+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සියලු නාමවලට වඩා උසස්ම නාමය යේසුස්- යෝෂා මනූ
November 20, 2022 Sunday Sermon Notes


යේසුස්වහන්සේගේ නාමය බලවන්තයි. ඒ නාමයෙන් අපට ජීවනය ගෙන දුන්සේක. සියලුම දේ අප ලබා ඇත්තේ යේසුස් යන නාමය නිසයි.

පරණ ගිවිසුම තුළ කිසිවෙක් මෙම නාමය දැන සිටියේ නැත.
මේ පොළොවට අත්තිවාරම් දැමීමටත් පෙර දෙවියන්වහන්සේ තම පුත‍්‍රයාට එම නාමය තබන ලදි. නමුත් එහි එළිදරව්ව ලැබුණේ නව ගිවිසුම තුළිණි.

යේසුස්වහන්සේට දී තිබෙන්නේ උත්කෘෂ්ඨ නාමයයි.

හෙබ්‍රෙව් 1:3 අනුව සියලු නාමවලට වඩා උසස්ම නාමය යේසුස්වහන්සේ ලැබුවේ මනුෂ්‍යයාගේ පව් ගැන පවිත්‍රවීමක් කළායින් පසුවය.

යේසුස්වහන්සේ මුළු මිනිස් සංහතියම වෙනුවෙන් පූජාවක්වී ලේ වගුරුවන ලද්දේය. ඒ ලේ වලින් අපට කමාව ලැබී ඇත.

ඒ නාමය තුළින් අපට සමාදානය ලැබුණි.

යේසුස් යන නාමය පැවසීමෙන් අපට දේව අභිමුඛයට ළඟා විය හැකිය.

ඕනෑම කෙනෙක් යේසුස් යන නාමය කියා හඬගැසුවහොත් ඔහුට දෙවියන්වහන්සේ එළිදරව් කරනු ඇත.

හෙබ්‍රෙව් 10:19‭-‬20
එබැවින්, සහෝදරවරුනි, යේසුස්වහන්සේ ස්වකීය මාංසය නමැති තිරය මැදින් අප උදෙසා කැපකළාවූ මාර්ගය වන අලුත්වූ ජීවමාන මාර්ගයකින්, උන්වහන්සේගේ ලේ කරණකොටගෙන ශුද්ධස්ථානයට ඇතුල්වීමට අපට නිදහස්කම තිබෙන බැවින්ද,

ඒ නාමය තුළින් අලුත්වූ ජීවමානවූ මාර්ගයක් දෙවියන්වහන්සේ විවෘත කරන ලදි.
පරණ ගිවිසුමේ අය මෙය දැන සිටියේ නැත.

තමන් සත්‍යයද, ජීවනයද මාර්ගයද බව යේසුස්වහන්සේ පැවසුවේ එහෙයිනි. (යොහන් 14:6)

යේසුස්වහන්සේ හැර දෙවිපියාණන් වෙතට පැමිණීමේ වෙන මාර්ගයක් නොමැත.

අප අන් මනුෂ්‍යයන් හට පැවසිය යුතු සුභාරංචි පණිවිඩය නම් සත්‍යයද ජීවනයද මාර්ගයද යේසුස්වහන්සේ බවයි.

තම ආත්මය, ප‍්‍රාණය ශරීරය පූජා කරමින් යේසුස්වහන්සේ මෙම මාර්ගය පිළියෙල කරන ලදි.

ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන උපත ලැබූ යේසුස්වහන්සේ සමඟ වසර තිස්තුනහමාරක කාලයක් වන තුරු ශුද්ධාත්මයාණනවහන්සේ තමා තුළම සිටින ලදි. නමුත් කුරුසියේදී ශුද්ධාත්මයාණන් ඉවත්වූ කල, ආදම් පව් කිරීමෙන් පසු ඔහුට දැනුණු තනිකම යේසුස්වහන්සේටද දැනුනි.

උන්වහන්සේ කුරුසියේදී මාගේ දෙවියනි, මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මන්දැයි ඇසුවේ ඒ නිසාය. (මතෙව් 27:46)

ඒ තනිකම යේසුස්වහන්සේ අප වෙනුවෙන් දරා ගන්නා ලදි.
තමන්ගේ ශරීරය තලන්ට, පොඩිකරන්නට, වෙිදනා විඳින්නට ඉඩ දී යේසුස්වහන්සේ අප වෙනුවෙන් අලුත්වූ ජීවනවූ මාර්ගයක් සාදන ලදි.

