට ඔහුගේ ආකල්ප ටිකෙන් ටික වෙනස්වේ. ඔහු දසයෙන් කොටස දෙන හෙයින් ස්වාමීන්වහන්සේ ආශීර්වාද කරයි යන මතයේ ඔහු සිටියි. ඔහු තමාගේ පසුබට වීම ගැන නොසිතයි.

දෙවියන්වහන්සේට අපගේ අල්ලස් අවශ්‍යය නැත.

අවංක හදවතක් ඇතිවන තුරු දෙවියන්වහන්සේගේ ආශීර්වාදය අපට හිමි නොවේ. උන්වහන්සේ අපගේ පූජාව පවා ප‍්‍රතික්ෂේප කරයි.

පසුබටවීමේදී තවත් සමහරෙක් මා මෙතුවත් මාගේ දසයෙන් කොටස දුන් නමුත් දැන් මාගේ අවශ්‍යතා සඳහා එය යොමු කර යුතුයයි පවසති.

සමහරුන් පවසන්නේ මේ දසයෙන් කොටස් දීම පරණ ගිවිසුමට අයිති නිසා දැන් අපි අලුත් ගිවිසුම තුළ සිටින්නන් ලෙස දෙන්නට අවශ්‍ය නැත.

පරණ ගිවිසුමේ ව්‍යවස්ථාවට දසයෙන් කොටස ඇතුලු වීමටත් ප‍්‍රථමයෙන් ආබ‍්‍රහම් තම දසයෙන් කොටස දී ආශීර්වාද ලද්දෙකු බවට පත්විය. (උත්පත්ති 14:18-20)

ආබෙල්ද ස්වාමීන්වහන්සේට තමාගේ උතුම් කොටස දී උන්වහන්සේව ප‍්‍රසන්න කරන ලදි. (උත්පත්ත 4:4)

ගීතාවලිය 84:11
මක්නිසාද දෙවිවූ ස්වාමීන්වහන්සේ සූර්යයෙක්ය, පලිහක්ය. ස්වාමීන්වහන්සේ අනුග්‍රහයත් මහිමයත් දෙනසේක. අවංකලෙස හැසිරෙන්නන්ගෙන් කිසි යහපතක් නොවලක්වනසේක.

අවංක හදවතක් මට තිබේයැයි පැවසීම පමණක් නොව අපගේ ක්‍රියාවන්ද හැසිරීමද අවංක විය යුතුය. අපි අවංක ජීවිත ගත කළ යුතුයි.

ස්වාමීන්වහන්සේ බලන්නේ ඔබගේ සිතය.

1 සාමුවෙල් 16:7
නුමුත් ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: ඔහුගේ පෙනීම දෙසවත් ශරීරයේ උස දෙසවත් නොබලන්න; මක්නිසාද මම ඔහු එපාකෙළෙමි. ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයා බලන්නාක්මෙන් නොබලනසේක; මනුෂ්‍ය තෙමේ පිටාතර පෙනීම බලන්නේය, නුමුත් ස්වාමීන්වහන්සේ සිත බලනසේකැයි කීසේක.

දාවිත්ගේ ජීවිතයේ ඔහුගේ ක්‍රියාවන් සමඟ හදවතද එකඟව තිබුණි.
ඔහු යුධ භූමියට පැමිණි අවස්ථවේ ඔහුගේ ඇදහිල්ල මනාව පිළිබිඹු වුණි. (1 සාමුවෙල් 17:26, 30, 32)

දාවිත්ගේ තමාගේ රහස් ජීවිතයේ දෙවියන්වන්සේ හා සමඟ අවංකකම තිබුණි.

අපගේ හදවත සහ ක්‍රියාවන් අපි එකඟ කර ගනිමු.

අපගේ සිතේ ආකල්පය දෙවියන්වහන්සේ ඉදිරියෙහි වෙනස් කර ගනිමු.

අප දෙවියන්වහන්සේ තුළ ධනවත්ව සිටින්ට අවශ්‍යයයි.

ලූක් 12:13
සමූහයාගෙන් එක්කෙනෙක් කථාකොට: ආචාරින්වහන්ස, මා සමඟ උරුමය බෙදාගන්ට මාගේ සහෝදරයාට කිව මැනවයි උන්වහන්සේට කීවේය.

