+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South
ඔබගේ ගැළවීම සහතික කරගන්න- මනූ මැතානි
March 30, 2025 Sunday Sermon Notes
ඔබ යේසුස් යන නාමය අදහන්නෙක් නම් ඔබ ආශීර්වාදලද්දෙක්ය. දෙවියන්වහන්සේ කව්දැයි කියා ඔබ දැනගැනීමට කැමති නම් දෙවියන්වහන්සේගේ වචනය තුළින් උන්වහන්සේ කව්දැයි දැනගත හැකිය. වචනය මෙනෙහි කිරීමෙන් ඔබ කිසිදා කලකිරීමට පත්වන්නේ නැත.
දේශකයන් මත යැපීමට නොයන්න. දේව වචනය තුළින් ඔබ වෙසෙන්න. එය ඔබව වෙනස් කරයි, නිදහස් කරයි, ඔබව සනසයි. ඔබට ප‍්‍රේමය පෙන්වයි, ඔබව ජීවත් කරවයි. වචනය ඔබ තුළ හාස්කමක් ඇති කරයි. ඔබගේ ආශා ඉටු කරයි.
කිතුනුවෙක් නම් ඔබ වචනය මෙනෙහි කළ යුතුය. වචනය කොපමණ කියෙව්වත් මදිය. එය කියවීමට පිපාසයක් ඇති කර ගත යුතුය.
ශු. යොහන් 1:1-2
[1] පටන්ගැන්මෙහිදී වාක්‍යයාණෝ සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන්වහන්සේ හා සමඟ සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන්වහන්සේව සිටිසේක. [2] උන්වහන්සේ පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ සමඟ සිටිසේක.
දෙවියන්වහන්සේත් වචනයත් වෙන් කිරීමට නොහැකි ලෙසින් බැඳී ඇත. දේශකයෙක්ට දෙවියන්වහන්සේ තුළ තමන්ට ඇති කැඳවීම තුළින් අන්‍යන්ට යමක් කියා දෙන්නට පුළුවන. නමුත් තමන් වර්ධනයවීම ඇදහිලිවන්තයා සතු වගකීමකි.
දේශකයෙක් මත යැපීම හොඳ දෙයක් නොව, දෙවියන්වහන්සේගේ වචනය දිවා රාත‍්‍රී මෙනෙහි කරමු. දේව වචනයට අපි ඇබ්බැහි වෙමු.
වචනය අපගේ සිතට සැනසීම ගෙන දේ, අපට උපකාර කරයි. මඟ පෙන්වයි, චරිතය වෙනස් කරයි. ඔබ දෙවියන්වහන්සේගේ වචනයෙන් පිරී සිටින මධ්‍යස්ථානයක් බවට පත්වන්න. ඔබ අසන්නාවු පුවත්වලින් ඇතිවන්නේ වියවුලක්ය. නමුත් දෙවියන්වහන්සේගේ වචනය අපට සමාදානය ගෙන දේ.
සුභාරංචි පොත් හතර තුළ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට දක්වන ප‍්‍රේමය මැනවින් පිලිබිඹුවේ. උන්වහන්සේ පව්කාරයන්ට, රෝගීන්ට, දුගියන්ට, වෛශ්‍යකම් කරන්නනට, අයුතු ලෙස ක‍්‍රියා කරන්නාවු අයට උන්වහන්සේ ප‍්‍රේම කළ සේක.
සාකෙවුස් රෝමානු අධිරාජ්‍යයට සේවය කළාවු යුදෙව්වරයෙකි. ඔහු රෝම අධිරාජ්‍යයට බදු අය කර දුන් නිසා යුදෙව්වරුන් ඔහුව එපා කරන ලදි. දිනක් යේසුස්වහන්සේ ගැන ආරංචිය ලැබූ ඔහු උන්වහන්සේව දකින්ට අවශ්‍යය විය.
