+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South
නිවැරදි ලෙස ආත්මික සේවාවන් විමසා බලන්න - මනූ මැතානි
April 27, 2025 Sunday Sermon Notes
අපි හරිදේ ඉගෙන ගතහොත් අපට වරදින්නේ නැත. අපට ඒ තුළින් අන් අයට උපකාර කරන්ටත්, උගන්වන්ටත් පුළුවන. එමෙන්ම බොහෝ අයගේ ජිවිත වෙනස් කළ හැකි වනු ඇත. වැටෙන්නට ආසන්නව ඉන්නාවු අයව ගළවා ගැනීමට අපට හැකිවනු ඇත.
සත්‍යයෙන් අහක්ව යන්නාවු කෙනෙක්ව එයින් හරවා ගැනීමටද ඒ අයගේ ජිවිත වලින් සිද්ධ වෙන්න යන පාප වැලැක්වීමටද අපට පුළුවන.
යාකොබ් 5:20
[20] පව්කාරයෙකු තමාගේ මාර්ගයේ මුළාවෙන් හරවාගන්න තැනැත්තා ප්‍රාණයක් මරණයෙන් ගළවා, පව් රාශියක් වසන බව ඔහු දැනගනීවා.
මුළාව ගියාවූ මනුෂ්‍යයෙක්ගේ මනස ගළවා ගැනීමෙන් අපට පව් රාශියක් වාසා ගන්නට පුළුවන. අප දන්න සත්‍යය අපේ ජිවිතයට ක‍්‍රියාවට නංවන්නේ නම්, අපට තවත් අයෙකුට ඒ සත්‍යය කියා දෙන්නට පුළුවන. එවිට පාපයට වැටෙන්ට සිටින්නාවු අය ආරක්ෂා වන්නේය.
අපි දන්න සත්‍යය කතා කරන්නට අවශ්‍යයයි. අනුග‍්‍රහය අපව සෑම දෙයින්ම ගළවයි කියමින් නොසිට අපගේ ආත්මික චරිතය ගොඩනඟා ගනිමු. බොහෝ සභාවල උගන්වන්නේ එක පැත්තක් පමණය. ආත්මික චරිතය වර්ධනය කිරීම සම්බන්ධව උගන්වනවා ගොඩාක්ම අඩුය.
ඔවුන් “දෙවියන්වහන්සේ යහපත්, උන්වහන්සේ ඔබට ඕනෑම දෙයක් කරයි.” යනාදී ලෙස පවසමින් පෙන්වනු ලබන්නේ, වැරදි කරත් උන්වහන්සේ ඔබට ප්‍රේමකරන බවත්, සමාවදෙන බවත් පමණය.
එය හොඳ දෙයකි. නමුත් නොකඩවම එකම එක පුරුද්දක් තුළ වෙනස් නොවෙන ස්වභාවයකින් දුර්වලභාවයේ ජීවත් වීම කිසිවෙකුටවත් යෝග්‍ය නොවන්නේය. දරුවෙකුට හරි මාර්ගය කියා දුන්විට ඔවුන් ඒ අනුව ගමන් කිරීම දෙමාපියන්ට ගෞරවයක්ය. නමුත් ඒ දරුවන් වෙනස් නොවන්නේ නම් ඒ දෙමව්පියන්ට අගෞරවයකි.
අපේ ආත්මික චරිතය ගොඩනැගීමෙන් කිසි ප‍්‍රයෝජනයක් නෑ කියා අපට කිව නොහැකිය.
යේසුස්වහන්සේ පැවසුවේ, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් හඳුනාගත හැක්කේ ඒ කෙනාගේ ඵල වලින් කියාය.