යේසුස්වහන්සේගේ ලේ කරණකොටගෙන අති ශුද්ධවූ ස්ථානයට ඇතුල්ව නිදහසේ නමස්කාර කිරීමට උන්වහන්සේ අපට මාර්ගයක් පිළියෙල කරන ලදි.

පරණ ගිවිසුම තුළ කිසිවෙකු හට අබ්බා පියාණනි කියා දෙවියන්වහන්සේට ඇමතීමට නොහැකිවුණි.

ඔවුන් නිතරම දෙවියන්වහන්සේට භයින් සේවය කරන ලදි.

යහපත අයහපත දෙකම පැමිණෙන්නේ දෙවියන්වහන්සගෙන් යැයි ඔවුන් සිතුවෝය. මනුෂ්‍යයන්ට නපුරු දේවල් කරමින් පහරදෙන්නේ යක්ෂයා බව ඔවුන්ට එළිදරව්වක් තිබුණේ නැත.

යෝබ් පවා සිතුවේ එලෙසිනි. (යෝබ් 2:21)

යේසුස්වහන්සේ තම ජීවිතය පුජාකරමින් සෑදුවාවූ අලුත්වූ ජීවමානවූ මාර්ගය තුළින් දැන් අපට එම එළිදරව්ව ලැබී ඇත.

1 පේතෘස් 1:19 අනුව අපව මුදනු ලැබුවේ රන් රිදී වැනිවූ දිරායන දේවල් කරණකොටගෙන නොව, කැලලක්වත් පලුද්දක්වත් නැති බැටළු පැටවෙකුගේ ලේ වැනිවූ කිස්තුස්වහන්සේගේ අනර්ඝ ලෙය කරණකොටගෙනය.

එළිදරව් 19:13
තවද උන්වහන්සේ ලේ ඉසිනු ලැබූ වස්ත්‍රයක් පැළඳ සිටිසේක. උන්වන්සේගේ නාමය දෙවියන්වහන්සේගේ වාක්‍යයාණෝයයි කියනු ලැබේ.

වචනය, වාක්‍යයාණෝ යනු යේසුස්වහන්සේය. (යොහන් 1:1, 2, 14)

වචනයට අප ප්‍රේම කළ යුතුය. අප වචනය සමඟ කාලය ගත කරන විට යේසුස්වහන්සේ අපට එළිදරව් කරනසේක.

ගීතාවලිය 138:2
මක්නිසාද උන්වහන්සේගේ වචනයත් උන්වහන්සේගේ නාමයේ කීර්තියත් අන් සියල්ලටම වඩා උතුම් කර ඇත!

යේසුස්වහන්සේ තමාගේ ආත්මය ප්‍රාණය සහ ශරීරය පූජා කළ සේක.

1 කොරින්ති 6:17
නුමුත් ස්වාමීන්වහන්සේට එක්වූ තැනැත්තේ එක ආත්මයය.

ස්වාමීන්වහන්සේත් සමඟ එක ආත්මයක් කරනු ලැබුවේ
යේසුස්වහන්සේ විසින් සෑදූ ගිවිසුම තුළිනි.

යේසුස්වහන්සේ පරණ ගිවිසුමේ තිබූ යාග පූජා අහෝසි කර, උන්වහන්සේගේ ලේ පුජා කරමින් නව ගිවිසුමක් තුළින් දෙවියන්වහන්සේ හා සමඟ සමාදානය පිහිටුවනු ලැබුවේය.

හෙබ්‍රෙව් 13:20
ඉතින් සදාකාල ගිවිසුමේ ලේ කරණකොටගෙන බැටළුවන්ගේ මහත් එඬේරා වන අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේව මළවුන් කෙරෙන් නැවත ගෙනාවාවූ සමාදානයේ දෙවියන්වහන්සේ,

අප යේසුස්වහන්සේව මුලින්ම පිළිගත්විට අපගේ හදවතට පුදුම සමාදානයක් දැනෙන්නේය.

හෙබ්‍රෙව් 10:12
නුමුත් මුන්වහන්සේ සෑම කලටම පව් නිසා එක පූජාවක් ඔප්පුකොට, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්සේක.

යේසුස්වහන්සේ තම ජීවිත පුජාව කරනු ලැබුයේ සෑම පරම්පරාවක් උදෙසාය. මතු උපදින අයත් එයට අයිතිය.