මොහු උරුමය ගැන කථා කරත් යේසුස්වහන්සේ බැලුවේ ඔහුගේ ජීවිතය දෙසය.
මනුෂ්‍යයෙක් කොපමණ වස්තු රැස්කරත් ජීවිතය එහි පිහිටා නැතැයි කියා යේසුස්වහන්සේ උපමාවකින් පහදා දෙන ලදි.

ලූක් 12:19
ප්‍රාණය, නුඹට බොහෝ අවුරුදු ගණනකට හොඳවූ බොහෝ දේ රැස්කර තිබේ. පහසුගෙන, කා බී, ප්‍රීතියෙන් සිටින්නැයි මාගේ ප්‍රාණයට කියමියි කීවේය.

ඔහු ප‍්‍රාණයට කීවේ, ඔහුට සියල්ල ඇති බව පවසයි.

නමුත් දෙවියන්වහන්සේ පවසන්නේ කුමක්ද?

ලූක් 12:20 නුමුත් දෙවියන්වහන්සේ ඔහුට කථාකොට: අඥානය, අද රාත්‍රියේදී නුඹේ ප්‍රාණය නුඹෙන් අයකරනු ලැබේ; එවිට නුඹ සූදානම්කරගත් දේ කාට වන්නේදැයි කීසේක.

ඔහුගේ ප‍්‍රාණය ඒ රාත්‍රියේ නැතිවුවහොත් ඔහු රැස්කර දේට කුමක්වේද?

ලූක් 12:21 දෙවියන්වහන්සේ කෙරෙහි පොහොසත් නොවී තමාටම වස්තු රැස්කරගන්න අය එයාකාරයයි කීසේක.

දෙවියන්වහන්සේ කෙරෙහී පොහොත් නොවී තමාටම වස්තු රැස්කරගන්නා ආත්මික දිළින්දෙකුය.

දෙවියන්වහන්සේට ඕනෑකරන්නේ ඔබගේ හදවතයි.

2 කොරින්ති 8:5
අප සිතූ ලෙස නොව පළමුකොට තුමූම ස්වාමීන්වහන්සේටද දෙවියන්වහන්සේගේ කැමැත්ත කරණකොටගෙන අපටද භාරවුණෝය.

දෙවියන්වහන්සේට දීමනා ගෙන ඒමට පෙර අපගේ හදවත් හා යහපත් ක්‍රියාවන් උන්වහන්සේට භාරදිය යුතුය.

2 කොරින්ති 9:7
කනගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එක් එක්කෙනා තම තමාගේ සිතින් නියමකරගත් ලෙස දේවා. මක්නිසාද සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේමකරනසේක.

අප දෙවියන්වහන්සේට දිය යුතු කොටස සිතින් නියම කර ගත යුතුයි.

අපගේ කැපවිය යුත්තේ මුළු ජීවිත කාලය පුරාමය.

ඔබගේ ශරීරය දෙවියන්වහන්සේගේ මාළිඟාව බවට පත්වූයේ ඔබ දෙවියන්වහන්සේව පිළිගත් දවසේදීමය.

ස්වාමීන්වහන්සේ අපගේ ශරීරය මිලදී ගත්තේ නිදහස්කම තුළ ජීවත් වන පිණිසයි.

කොලොස්සි 1:13
පියාණන්වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා, තමන් ප්‍රේමයේ පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පමුණුවාගත්සේක.

ඔබගේ නිදහස් කැමැත්ත තුළ ඔබ මාංසයෙන් ජීවත් නොවන්න.

රෝම 13:14
නුමුත් තෘෂ්ණා පූර්ණකරන පිණිස මාංසයට ඉඩනොදී, ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පැළඳගන්න.
ඔබගේ ශරීරය දෙවියන්වහන්සේගේ මාළිඟාවය, ඔබගේ ආත්මයත් සමඟ උන්වහන්සේ එක්වී සිටින්නේ එක් ආත්මයක් ලෙසය.

යේසුස්වහන්සේ අප නිදහස්කමෙන් ජීවත් වන පිණිස වහල්කමෙන් නිදහස් කරන ලදි.

අප ලෝකයේ තෘෂ්ණාවෙන් ගැළවෙන පිණිස දෙවියන්වහන්සේ අපහට දැනුම හා උතුම්වූ පොරොන්දු දී ඇත.