සමහර අයගේ දීමනා තුළින් හාස්කම් සිදුවෙන්නට පුළුවන. සමහරක් හස්කම් ඇත්තය. හස්කම් සිදු වෙන්නේ යේසුස්වහන්සේගේ නාමය කෙරෙහී මනුෂ්‍යයන් විශ්වාස කර පැමිණෙන නිසාය. නමුත් අපිට ඒ හාස්කම් කරන පුද්ගලයාව ඔසවන්නට බැරිය. ඔවුන්ගේ ඵල සොයන්න අපට අයිතියක් ඇත. බයිබලේ පවසන්නේ අප නායකයන්ව හොඳ ලෙස හඳුනාගන්නට ඕනෑය කියාය.
ශු. මතෙව් 7:15-17
[15] බොරු අනාගතවක්තෘවරුන්ගෙන් ප්‍රවේසම්වෙන්න. ඔව්හු බැටළු වේශයෙන් නුඹලා ළඟට එති, නුමුත් ඇතුළතින් ඔව්හු කෲරවූ වෘකයෝය. [16] ඔවුන්ගේ ඵලවලින් නුඹලා ඔවුන් ඇඳින ගන්නහුය. මනුෂ්‍යයෝ කටුගස්වලින් මුද්‍රික ඵලවත් ගොකටුවලින් අත්තික්කා ඵලවත් නෙළාගනිද්ද? [17] එසේම සියලු හොඳ ගස් හොඳ ඵල දරයි; නුමුත් නරක ගහ නරක ඵල දරයි.
ඒ අයගේ ඵල හොඳ නැතිනම්, අපේ ජීවිතයටත් එය බෝවෙන්නට පුළුවන. ඒ තුළින් අපේ ජීවිතයටත් ප්‍රශ්නයක් ඇති වෙයි. අද බොහෝ සේවකයන් නිකරුනේ බිහිවෙති. නමුත් ඒ අයගේ ජීවිත වල ආත්මික ඵල නොමැත. ඔවුන්ගේ ජීවිත වල සත්‍යය යම්කිසි ප්‍රමාණයක් ඇත. ඒතුළින් ඔවුන් මනුෂ්‍යයන් ඇද ගනී. නමුත් ඒ අයගේ ජීවිතවල ඵල නැති නිසා ඔවුන් අනිත් අයගේ ජීවිත වලටත් හානියක් ඇති කරයි. ඔවුන් ජීවත් වෙන්නේ මුලාවේය.
ඔබ දැනගන්නාවූ සත්‍යය ඔබගේ ජීවිතයට අදාල වෙනවා සේම තවත් කෙනෙකුටද ආශීර්වාදයක් විය යුතුය.
බොරු අනාගතවක්තෘන්ව අපට විමසා බැලිය හැකිය.
ඔවුන් තුළ ඔවුන්ගේ ක්‍රියාවල ඵල නොමැත.
ඔවුන් කථාකරන්නේ දෙවියන්වහන්සේගේ වචනයට අදාල නොවනදේය. ඔවුන් තමා ගැනම වර්ණනා කරගනිමින් තමා වෙතට මනුෂ්‍යයන් ඇදගන්න උත්සාහ කරයි. දෙවියන් වහන්සේගේ වචනය ඔවුන් තුළ නැත. ඔවුන් මනුෂ්‍යයන් ඇදගන්නේ අනාගත වාක්‍ය තුළින්ය. කවදාවත් ඔබ ගැන වැරදි කියන්නේවත්, තරවටු වචනයක් හරිගැස්වීමේ වචනයක් ගෙනෙන්නේවත් නැත.
ඔවුන් පවසන්නේ ඔබට විශේෂ දෙයක්, විශේෂ ආශීර්වාදයක් තිබෙනවා වැනි දේ පමණය.
මනුෂ්‍යයන්ගේ ආත්ම වලට පෝෂණය දෙනවිට. ඒ ජීවිත වර්ධනය වීමක් ඇතිවී ජීවිත කාලයම කිතුනු ජීවිතය ගැන කිසි භයක්, කලකිරීමක් නොමැතිව ගත කිරීමට පුළුවන. ඔවුන් වෙනස් වෙන්නේවත්,නොමඟ යන්නේවත් නැත. ශක්තිමත් දේවල් වටහා ගන්නට ඔවුන්ට පුළුවන.