ශු. ලූක් 19:1-3
[1] උන්වහන්සේ යෙරිකෝවට ඇතුල්ව ඒ මැදින් යද්දී, [2] සුංගම් අයකරන්නන්ගේ ප්‍රධානියෙක්වූ සාකෙවුස් නම්ලත් පොහොසත් මනුෂ්‍යයෙක්, [3] යේසුස්වහන්සේ කවුද කියා බලන්ට සෙවීය; නුමුත් ඔහු මිටි බැවින් සමූහයා නිසා නොහැකිවිය.
ඔහු මිටි නිසා යේසුස්වහන්සේව දකින්නට ඔහු අත්තික්කා ගසකට නගින ලදි.
ඔබ ඉන්නාවූ ස්ථානය, ඔබගේ සිතේ ආශාව මේ සියල්ල යේසුස්වහන්සේ දන්නා සේක. උන්වහන්සේගෙන් කිසිවක් සැඟවිය නොහැකිය. ඔබ අවංක දෙවියන්වහන්සේ සමඟ සිටින සේක්නම් උන්වහන්සේ ඔබට ප‍්‍රකාශවී නිතර ඔබ සමඟ සිටිනු ඇත. උන්වහන්සේ කිසිදා ඔබව අත් නොහරී, තනි නොකරයි. ඔබගේ ජීවිත කාලයටම උන්වහන්සේගේ ප‍්‍රේමය දැනෙනු ඇත.
ශු. ලූක් 19:4-6 [4] උන්වහන්සේ ඒ මාර්ගයේ යන්ට සිටි බැවින්, ඔහු පෙරටුව දුවගොස් උන්වහන්සේ දකින පිණිස අත්තික්කා ගහකට නැගුණේය. [5] යේසුස්වහන්සේ ඒ ස්ථානයට පැමිණ, උඩ බලා ඔහුට කථාකොට: සාකෙවුස්, වහාම බසින්න, මක්නිසාද අද නුඹේ ගෙදර මා නවතින්ට ඕනෑයයි ඔහුට කීසේක. [6] ඔහු වහාම බැස ඇවිත්, ප්‍රීතියෙන් උන්වහන්සේ පිළිගත්තේය.
යේසුස්වහන්සේ ගස ළඟට පැමිණ ඔවුට නමින්ම හඬ ගසා පැවසුවේ සාකෙවුස් වහාම බැස එන්න අද මා නුඹේ නිවසට එනවා කියාය. ඒ සැනකින් සාකෙවුස් බැස එන ලදි. ඔහු සම්පූර්ණයෙන්ම යේසුස්වහන්සේට කීකරුවූයේය. සාකෙවුස් ප‍්‍රීතියෙන් යේසුස්වහන්සේව තම නිවසට පිළිගන්නා ලදි. යේසුස්වහන්සේගේ ප‍්‍රේමය එදින සාකෙවුස් අත් දක්කේය. යේසුස්වහන්සේගේ දුටුවේ සාකෙවුස්ගේ සිතය.
ශු. ලූක් 19:7
[7] ඔවුන් ඒ දැක: උන්වහන්සේ පව්කාර මනුෂ්‍යයෙකු සමඟ නවාතැන් ගන්ට ගියසේකැයි කියමින් සියල්ලෝම කොඳුළෝය.
යේසුස්වහන්සේගේ මෙම ක‍්‍රියාව දුටු මනුෂ්‍යයන් උන්වහන්සේ පව්කාර මනුෂ්‍යයෙකු සමඟ ගිය නිසා ඒ ගැන කොඳුරන්නට විය. නමුත් යේසුස්වහන්සේට එය ප‍්‍රශ්නයක් නොවීය. උන්වහන්සේට අවශ්‍ය වූයේ ඒ මනුෂ්‍යයාගේ ගැළවීමයි.
