+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South
දෙවියන්වහන්සේ මළවුන්ගේ නොව ජීවතුන්ගේ දෙවියන්වහන්සේය - යෝෂා මනූ
March 16, 2025 Sunday Sermon Notes
දෙවියන්වහන්සේ අපව ධර්මිෂ්ඨකර උන්වහන්සේගේ දිව්‍යමය ස්වභාවය අප තුළ ඇතුල්කර ඇත. දෙවියන්වහන්සේගේ යහපත් දේ නොදැන සිටි අප, දැන් උන්වහන්සේගේ යහපත දැනගැනීම මහත්වූ දෙයකි.
ඔබ “ධර්මිෂ්ඨයි” කියා කීමට භයවිය යුතු නැත. මන්ද එය ඔබගේ නව ස්වභාවයයි.
පරණ ගිවිසුමේ අය ඒ අයගේ ක‍්‍රියා වලින් ධර්මිෂ්ඨව සිටියත් අප ධර්මිෂ්ඨ වන්නේ යේසුස්වහන්සේගේ ස්වභාවය තුළින්ය.
යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ අප වෙනුවෙන් පාපය වී අපව ධර්මිෂ්ඨ කළ සේක. (2කොරින්ති 5:21)
අප නව මැවිල්ලක් වූ විට පරණ සියල්ල අපගේ ජීවිතයෙන් පහකර දමා. සියල්ල දැන් අලුත්වී ඇත. (2 කොරින්ති 5:17)
අපට නව ස්වභාවයක් ලැබී ඇත. එම නව ස්වභාවය තුළ අප ධර්මිෂ්ඨය. ධර්මිෂ්ඨකමේ ස්වභාවය අප තුළ පවතින නිසා ධර්මිෂ්ඨකමේ ක‍්‍රියාවන් අප තුළින් සිදුවිය යුතුය. ධර්මිෂ්ඨකමේ ඵල අපගෙන් නිපදවිය යුතුය.
හිතෝපදේශ 21:21
[21] ධර්මිෂ්ඨකමද කරුණාවද අනුව යන්නාට ජීවිතයද ධර්මිෂ්ඨකමද ගෞරවයද ලැබේ.
ධර්මිෂ්ඨකමේ ජීවත්වීමට දෙවියන්වහන්සේ අපට නව ජීවිතයක් දී ඇත. අප මේ පොළොවේ ජීවත්වන්නේ යම් අරමුණක් ඇතිවය. දෙවියන්වහන්සේ අපට දී ඇති කාර්යය දේව කැමැත්ත කිරීමටය. ඒ උදෙසා දෙවියන්වහන්සේ අපට උන්වහන්සේගේ දිව්‍යමය ස්වභාවය හා ගෞරවය දී ඇත.
දෙවියන්වහන්සේ ගෝලයන්ට දුන් විශාලතම වගකීම නම් සුභාරංචිය පතල කරන ලෙසය.
යේසුස්වහන්සේගේ කුරුසපත්වීමේදී ගෝලයන් සිටියේ විසිර ගොස්ය. පේතෘස් පවා උන්වහන්සේව නාඳුනන බව පැවසීය. එයට හේතුව ඔවුන් භයවී සිටීමයි. නමුත් යේසුස්වහන්සේ ඔහුන්ට දොස් පැවරුවේ නැත. ඒ ගෝලයන්ටම උන්වහන්සේ සුභාරංචිය ප‍්‍රචාරය කිරීමේ වගකීම දෙනු ලැබුවේය.
ඔවුන් තමුන්ට දුන් වගකීම නිසියාකාරව ඉටු කළේය. එම කාර්යය කිරීමේදී සමහර ගෝලයන්ට තම ජීවිතය පවා පුද කිරීමට සිදුවූයේය
යේසුස්වහන්සේ ගෙවූ මිලය ගැන ගෝලයන් තේරුම් ගත්තේ උන්වහන්සේ මළවුන්ගෙන් නඟිටුණායින් පසුවය. පෙන්තකොස්ත දින ඔවුන් ශුද්ධාත්මය ලැබූ පසු ඔවුන්ගේ ජීවිත තුළ මහත් බලයක් ක‍්‍රියාත්මක වුණේය.
ශු. මතෙව් 28:16-17
[16] ගෝලයෝ එකොළොස්දෙනා යේසුස්වහන්සේ තමුන්ට නියමකළ ගලීලයේ කන්දට ගියෝය. [17] ඔව්හු උන්වහන්සේ දැක උන්වහන්සේට නමස්කාරකළෝය. නුමුත් සමහරෙක් සැකකළෝය.
අද දිනත් මෙවැනි ආකාර සැකකරන්නන් සිටිති. නමුත් යේසුස්වහන්සේ සියල්ලන්ටම දුන්නේ එක හා සමාන බලයයි.