ඔබ වචනය තුළ ස්ථිරව සිටියහොත් ඔබට කවදාවත් වරදින්නේ නැත. මන්ද ඔබ ජීවත් වී සිටින්නේ වචනය නැමැති පර්වතය මතයි.
යේසුස්වහන්සේ බොරු අනාගතවක්තෘන් ගැන කතා කළායින් පසුව උන්වහන්සේ ස්වර්ගයට ඇතුල් වෙන පුද්ගලයන් ගැනත් කතා කළේය. ( ශු. මතෙව් 7:21)
උන්වහන්සේ මනුෂ්‍යයන්ගේ ඵල ගැන පවසන ලදි ( ශු. මතෙව් 7:17)
හොඳ ගස්, හොඳ ඵල දරයි. නමුත් නරක ගහ නරක ඵල දරයි. කොයි ආකාර ගසක්ද කියා පැහැදිලිවම ගසේ ඒ ඵල වලින් දැනගත හැකිය. ගස පුද්ගලයෙක් විය හැකිය. ඒ කෙනාගේ ක්‍රියාකාරීත්වය, අරමුණු චේතනා ඵල වෙන්ට පුළුවන. ඒ මනුෂ්‍යයාගේ චරිත ගුණාංග, වචන මේ සියල්ල ඵල වලින් දැනගන්න පුළුවන්කම ඇත. ගසේ ඵල වලින් හොඳ නරක අපට කියන්න පුළුවනැයි යේසුස්වහන්සේ පැවසීය.
ශු. මතෙව් 7:18
හොඳ ගහක නරක ඵලවත් නරක ගහක හොඳ ඵලවත් හටගන්නට බැරිය. යහපත් ගහක් නම් යහපත් ඵල පමණය, නරක ගහක් නම් නරක ඵල පමණය. අපට එය වෙනස් එය කළ නොහැකිය.
ගැළවීම ලබාගත් දවස සිටම මේ පොළොවේ අන්තිම හුස්ම දක්වාම උන්වහන්සේ තුළ උන්වහන්සේගේ මහිමය සඳහා ජීවත් වීම අපගේ අරමුණ විය යුතුය.
ඒ අතර මගදී මොන දේ සිදුවුවත් අපි උඩඟු තත්ත්වයට පත්නොවිය යුතුය. උඩඟු මනුෂ්‍යයෙක් ඉතා ඉක්මනින් වැටෙන්නට පුළුවන.
“මා සියල්ලන්ට වැඩිය බයිබලේ දන්නවා. මට විශේෂ එළිදරව් තියෙනවා. මේ පොළොවේ කාටවත් නැහැ එවැනි ” වැනි අහංකාර වචන කියන්නන් සිටියි. ඒවා සියල්ල රැවටිලිකාර වචනය. ඒවා කවදාවත් එළිදරව් නොවේය.
දේශකයා දේශනා කරන වෙලාවේදී ඔහු දේශනා කරන්නේ දේව වචනයද? නැත්නම් වෙන කුමක් හෝ දෙයක් අල්වා දේශනා කරන්නේද, ඔහුගේ ජීවිතේ ඵල තිබෙනවාද කියා වචනය තුළින් විමසා බැලීමට අපට අයිතියක් ඇත. දේශකයන් හැටියට හරි ලෙස ගොඩනගාගත් ජීවිතයක් ගෙනයන්නට ඔහුට වගීමක් තිබිය යුතුය.
බොරුවලට ඇහුම්කම් දීමෙන් ඔබට තියෙන දේවල් ඔබ නැති කරගනී. නමුත් සත්‍ය වචනයට ඔබගේ ප්‍රාණය හරි ලෙස තබාගෙන ස්ථීර ගමනක් ගමන් කිරීමට පුළුවන. යමෙක් පසුතැවී, වෙනස්වී හරි ගැළවීමකට පැමිණ නැතිනම්, ඔහු දෙවියන්වහන්සේත් සමඟ ගමන් කරනවායැයි පැවසුවත්, ටික කලෙකින් ඔහු ජීවිතය ගෙන යන ආකාරය අපට දැක ගත හැකිය.