2 පේත්‍රැස් 1:4
ඒ කරණකොටගෙන උන්වහන්සේ තමන් අනර්ඝවූ ඉතා උතුම්වූ පොරොන්දු අපට දී තිබේ; එසේ කළේ තෘෂ්ණාව නිසා ලෝකයේ තිබෙන දූෂ්‍යකමෙන් නුඹලා ගැළවී, ඒ පොරොන්දු කරණකොටගෙන දේව ස්වභාවට පංගුකාරයන් වන පිණිසය.

දසයෙන් කොටස් දීමේදී අපගේ හදවත ඉතා වැදගත් වන්නේය.

2 කොරින්ති 9:7
කනගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එක් එක්කෙනා තම තමාගේ සිතින් නියමකරගත් ලෙස දේවා. මක්නිසාද සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේමකරනසේක.

පරණ ගිවිසුමේ මනුෂ්‍යයන් දෙවියන්වහන්සේට ප‍්‍රසන්න ජීවිතයක් ගත කල ආකාරය ගැන හෙබ්‍රෙව් 11 පරිච්ඡේදයේ සඳහන්ව ඇත.

දීමනාවක් ගෙන ඒමේදී වැදගත් වන්නේ ආකල්පයයි.

අප ගෙන ආ යුත්තේ ප්‍රීතියෙන් හා කැමැත්තෙන්ය.

යූදස්ට තිබුණේ නපුරු හදවතක්ය.

1 ලේකම් 29:7
දෙවියන්වහන්සේගේ ගෘහයේ මෙහෙයට රන් තලෙන්ත පන්දහසක් සහ දරික් මිල දස දහසකුත් රිදී තලෙන්ත දසදහසකුත් පිත්තල තලෙන්ත දහඅට දහසකුත් යකඩ තලෙන්ත ලක්ෂයකුත් දුන්නෝය.

ඒ මනුෂ්‍යයන් විනාශවී යන මාළිඟාවකට වුවත් නොපැකිලව, දේව මාළිඟාව සෑදීමට තම ධනය දෙන ලදි.

නමුත් අප සාදන්නේ සාදාකාලීන මාළිඟාවකි. කිසිදා පහානොවන්නාවු මාළිඟාවකි.

යේසුස්වහන්සේගේ ශරීරය නැමැති මාළිඟාව තුළ උන්වහන්සේගේ මළවුන්ගෙන් නැඟිටීමෙන් පසු සදාකාලයෙන් සදාකාලයට ජීවත්වීමට ස්වර්ගීක උරුමයක් අපහට ලැබුණි.

1 ලේකම් 29:9
සෙනඟ එසේ කැමැත්තෙන්ම ඔප්පු කළ බැවින් ඔව්හු ප්‍රීතිවුණෝය, මක්නිසාද ඔව්හු අවංක සිතකින් ස්වාමීන්වහන්සේට පූජාකළෝය. දාවිත් රජද මහත් ප්‍රීතියකින් ප්‍රීතිවුණේය.

මේ අය ප්‍රීතියෙන් හා කැමැත්තෙන් දෙවියන්වහන්සේ වෙතට දීමනා ගෙනාවෝය.

අපගේ සිත හා ක්‍රියාවන් නිතරම අවංක විය යුතුයි.

දෙවියන්වහන්සේ අපගේ සිතේ ආකල්ප දකිනාසේක. එය ශුද්ධවිය යුතුය.

අපගේ ජීවිතයේ සියලු ක්‍රියා ගැන දෙවියන්වහන්සේට ගණන් දිය යුතුවේ.

1 ලේකම් 29:17
මාගේ දෙවියන්වහන්ස, ඔබ සිත සෝදිසිකරන බවත් අවංකකමට ප්‍රසන්න බවත් දනිමි. මම වනාහි මාගේ සිතේ අවංකකමින් මේ සියල්ල කැමැත්තෙන්ම ඔප්පු කෙළෙමි. දැන් මෙහි සිටින ඔබගේ සෙනඟද සතුටු සිතින් ඔබට පූජාකරන බව ප්‍රීතියෙන් දුටිමි.

දෙවියන්වහන්සේ අපගේ සිත සෝදිසිකරමින් ප්‍රසන්න වන්නේ අපගේ සිතේ අවංකකමටයි. සියල්ල කැමැත්තෙන්ම ඔප්පු කරන්න.