ශු. ලූක් 19:8-10
[8] සාකෙවුස් නැගිට සිට: ස්වාමීනි, මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිළිඳුන්ට දෙමි; යමෙකුගෙන් අයුත්තේ යමක් ගෙන තිබේ නම්, ඔහුට සතරගුණයක් නැවත දෙමියි ස්වාමීන්වහන්සේට කීවේය. [9] යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: ගැළවීම අද මේ ගෙදරට පැමිණියේය, කුමක්හෙයින්ද මොහුත් ආබ්‍රහම්ගේ පුත්‍රයෙක්ය. [10] මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා නැතිවූ දේ සොයන්ටද ගළවාගන්ටද ආයේයයි කීසේක.
යේසුස්වහන්සේ පැවසුවේ, මනුෂ්‍ය පුත්‍රයා නැතිවූ දේ සොයන්ටත් ගළවාගන්ටත් පැමිණි බවයි. සාකෙවුස් තම වැරදි හරිගස්වා ගන්නා බව කීය. යේසුස්වහන්සේ පැවසුවේ අද නුඹ නිදහස් කියාය.
දෙවියන්වහන්සේ මේ පොළොවට පැමිණියේ මනුෂ්‍යයන් වෙනස් කරන්නටය. මනුෂ්‍යයන් සම්පූර්ණයෙන්ම පරිවර්ථනය කරන්නටය.
දෙවියන්වහන්සේගේ යහපත අද්දකින පිණිස උන්වහන්සේ ඔබ කැඳවා ඇත්තේ සම්පූර්ණ කෙනෙක් ලෙසය. සෑම දිනකම උන්වහන්සේ ඔබ සමඟ සිටිනු ඇත.
ඔබ යන සෑම තැන්හීම දෙවියන්වහන්සේගේ සුවය, අනුග‍්‍රහය, ප‍්‍රඥාව ඔබ සමඟ ගමන් කරනු ඇත.
අප මේ පොළොවේ ජීවත්ව සිටින්නේ මනුෂ්‍යයන්ට ආශීර්වාදයක් වන පිණිසය. පෞද්ගලිකව ඔබ දෙවියන්වහන්සේ තුළ ආශීර්වාද ලද්දෙක්ය. දිව්‍යමය ප‍්‍රේමය අපට කිසිදා මුදලට ගත නොහැක. යේසුස්වහන්සේ ප‍්‍රදර්ශනයක් නොවේය. උන්වහන්සේ පැමිණියේ උන්වහන්සේගේ ජීවිතය අප වෙනුවෙන් පූජා කර අපව ගළවා මුදවා ගැනීමටය.
යේසුස්වහන්සේ අපව නව මැවිල්ලක් කර දැන් උන්වහන්සේ අප තුළ වාසය කරයි. උන්වහන්සේට අවශ්‍ය අපගේ අවයව අපගේ දෑත්, අපගේ පාද, මනස, හදවත උන්වහන්සේ මෙන් වීමය. යමෙක් අප දුටු විට උන්වහන්සේ දුටුවාක් හා සමාන වීමටය. උන්වහන්සේ සිටි ආකාරයටම අපත් මේ ලෝකයේ සිටිය යුතුය.
1 යොහන් 4:17
[17] අප තුළ ප්‍රේමය සම්පූර්ණව තිබීම නම්, ඒ තැනන්වහන්සේ සිටින ආකාරයටම අපත් මේ ලෝකයෙහි සිටින බැවින්, විනිශ්චය දවස ගැන නිසැකකම ඇතුව සිටීමය.
දෙවියන්වහන්සේ අපට ස්වර්ගීය ජීවිතයක් මේ ලෝකයේ දී ඇත. සියලු ඇදහිල්වතුන්ට යක්ෂ ආත්ම දුරුකිරීමේ හැකියාව, පුළුවන්කම, බලය ඇත. අපට ඕනෑම වේලාවක ඇමතිය හැකි එකම නාමය යේසුස්වේ. උන්වහන්සේට කාල වේලාවක් නොමැත. උන්වහන්සේ ඕනෑම වේලාවක ඔබට ඇහුම්කන් දෙයි.