ඔහු රැවටිලිකාර ජීවිතයෙන් මිදී ඉවසීමෙන් ඔහුගේ ආත්මික ජීවිතය, චරිතය මුල ඉඳන්ම ගොඩනගා ගත යුතුය. මනුෂ්‍යයන් ජීවත් වෙන්නේ අනාගතවාක්‍ය වලින් නොවේය. දෙවියන්වහන්සේගේ වචනයෙන්ය.
සමහරු මනුෂ්‍යයන්ට අනාගත වාක්‍ය පවසා ඔවුන් පැවසූ දේ හරි ගියාදැයි අසමින්, ඔවුන් පසුපසම සිටී. දෙවියන්වහන්සේ අනාගතවාක්‍යයක් ඔබට දුන්නා නම්, උන්වහන්සේ ඔබට කතා කළා නම්, ඔබගේ අනාගතයට යමක් කරන්න යනවයි කිව්වා නම් එයට තවත් අතරමැදියන් අවශ්‍ය නැත.
බොහෝ විට අනාගතවක්තෘවරුන් ඔබ වෙතට ලං වෙන්නේ, ඔබගෙන් යමක් බලාපොරොත්තුවෙන්ය. එමනිසා ඔවුන් ඔබ ගැන බොහෝසෙයින් සැලකිලිමත්වෙයි. අනාගත වාක්‍යයක් දුන්නයි කියා, කිසිවක් බලාපොරොත්තු වීමට ඒ මනුෂ්‍යයාට කිසිම අයිතියක් නැත.
අනාගත වාක්‍යයක් දුන්නයි කියා දෙවියන්වහන්සේ ඔබගෙන් කිසිවක් බලාපොරොත්තු වන්නේ නැත. ඔබට යම් අනාගත වාක්‍යයක් ලැබුණු විට එය හොඳක් හෝ තරවටුවක් හෝ වේවා, එය පැවසු කෙනාට දොස් පැවරීමට හෝ පැසසුමට ලක්කිරීමට නොයන්න. වැදගත් වන්නේ දෙවියන්වහන්සේ ඔබට කතා කළ දේ විශ්වාස කරමින් ඔබගේ ජීවිතය හදාගැනීමය. එය ඔබගේ ජීවිත රටාවක් විය යුතුය.
හිතෝපදේශ 6:20-21
[20] මාගේ පුත්‍රය, නුඹේ පියාගේ ආඥාව රක්ෂාකරන්න, නුඹේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න. [21] ඒවා නිතරම නුඹේ සිතෙහි බැඳගෙන, නුඹේ ගෙලෙහි ගැටගසාගන්න.
බෙල්ල යනු ඔබ තීරණ ගන්න ස්ථානයයි. වමටත් දකුණටත් හැරෙන්නේ ඔබගේ බෙල්ලෙන්ය. ඔබගේ තීරණ ගැනීම ඉතා වැදගත්ය.
හිතෝපදේශ 6:22
නුඹ යන එන විට ඒවා නුඹ ගෙනයන්නේය; නුඹ නිදන කල නුඹ ළඟ රැකවල්කරන්නේය; නුඹ පුබුදින කලද නුඹ සමඟ කථාකරන්නේය.
වචනය ඔබට කතා කරයි. ඔබ නිදාගෙන ඉන්න වෙලාවේදීත් ඒ වචනය ඔබව ආරක්ෂා කරයි. ඔබට ලැබෙන උපදෙස් දේව වචනය ඔබව ශක්තිමත් කරයි.