2 සාමුවෙල් 24:21-24
මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් තමාගේ මෙහෙකරුවා ළඟට ආවේ කුමක් පිණිසදැයි ඇසුවේය. වසංගතය සෙනඟගෙන් පහවෙන පිණිස ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගීමට පාවර නුඹෙන් මිලේට ගැනීමටයයි දාවිත් කීවේය. අරව්නාද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ තමන්ට හොඳව පෙනෙන දෙයක් රැගෙන පූජාකෙරෙත්වා. මෙන්න, දවන පූජාවට ගවයෝ සිටිති, දර පිණිස මඩින යන්ත්‍රද ගවයන්ගේ වියගස්ද තිබේ. රජ්ජුරුවෙනි, අරව්නා මේ සියල්ල රජ්ජුරුවන්ට දෙන්නේයයි දාවිත්ට කීවේය. තවද අරව්නා කථාකොට: ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ පිළිගන්නාසේක්වයි රජුට කීවේය. රජද: එසේ නොව මිල ගණනකට එය නුඹෙන් ගනිමි. මට වියදමක් නැතුව මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට දවන පූජා ඔප්පු නොකරමියි අරව්නාට කීවේය. එසේ දාවිත් පාවරද ගවයන්ද රිදී ෂෙකෙල් පනසකට ගත්තේය.

දාවිත් කල අඥාන ක්‍රියාවක් හේතුවෙන් රටේ සියල්ලන්ටම වසංගතයකින් පීඩා විඳින්නට සිදුවිය. එයින් මිදීමට දාවිත් හට යම් පුජාවක් කිරීමට සිදුවුණි. ඔහු පූජාවට අවශ්‍යය දේ ගැනීමට ගිය කල්හී එහි අයිතිකරු ඔහුට ඒ සියල්ල නොමිලේ දීමට ඉදිරිපත්වුණි.

නමුත් දාවිත් පැවසුවේ මාගේ වියදමකින් තොරව මා දෙවියන්වහන්සේට කිසිවක් නොදෙන්නෙමි කියාය.

අප දෙවියන්වහන්සේට දෙන්නාවූ දේ වටිනාකමකින් යුක්තව සතුටින් දීම ආශීර්වාදයයි.

ලෙවී කතාව 27:30
භූමියේ මුළු අස්වැන්නෙන් එනම් භූමියේ ධාන්‍යයෙන්ද ගස්වල ඵලයෙන්ද සියල්ලෙන් දසයෙන් කොටසක් ස්වාමීන්වහන්සේට අයිතිය. එය ස්වාමීන්වහන්සේට ශුද්ධය.

අපගේ දසයෙන් කොටස් දෙවියන්වහන්සේට අයිතියි, එය ශුද්ධයි.
අප දෙවියන්වහන්සේගේ කොටස දුන් පසු ඉතිරිය අප පාවිච්චි කල යුත්තේ ශුද්ධ දේවලටය.

ද්වීතීය කථාව 26:14
මාගේ දුකේදී එයින් කෑවේවත්, අපවිත්‍රකමේදී එයින් අහක්කළේවත්, මළ කෙනෙකු උදෙසා එයින් දුන්නේවත් නැත. මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කන්දී, ඔබ මට අණකළ සියල්ල ලෙස කෙළෙමි.

ද්වීතීය කථාව 26:15
ඔබගේ ශුද්ධ වාසස්ථානය වන ස්වර්ගයේ සිට බලා, ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ටද ඔබ අපේ පියවරුන්ට දිවුළ ලෙස අපට දුන්නාවූ කිරි හා මීපැණි ගලා යන දේශයක්ව තිබෙන භූමියටද ආශීර්වාදකළ මැනවයි කියන්න.

අපගේ දීමනා, දසයෙන් කොටස, පූජාවන්, ප‍්‍රථම ඵල අප ස්වාමීන්වහන්සේට දීමේදී අපගේ සිතේ ආකල්පය ඉතා වැදගත් වේ.

දෙවියන්වහන්සේ ඔබට යමක් දෙන්නයැයි කිවහොත් කිසිදාක එය දෙවරක් නොසිතා මුළු සිතින් එය කළ යුතුය.

අයුතු සිතින් එය නොකර ස්වර්ගීක ආශීර්වාදය ලබා ගන්නා පිණිස දෙන්න.


Watch the Sermon Video

Read 388 times