ශු. මාර්ක් 16:17
[17] අදහන්නන්ට ඇත්තාවූ ලකුණු නම්: ඔව්හු මාගේ නාමයෙන් යක්ෂයන් දුරුකරන්නෝය; අන් භාෂාවලින් කථාකරන්නෝය;
යක්ෂයන් දුරු කිරීමේ බලය ඇත්තේ අදහන්නාටය. යක්ෂයන් දුරුකර සතුටින් පැමිණි ගෝලයන්ට යේසුස්වහන්සේ පැවසුවේ..............
ශු. ලූක් 10:17-19
[17] ඉන්පසු සැත්තෑදෙනා ප්‍රීතියෙන් හැරී ඇවිත්: ස්වාමිනි, ඔබගේ නාමය නිසා යක්ෂයෝ පවා අපට යටත්වෙතියි කීවෝය. [18] උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: සාතන් විදුලිය මෙන් අහසෙන් වැටුණා දුටිමි. [19] බලව, සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්ටත් සතුරාගේ මුළු ශක්තිය මැඩපවත්වන්ටත් මා විසින් නුඹලාට බලය දී තිබේ. කොයි දෙයකින්වත් නුඹලාට අන්තරායක් නොවන්නේය.
සර්පයන්, ගෝනුස්සන් පාගන්නටද, සියලු සතුරන් මැඩපවත්වන්නටද යේසුස්වහන්සේ අපට බලය දී ඇත. අපට කිසිදු අන්තරායක් පැමිණෙන්නේ නැත.
යක්ෂයන්ට අපව පාලනය කිරීමේ හැකියාවක් නැත. අප යක්ෂයන්ගේ කථාවට සවන් දිය යුතු නැත. අපට තිබෙන්නේ යක්ෂයන්ව දුර කර දැමීමය. අප ප‍්‍රිතිවිය යුත්තේ යක්ෂයන් දුරුවී යන එක ගැන නොව, අපගේ නාම ස්වර්ගයෙහි ලියා තිබීම ගැනය.
ශු. ලූක් 10:20
[20] එසේවුවත් ආත්මයන් නුඹලාට යටත්වන නිසා නොව නුඹලාගේ නාම ස්වර්ගයෙහි ලියා තිබෙන නිසා ප්‍රීතිවෙන්නැයි කීසේක.
සැබවින්ම ගැළවීම ලබාගත් කෙනෙක් නම් ඔබ දෙවියන්වහන්සේගේ කැමැත්ත කළ යුතුය.
ශු. මතෙව් 7:21
[21] ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට: ස්වාමිනි, ස්වාමිනියි කියන සියල්ලෝම ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නෝය.
දෙවියන්වහන්සේගේ කැමැත්ත නම් අප ශුද්ධව ජීවත්වීමය. අප කරන කියන සෑම දෙයකම දෙවියන්වහන්සේගේ කැමැත්ත විමසිය යුතුය. භයිබලයෙහි තිබෙන වචන අපගේ හදවත් වලට දමා ගත යුතුය. එයින් ඔබට ශුද්ධ ජීවිතයක් ගත කළ හැකිය. දෙවියන්වහන්සේගේ කැමැත්ත දැනගත හැකිය.
තමා සියල්ල දන්නේයැයි සිතන මනුෂ්‍යයා උඩඟුය. ඔහු කිසිවක් නොදන්නේය.
උඩඟු තත්වයෙන් ජීවත්වීම භයානක දෙයකි. දෙවියන්වහන්සේ උඩඟුවූවන් එපා කරන අතර යටහතුන්ට අනුග‍්‍රහය දක්වයි.