හිතෝපදේශ 6:23
[23] මක්නිසාද නපුරු ස්ත්‍රියගෙන්ද අන් තැනැත්තියෙකුගේ දිවේ ඉච්චාවෙන්ද නුඹ ආරක්ෂාකරන පිණිස
නපුරු ස්ත්‍රී යනු - සභාවෙන් පිට වැරදි ඉගැන්වීම් බොරු අනාගතවාක්‍ය කියන්නාවු අයයි. එවැනි අයට අසු නොවිය යුතුය.
බොරු අනාගතවාක්‍ය විශ්වාස නොකර බය නැතුව ජීවත් වීමට ඔබව ආරක්ෂා කරන්නේ වචනයයි. සභාව නම් හරි ස්ත්‍රියයි. දෙවියන් වහන්සේගේ මනාලියයි.
හිතෝපදේශයේ නපුරු ස්ත්‍රියක් ගැන බොහෝසේ පවසයි. එයින් පෙන්වා ඇත්තේ වැරදි ඉගැන්වීම්, බොරු අනාගතවාක්‍ය කියන අය ගැනය. එය වෛශ්‍ය ස්ත‍්‍රියක් ගැන පවසනවායැයි පෙනුනත්, දෙවියන්වහන්සේ එතැන පෙන්වන්නේ නපුරු ඉගැන්වීම්වලින් ඈත් වී සිටිය යුත්තේ කොයි ආකාරයන්ද කියාය.
ආත්මික ලෙසින් පෙන්වන නපුරු පුද්ගලයන්ගෙන් ඈත්වී ජීවත් වෙමු. ඒවා විශ්වාස කරමින් ගමන් නොකරමු.
හිතෝපදේශ 6:24
[24] ආඥාව පහනක්ය; උපදේශය එළියක්ය; ගුරුකමේ අවවාද ජීවනයේ මාර්ගයෝය.
ගුරකමේ ඉගැන්වීම්, හරි ගැස්වීම්, තරවටු කිරීම් ඒවා සියල්ල අපගේ ජීවිතයේ ජීවන මාර්ගයක් කරගනිමු.
දරුවෙකු වුවත් යහපතක් කිවහොත් එයට ඇහුම්කන් දෙමු. සමහරවිට දෙවියන් වහන්සේට දරුවෙකු තුළ තිබෙන වචනය ඔබේ ජීවිතයට යහපතක් වෙන්න පාවිච්චි කළ හැක.
හිතෝපදේශ 6:26
[26] මක්නිසාද වේශ්‍යා ස්ත්‍රියෙක් නිසා මනුෂ්‍යයෙකුට ඉතුරුවෙන්නේ රොටි කැබෙල්ලක් පමණක්ය. මිථ්‍යාචාරි ස්ත්‍රීද අනර්ඝ ප්‍රාණය අල්ලාගන්ට ලුහුබඳින්නීය.
මෙය සාමාන්‍යයෙන් ලෝකෙත් ඇත්ත කතාවක්. නමුත් ආත්මික පැත්තෙන් බැලුවත් බොහෝ අනාගතවක්තෘන් පසුපස යන මනුෂ්‍යයෝ අන්තිමට හිඟතාවයට පත්වෙයි.
හිතෝපදේශ 6:27-28
[27] මනුෂ්‍යයෙක් ගින්න තමාගේ ළයට ගත්තොත් ඔහුගේ ඇඳුම් නොපිළිස්සේද? [28] යමෙක් ගිනි අඟුරු පිට ඇවිද්දොත් ඔහුගේ පාද නොදැවේද?
වැරදි පුද්ගලයන් සමඟ සම්බන්ධ වී, ඔබ වැරදි පුද්ගලයන්ගේ දේශනා අසමින් සිටීමෙන් ඔබගේ ජීවිතයට එය හානියක් ඇති වෙන්න පුළුවන.
ගින්නක් උඩ ඔබ ඇවිදිමින් වැරදි ස්ථාන වලට කළහොත් ඒ ගින්න ඔබව විනාශ කරනු ඇත.