හෙබ්‍රෙව් 9:26‭-‬28
එසේ ඇතුල්වෙන්ට නම් උන්වහන්සේ ලෝකයේ මැවීමේ පටන් නොයෙක්වර වධවිඳින්ට ඕනෑව තිබුණේය. නුමුත් තමන්ම පූජාකිරීම කරණකොටගෙන පාපය පහකරන පිණිස උන්වහන්සේ කාලයන්ගේ කෙළවරදී එක වරක් ප්‍රකාශවූසේක. තවද එක වරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිබෙන්නාක්මෙන්ම, බොහෝ දෙනෙකුගේ පව් උසුලන පිණිස එක වරක් පූජාවූ ක්‍රිස්තුස්වහන්සෙත්, උන්වහන්සේගේ ඊම බලාසිටින්නන්ට ගැළවීම පිණිස පාපය නැතුව දෙවෙනි වර ප්‍රකාශවනසේක.

අනුග‍්‍රහයේ කාලය තුළ, අපට පාපයට කමාව ලබා දෙවියන්වහන්සේ තුළ ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කළ හැකිවේ.

1කොරින්ති 6:19-20
අපගේ ශරීරය ස්වාමීන්වහන්සේගේ දේව මාළිගාවයි.

අපට සදාකාල මිදීම ගෙන දුන්නේ යේසුස්වහන්සේය.

අපට දිව්‍යමය ස්වභාවය ලබා දුන්නේ යේසුස්වහන්සේය. 2 පේත්‍රැස් 1:4

2 වැනි කාරණාව

පිලිප්පි 2:8-11
දෙවියන්වහන්සේ යේසුස්වහන්සේට සියලු නාමවලට වඩා උසස්ම නාමය ලෙස දුන්සේක.

පිලිප්පි 2:8 මනුෂ්‍යාකාරයෙන් සිටිය කලත්, මරණය, එසේය, කුරුසියේ මරණය දක්වා කීකරුවූසේක.

අද අප මෙම ජීවනය භුක්ති විඳිනුයේ යේසුස්වහන්සේගේ කීකරුකම නිසාය.

පිලිප්පි 2:9 එබැවින් දෙවියන්වහන්සේ උන්වහන්සේව ඉතා උසස්කොට, සියලු නාමවලට වඩා උසස් නාමය උන්වහන්සේට දුන්සේක.

එම මහත් පූජාව නිසා දෙවියන්වහන්සේ යේසුස්වහන්සේට ඉතාම උතුම්වූ නාමය දෙන ලද්දේය.

පිලිප්පි 2:10 එසේ කළේ, ස්වර්ගයෙහිද පොළොවෙහිද පොළොව යටද සියල්ලන් යේසුස් යන නාමයෙන් දණනමන පිණිසත්,

දණ නමනවා යන්නෙන් අදහස් වන්නේ යේසුස්වහන්සේව අපගේ ගැළවුම්කරු ලෙස පිළිගැනීමය.

පිලිප්පි 2:11 යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ස්වාමීන්වහන්සේ බව පියවූ දෙවියන්වහන්සේගේ ගෞරවය සඳහා සියලු දිව්වලින් ඒත්තුගන්න පිණිසත්ය.

3 වැනි කාරණාව
යේසුස්වහන්සේ ජයග්‍රාහී ලෙස යක්ෂයාව පරාජය කිරීමෙන්
දිනුම් ලබමින් පාපයෙන්, ලෙඩ රෝගයෙන්, දිළිඳුකමෙන්, ශාපයෙන්, මරණයෙන්, සොහොනින්, නිරයෙන්, හා යක්ෂයාගෙන් ජයගත්සේක.

සෑම රෝගයක් වෙනුවෙන්ම යේසුස්වහන්සේ කස පහරවල් දරාගත්සේක. එහෙයින් සෑම රෝගයක් යේසුස්වහන්සේ ඉදිරියේ දණ නැමිය යුතුය.

එපීස 1:20‭-‬23
උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ තුළ ඉෂ්ටකළාවූ ස්වකීය පරාක්‍රමයේ ශක්තිමත්කමේ ඒ ක්‍රියාකිරීමේ ප්‍රකාරයට ක්‍රිස්තුස්වහන්සේව මළවුන්ගෙන් නැගුටුවා, 21 සියලු අධිපතිකමටත් බලයටත් පරාක්‍රමයටත් ස්වාමිකමටත් මේ ලෝකයෙහි පමණක් නොව පරලෝකයෙහිත් සඳහන්කරනලද සියලු නම්වලටත් වඩා උසස්කොට ස්වර්ගීය ස්ථානවල තමන් දකුණු පැත්තෙහි හිඳුවා, 22 සියලු දේවල් උන්වහන්සේගේ පාදවලට යටත්කොට, සභාව උදෙසා සියල්ලට ප්‍රධානියා වෙන්ට උන්වහන්සේ නියම කළසේක. 23 ඒ සභාව නම්, සියල්ලන් තුළ සියල්ල සම්පූර්ණකරන තැනන්වහන්සේගේ පූර්ණකම වන උන්වහන්සේගේ ශරීරයය.