ශු. මතෙව් 28:18-20
[18] යේසුස්වහන්සේ ඔවුන් ළඟට ඇවිත් කථාකොට: ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය මට දී තිබේ. [19] එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න, පියාණන්ගෙත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් නාමයට ඔවුන් බව්තීස්මකරන්න. [20] මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.
යේසුස්වහන්සේ පැවසුවේ සියලු ජාතීන් ගෝලයන් කරන ලෙසය.
ගෝලයන් යේසුස්වහන්සේගේ චරිත ගුණාංග, ක‍්‍රියා පටිපාටිය, උන්වහන්සේගේ වචන දැනගන්නට යනු අත.
ශු. මාර්ක් 16:9-11
[9] උන්වහන්සේ සතියේ පළමුවෙනිදා අලුයම් වේලේ නැගිටි කල පළමුකොට මග්දලායේ මරියාට පෙනුණුසේක. ඈ වනාහි උන්වහන්සේ විසින් යක්ෂයන් සත්දෙනෙකු දුරුකරනු ලැබූ තැනැත්තීය. [10] ඈ ගොස් උන්වහන්සේ සමඟ සිටි අය අඬමින් වැලපෙමින් සිටිද්දී ඔවුන්ට දැන්නුවාය. [11] උන්වහන්සේ ජීවත්ව සිටින බවද ඈ විසින් දක්නාලද බවද ඇසූ විට ඔව්හු අවිශ්වාසකළෝය.
මරියා යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැඟිටි බව පවසන්නට යන විට ගෝලයන් සිටියේ අඬමින් වැළපෙමින්ය. එහෙත් සුභාරංචිය ඇසුවත් ඔවුන් තුළ අවිශ්වාසය තිබුණි.
ශු. මාර්ක් 16:12-13
[12] ඉන්පසු ඔවුන්ගෙන් දෙදෙනෙක් පිටිසරට යන කල උන්වහන්සේ අන්‍යාකාරයකින් ඔවුන්ට ප්‍රකාශවූසේක. [13] ඔව්හු ගොස් අනික් අයට දැන්නුවෝය. ඔව්හු ඔවුන්වත් විශ්වාස නොකළෝය.
නැවත උන්වහන්සේ ප‍්‍රකාශවූවත් ඔවුන් විශ්වාස කළේ නැත.
ශු. මාර්ක් 16:14
[14] පසුව උන්වහන්සේ එකොළොස්දෙන කෑමට හාන්සිවී සිටියදී ඔවුන්ට පෙනී, නැගුටුණයින් පසු තමන්වහන්සේව දුටු අයව ඔවුන් විශ්වාස නොකළ නිසා, ඔවුන්ගේ විශ්වාසය නැතිකමටත් සිත් දැඩිකමටත් ඔවුන්ට දොස්තැබූසේක.
සුභාරංචි පොත් 4 තුළම යේසුස් වහන්සේ තමන් ආ කාර්යය ගැන පවසමින් උන්වහන්සේ තුන්වෙනි දින නැඟිටින බවද පැවසීය. නමුත් ඔවුන්ගේ සිත් දැඩිකමින් ඔවුන් සැකකරනලදි.
ශු. මාර්ක් 16:15-16
[15] උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා ලොව මුළුල්ලේ ගොස් සකල ජනතාවට ශුභාරංචිය ප්‍රකාශකරන්න. [16] අදහාගන්නාවූ බව්තීස්මය ලබන්නාවූ තැනැත්තේ ගළවනු ලබන්නේය; නුමුත් අදහා නොගන්නා තැනැත්තේ වරදට පත්කරනු ලබන්නේය.
ඔබ සුභාරංචිය පවසන විට එය අදහාගැනීම අසන්නාගේ වගකීමකි. ඔවුන් එය පිළිනොගැනීම ගැන ඔබ වධ නොවන්න. එහි ප‍්‍රතිඵලය අසන්නා සතුය.
ශු. මාර්ක් 16:17-18
[17] අදහන්නන්ට ඇත්තාවූ ලකුණු නම්: ඔව්හු මාගේ නාමයෙන් යක්ෂයන් දුරුකරන්නෝය; අන් භාෂාවලින් කථාකරන්නෝය; [18] සර්පයන් අල්ලාගන්නෝය, යම් මරණීය වස ජාතියක් බීවත් එයින් කිසිසේත් ඔවුන්ට අනතුරක් නොවන්නේය; ඔවුන් රෝගීන් පිට අත් තැබූ කල්හි, ඔව්හු සුවය ලබන්නෝයයි කීසේක.