ශු. මතෙව් 7:19-20
[19] හොඳ ඵල නොදරන සියලු ගස් කපනු ලැබ, ගින්නෙහි දමනු ලැබේ.
[20] එබැවින් ඔවුන්ගේ ඵලවලින් නුඹලා ඔවුන් ඇඳිනගන්නහුය.
ඵල නොදරන ගහක් සමඟ සම්බන්ධයක් ඕනේ නැත.
වචනය අසා ක්‍රියාවට නම්වමින් සිටින්නා පර්වතය මත තමාගේ ජීවිතය ගොඩනගාගෙනයි සිිටින්නේ.
ශු. මතෙව් 7:24
එහෙයින් යමෙක් මාගේ මේ වචන අසා ඒවා පිළිපදීද, ඔහු පර්වතය පිට තමාගේ ගෙය සාදාගත් නුවණ ඇති මනුෂ්‍යයෙකුට සමානකරනු ලබන්නේය.
පර්වතය මත සිටිනවා යනු දෙවියන්වහන්සේගේ වචනය මත ජීවිතේ ගොඩනගා තිබීමය. අත්තිවාරම දෙවියන් වහන්සේගේ වචනය පිටය. දකින හාස්කම් මත නොවේය.
ඒ අත්තිවාරම සමග බැඳී සිටින්නන් සෙලවෙන්නේ නැත. කුණාටු, ප්‍රශ්න කරදර, කම්කටළු පැමිණියත්, ලෝකේ ආර්ථිකය කඩා වැටුනත් එහෙට මෙහෙට පැදෙන්නේ නැත. පර්වතය මත ජීවිත කාලෙම අසන දේවල්, ක්‍රියාවට නංවමින් සිටියි.
ශු. මතෙව් 7:25
වැසි වැස, ජලය ගලා, හුළඟ හමා, ඒ ගෙට ගැසුවේය; එය පර්වතය පිට පිහිටා තිබුණු බැවින් නොවැටුණේය.
පර්වතය මත පිහිටුවා තිබෙන ජීවිත වැටෙන්නේ, පසුබටවන්නේ නැත. පර්වතය සියල්ලේදී ආරක්ෂා කරයි. ඔබගේ ජීවිතයේ තිබිය යුතු පර්වතය දෙවියන්වහන්සේගේ වචනයයි. ඒ පර්වතය මත ඔබගේ අත්තිවාරම, ඔබගේ ආත්මික ජීවිතය සම්බන්ධ කරගන්ට අවශ්‍යයයි.
එසේ කිරීමෙන් ඔබත් පර්වතයක් මෙන් වෙයි. සැලෙන්නේ, දුක් වෙන්නේ, කරදර වෙන්නේ, දේවල් දාලා දුවලා යන්නේ නැත.
යේසුස්වහන්සේ නිදා සිටියදී කුණාටුවක් පැමිණියත් උන්වහන්සේ පර්වතේ මත සිටි නිසා කුණාටුවට විරුද්ධව නැගී සිටින්න උන්වහන්සේට පුළුවන්කමක් තිබුණි.
උන්වහන්සේ පර්වතයයි. උන්වහන්සේ නිදා සිටියට උන්වහන්සේගේ ජීවිතය ස්ථීරව තිබුණේ පියාණන්වහන්සේගේ වචනය තුළය. උන්වහන්සේ නැඟිට කුණාටුවට තරවටු කරමින් මුහුදට පැවසුවේ, “සමාදානය වේවා”යි කියාය. ඒ යේසුස් වහන්සේ පර්වතය මට සිටිය නිසාය.
යේසුස්වහන්සේ ගෝලයන්ට ඒ අයගේ තිබෙන අස්ථීරභාවය නිසා තරවටු කළේය. ඔබ තරවටුවක් ලැබුවිට “ස්වාමීනි ස්තූති වේවා” පවසමින්. එය යහපතක් ලෙසින් භාරගත යුතුය. නමුත් තවත් කෙනෙක්ගේ පාලනයට, බලපෑමකට යට නොවන්න.