දැන් යේසුස්වහන්සේ සිටිනුයේ දෙවියන්වහන්සේගේ දකුණත පැත්තෙහි හිඳගෙනය.
අප සිටින්නේ ක‍්‍රිස්තුස්වහන්සේ තුළය. (එපීස 2:6)

යේසුස්වහන්සේ අපව එසෙව්වේ අප ගැළවීම ලැබූ දිනයේය.

යේසුස්වහන්සේ හිසව සිටියි. අප උන්වහන්සේගේ ශරීරයයි. එම නිසා යක්ෂයා සිටින්නට අවශ්‍ය වන්නේ ඔබගේ පාද යටය. යක්ෂයාට ඔබේ හිස මත හෝ ශරීරය තුළ සිටින්නට ඔබ ඉඩ නොදිය යුතුය.

යේසුස්වහන්සේ හිසව අප ශරීරයව සිටින හෙයින් මුළු ශරීරයටම ඇත්තේ එකම නාමයයි. ඒ නාමය නම් ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේය.
ගෝලයන්ට මෙම එළිදරව්ව ලැබුණේ ඔවුන් ශුද්ධාත්ම බවිතිස්මය ලැබුවාට පසුවය.

ගීතාවලිය 8:1‭-‬2
අපගේ ස්වාමිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ නාමය පෘථිවිය මුළුල්ලෙහි කොපමණ උතුම්ද! ඔබ ස්වකීය මහිමය අහස්තල මත්තෙහි තැබූසේක. 2 සතුරාද පළිගන්නාද නිශ්ශබ්දකරන පිණිස, ඔබගේ එදිරිකාරයන් නිසා, ඔබ බාලයන්ගේද කිරිබොන බිළිඳුන්ගේද මුඛයෙන් බලය පිහිටෙවුසේක.

යේසුස්වහන්සේගේ නාමයේ බලය තිබෙණුයේ ඔබගේ මුඛයේ ප‍්‍රකාශ තුළින් හා ප‍්‍රශංසාවෙනි.
කුඩා දරුවෙකුට වූවත් යේසුස්වහන්සේගේ නාමයේ ආධිපත්‍යය ප‍්‍රකාශ කළ හැකිය.

මතෙව් 21:16
මොවුන් කියන දේ ඔබට ඇසෙනවාදැයි උන්වහන්සේට කීවෝය. යේසුස්වහන්සේද: එසේය, බාලයන්ගේද කිරි බොන දරුවන්ගේද මුඛයෙන් ඔබ ප්‍රශංසාව සම්පූර්ණකර තිබේය යන්න නුඹලා කිසිකලක කියෙවුවේ නැද්දැයි ඔවුන්ට කීසේක.

යේසුස්වහන්සේගෙන් සුවය ලැබූ කුෂ්ඨ රෝගීන් දස දෙනාගෙන් ස්තූති දීමට පැමිණියේ එක් අයෙකු පමණි. එසේම ඔහු අන්‍ය ජාතිකයෙකු වූයේය. (ලූක් 17:18-19)

යේසුස්වහන්සේගේ නාමයෙන් ඔබ ඉල්ලුවාට පසු එය ලැබුණේ යැයි අදහා ස්තුති කළ යුතුය. එසේ ස්තූති දීමෙන් අප දෙවියන්වහන්සේගේ බලය විදහා පෙන්නුම් කරයි.

ගීතාවලිය 8:9
අපගේ ස්වාමිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ නාමය මුළු පොළොවෙහි කොපමණ උතුම්ද!

ගීතාවලිය 148:13
මොව්හු ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසාකෙරෙත්වා; මක්නිසාද උන්වහන්සේගේ නාමය පමණක් උසස්ය. උන්වහන්සේගේ මහිමය ස්වර්ගය හා පොළොව මත්තෙහි පවත්නේය.

ගීතාවලියේ කර්තෘ යොහාන් 14:6 දැන නොසිටියත්, ඒ නාමය පමණක් උසස් බැව්ද ඒ නාමයෙන් පමණයක් ගැළවීමද නිදහසද තිබෙන්නේය කියා එළිදරව්වක් ඔහුට තිබුණි


Watch the Sermon Video

Read 251 times