අපගේ ජීවිතය ගැන භය නොවී සිටිමු. මන්ද දෙවියන්වහන්සේ අපගේ ආරක්ෂකයාණෝය.
ශු. මාර්ක් 16:19-20
[19] මෙසේ ස්වාමිවූ යේසුස්වහන්සේ ඔවුන්ට කථාකළ පසු, ස්වර්ගයට ඔසවාගනු ලැබ, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තෙහි වාඩිවූසේක. [20] ඔව්හු පිටත්ව ගොස්, සියලු තැන්වලම දේශනා කළෝය. ස්වාමීන්වහන්සේද ඔවුන් සමඟ ක්‍රියාකරමින් ඔවුන් අතින් සිදුවූ ලකුණුවලින් වචනය ස්ථිරකළසේක. ආමෙන්.
දෙවියන්වහන්සේ උන්වහන්සේගේ හැම වචනයක්ම ලකුණු වලින් සනාථ කර ඇත.
අප යේසුස්වහන්සේ උදෙසා කරන්නාවු කිසිදු සේවයක් දෙවියන්වහන්සේ අහක දමන්නේ නැත. අප කරන්නාවු සේවයක් ඇද්ද දෙවියන්වහන්සේ එයට පොහොසත්ව හා බහුලත්වයෙන් විපාක දෙනු ඇත. (හෙබ්‍රෙව් 6:10)
යේසුස්වහන්සේගේ වචනය ඒ සමයෙහි සිටි බොහෝ නායකයන් විශ්වාස කළේ නැත. නමුත් යේසුස්වහන්සේ ඔවුන්ට එය ලියවිලි වලින් පෙන්වා දෙන ලදි.
ශු. ලූක් 20:37-38 [37] නුමුත් මළවුන් නැගුටුවනු ලබන බව මෝසෙස් පාවා පඳුර සම්බන්ධ කාණ්ඩයෙහි: ස්වාමීන්වහන්සේ ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය, ඊසාක්ගේ දෙවියන්වහන්සේය, යාකොබ්ගේ දෙවියන්වහන්සේයයි කීමෙන් පෙන්වාදී තිබේ. [38] උන්වහන්සේ මළවුන්ගේ නොව ජීවතුන්ගේ දෙවියන්වහන්සේය. මක්නිසාද සියල්ලෝම උන්වහන්සේ උදෙසා ජීවත්ව සිටිතියි කීසේක.
ඇවිලෙන ගිණි පදුර තුළින් එදා මෝසෙස්ට ප‍්‍රකාශවුණේ යේසුස්වහන්සේය.
උන්වහන්සේ ජීවතුන්ගේ දෙවියන්වහන්සේය.
ශු. මතෙව් 22:31-32
[31] නුමුත් මළවුන්ගේ නැගිටීම සම්බන්ධව නම්: මම ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය, ඊසාක්ගේ දෙවියන්වහන්සේය, යාකොබ්ගේ දෙවියන්වහන්සේයයි දෙවියන්වහන්සේ නුඹලාට කී බව නුඹලා කියෙවුවේ නැද්ද? [32] දෙවියන්වහන්සේ මළවුන්ගේ නොව ජීවතුන්ගේ දෙවියන්වහන්සේයයි කීසේක.
යේසුස්වහන්සේ පැවසුවේ උන්වහන්සේ ආබ‍්‍රහම්ගේද, ඊසාක්ගේද, යාකොබ්ගේද දෙවියන්වහන්සේ බවයි.
ශු. මාර්ක් 12:26-27
[26] තවද මළවුන් නැගිටින බව ගැන නම්, දෙවියන්වහන්සේ කථාකොට: මම ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය, ඊසාක්ගේ දෙවියන්වහන්සේය, යාකොබ්ගේ දෙවියන්වහන්සේයයි මෝසෙස්ට කී බව ඔහුගේ පොතේ පඳුර ගැන සඳහන්වූ තැන නුඹලා කියෙවුවේ නැද්ද? [27] උන්වහන්සේ මළවුන්ගේ නොව ජීවත්වන්නන්ගේ දෙවියන්වහන්සේය. නුඹලා බොහෝසේ වරද්දාගන්නහුයයි කීසේක.
අප දෙවියන්වහන්සේ අවිශ්වාස නොකර උන්වහන්සේගේ සැපයීම ගැන විශ්වාස කරමු. දෙවියන්වහන්සේ සැමදා ජීවමානය.
අපගේ ජීවිතයට ආශීර්වාදයක් වන්නේ දෙවියන්වහන්සේගේ වචනයයි. දෙවියන්වහන්සේ අපව කවදාවත් අත්නාරියි. අප උන්වහන්සේ ඉදිරියේ ශක්තිමත්ව සිටිමු.
Watch the Sermon Video