ශු. මතෙව් 7:22
[22] ඒ දවසේදී බොහෝ දෙනෙක්: ස්වාමිනි, ස්වාමිනි, ඔබගේ නාමයෙන් අනාගත වචන නොකීයෙමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකෙළෙමුද? ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකෙළෙමුදැයි මට කියනවා ඇත.
ඔබගේ නාමය ස්වර්ගයෙහි ලියා නොමැතිනම් ඔබ මොන දේ කළත් ඵලක් නොමැත. යේසුස්වහන්සේගේ නාමය කියමින් අද බොරු අනාගතවාක්‍යය පවසන්නන් බොහෝමයක් සිටියි. අප ජීවත්විය යුත්තේ අනාගතවාක්‍යයෙන් නොව, යේසුස්වහන්සේගේ වචනයෙන්ය.
යේසුස්වහන්සේ පැහැදිලිව පැවසුවේ මනුෂ්‍යයා ජීවත්වන්නේ රොටී වලින් පමණක් නොව මනුෂ්‍යයා ජීවත්වන්නේ දෙවියන්වහන්සේගේ වචනයෙන් කියාය. (ශු. මතෙව් 4:4)
දිනපතා වචනය මෙනෙහිකිරීම අපගේ වගකීමයි. දෙවියන්වහන්සේ අපගේ පියා අප උන්වහන්සේගේ පුත‍්‍රයන්ය. දෙවියන්වහන්සේ අපගේ එඬේරාය. අප උන්වහන්සේගේ බැටළුවන්ය. බැටළුවන් එඬේරාගේ හඬ අසයි. එඬේරා හඳුනයි. (යොහන් 10:27)
අප පෞද්ගලිකව දෙවියන්වහන්සේගේ හඬ ඇසිය යුතුය. අද මනුෂ්‍යයන් රැවටිලිකාරකමේ බලයට අසුවී තම ජීවිතය නාස්ති කරමින් සිටියි.
ශු. මතෙව් 7:23
[23] එවිට මම: කිසිකලෙකත් නුඹලා නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨකම් කරන්නෙනි, මා කෙරෙන් අහක්ව යන්නැයි ඔවුන්ට කියන්නෙමි.
ශු. යොහන් 10:27
[27] මාගේ බැටළුවෝ මාගේ හඬ අසති, මමද ඔවුන් අඳුනමි, ඔව්හු මා පස්සේ එති.
ඔබට දෙවියන්වහන්සේගේ අභිමුඛත්වය නිතර දැනිය යුතුයි. මුලු මැවිල්ලම දෙවියන්වහන්සේගේ පුත‍්‍රයන්ව සොයයි.
රෝම 8:19
[19] මක්නිසාද මැවිල්ල දෙවියන්වහන්සේගේ පුත්‍රයන්ගේ එළිදරව්වීම උනන්දු ප්‍රාර්ථනාවෙන් බලා සිටියි.
දෙවියන්වහන්සේගේ පුත‍්‍රයන් ලෙස ප‍්‍රකාශවන්නේ අපයි. යේසුස්වහන්සේ සිටින ආකාරයටමයි අපත් සිටින්නේ. අප යේසුස්වහන්සේව නියෝජනය කරනවා පමණක් නොව, යේසුස්වහන්සේ අප තුළින් ක‍්‍රියා කරන බව විශ්වාස කළ යුතුය.
1 යොහන් 4:17
[17] අප තුළ ප්‍රේමය සම්පූර්ණව තිබීම නම්, ඒ තැනන්වහන්සේ සිටින ආකාරයටම අපත් මේ ලෝකයෙහි සිටින බැවින්, විනිශ්චය දවස ගැන නිසැකකම ඇතුව සිටීමය.
ඔබ සම්පූර්ණ ගැළවීම ලබා සිටින මනුෂ්‍යයෙක්ය .ඔබ සිටින්නේ යේසුස්වහන්සේව ප‍්‍රකාශවීය. ඔබ මේ ලෝකයේ දැන් සිටින්නේ යේසුස්වහන්සේ සිටින ආකාරයෙන්ය.
විනිශ්චය දවස ගැන ඔබට නිසැකකමක් ඇත. ඔබ තුළ ඒ දවස ගැන භයක් නැත. යේසුස්වහන්සේගේ ප‍්‍රේමය ඔබ තුළින් ගලා යයි. යේසුස්වහන්සේගේ බලය ඔබ තුළින් ක‍්‍රියාත්මක වී යක්ෂයන් දුරුවී යයි.
ඔබගේ ආත්මික වර්ධනය තුළින් ක‍්‍රිස්තුස්වහන්සේගේ ජීවනය ඔබ තුළින් විදහා දැක්විය හැකිය. ක‍්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය, ක‍්‍රිස්තුස්වහන්සේගේ ප‍්‍රේමය, ක‍්‍රිස්තුස්වහන්සේ තුළ තිබෙන සියලු යහපත් දේවල් මනුෂ්‍යයන්ට ඔබ තුළින් දකින්ට පුළුවන.
යේසුස්වහන්සේ පැවසුවේ යමෙක් උන්වහන්සේ දැක්කොත් පියාණන්වහන්සේ දැක්කා හා සමාන බවය. (යොහන් 14:9)
දෙවියන්වහන්සේ අප මවා ඇත්තේ උන්වහන්සේගේ ස්වරූපයටත් සමානත්වයටත්ය. එම නිසා ඔබ තුළින් ක‍්‍රිස්තුස්වහන්සේ දකින්ට පුුළුවන් බව ඔබට කීමට හැකියාව තිබිය යුතුය. යක්ෂයාට භයේවත්, වහලෙක් ලෙසින් වත් ජීවත් නොවන්න. මන්ද ඔබ දෙවියන්වහන්සේගේ පුත‍්‍රයෙකි.
දෙවියන්වහන්සේ අප තුළත්, අප දෙවියන්වහන්සේ තුළත් එක්ව බැඳී මේ ගමන අප එකට ගමන් කරන්නන්ය. ඔබ හොඳ කිතුනුවෙක් නොවේයැයි පවසයි නම් ඔබ ගැළවීම ලබා නැත. ඔබ යේසුස්වහන්සේ මෙන් සිටිනවා යයි කීමට භය නොවිය යුතුය. ඔබ තුළ රහස් ජීවිතයක් නොතිබිය යුතුය. යේසුස්වහන්සේ රහස් ජීවිත ගතකළ අයට තරටවු කරන ලදි.
යේසුස්වහන්සේ මනුෂ්‍යයන්ට ආදරයෙන් ඇරයුම් කළා. වෙහෙසවන්නාවු බර උසුලන්නාවු සියල්ලෙනි මා වෙත එන්නයි කියා මතෙව් 11:28 පවසයි.
ශු. මාර්ක් 16:17-18
[17] අදහන්නන්ට ඇත්තාවූ ලකුණු නම්: ඔව්හු මාගේ නාමයෙන් යක්ෂයන් දුරුකරන්නෝය; අන් භාෂාවලින් කථාකරන්නෝය; [18] සර්පයන් අල්ලාගන්නෝය, යම් මරණීය වස ජාතියක් බීවත් එයින් කිසිසේත් ඔවුන්ට අනතුරක් නොවන්නේය; ඔවුන් රෝගීන් පිට අත් තැබූ කල්හි, ඔව්හු සුවය ලබන්නෝයයි කීසේක.
අදහන සියලු දෙනාට යේසුස්වහන්සේ තුළින් මේ සියල්ල කළ හැකිය.
කිසිවෙක්ගෙන් වත් යැපෙන්නෙක් නොවී, දෙවියන්වහන්සේගේ ක‍්‍රියාකාරිත්වයේ සිටින්නෙක් වන්න.
Watch the Sermon Video