සමහරුන් අන් අයට බලපෑම් ඇති කරමින් ඒ අය පාලනය කිරීමට දක්ෂය. දෙවියන්වහන්සේ කවදාවත් අපට තවත් කෙනෙකු පාලනය කරන්න අයිතියක් දුන්නේ නැත.
දරුවට ඔබ හරි දේ උගන්වනවිට ඔවුන් නොමගයන්නේ නැත. ඔවුන්ට එයින් කිසිදු අලාභයක් වෙන්නේ නැත. එය ඔවුන්ට ප‍්‍රයෝජනවත්වේ. ඒ අය වයසට ගියත්, අද මා නිවැරදි මාර්ගයේ සිටින්නේ වැඩිහිටියන් කියපු දේ ඇසූ නිසායයි තේරුම් ගනී.
දරුවන් දෙවියන්වහන්සේගේ දේවල් වලින් ඈත් වී, දුරස්ව සිටීනම් ඔබට තිබෙන්නේ යාච්ඤා කරන්නය. නමුත් ඔබගේ වහලයට සිටිනතුරු ඔවුන්ට හරි දේ කියාදීමට ඔබට අයිතියක් ඇත. ඔවුන් ඔබව දාලා යන්නේ නැත. ඔවුන් ඔබ කියන දේ පිළිගනී. ඔහුන් නොමග යනතුරු බලා නොසිටින්න.
දරුවන්ට තරවටු කර, හරි දේ කියා දුන්විට ඔවුන් වැඩි වයස් වුවත් හොඳ මාර්ගයේ ගමන් කරනු ඇත.
හිතෝපදේශ 22:6
දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරන්න, එවිට ඔහු වයස්ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය.
දරුවන් වැඩිහිටි වූ විට අපට හැක්කේ ඔවුන් උදෙසා යාච්ඤා කරන්න පමණයි. නමුත් ඊට කලින් ඔවුන්ව පුරුදු පුහුණු කළ යුතුවේ.
හිතෝපදේශ 23:13
[13] දරුවාගෙන් දඬුවම නොවලක්වන්න; ඉපලෙන් නුඹ ඔහුට තළන්නෙහි නම් ඔහු නසින්නේ නැත.
දරුවෙකුට දඬුවම් කළා කියා ඔහු මියන්නේ නැත.
හිතෝපදේශ 23:14
[14] ඉපලෙන් ඔහුට තළන්න; එයින් නුඹ ඔහුගේ ප්‍රාණය ෂෙයෝලෙන් ගළවන්නෙහිය.
දරුවෙකුට දඬුවම් කිරීමෙන් ඔහුව ෂෙයොලෙන් ගළවා ගත හැකිය. ඔබගේ දරුවාගේ චරිත ගුණාංග හැදෙන්නේ, ආත්මික ගොඩනැගීමක් ගොඩනැගෙන්නේ නිවසේ සහ සභාවට එන වෙලාවේදීය.
දරුවන් සමඟ වාඩිවී කතා කරන්න, ඒ අය ශක්තිමත් කර, ධෛර්යමත් කරමින්, ගීතිකා ගායනා කරමින්, ආත්මික දේවල නැඹුරු වෙන්නට ඒ අයට පුරුදු පුහුණු කරමින් හරි දේ ඉගැන්විය යුතුවේ.
සත්‍යය ඔබව ආරක්ෂා කරයි. ඒ සත්‍ය වචනය දරුවන්වද ආරක්ෂා කරයි. සත්‍යය ඉගැන්වීමෙන් කවදාවත් නපුරු දෙයක් වෙන්නේ නැත. යේසුස්වහන්සේ ශුද්ධව සිටියාක් මෙන් අපද ශුද්ධව සිටිය යුතුය.
ඔබ කතා කරන දේවල් තවත් අයට ප‍්‍රයෝජනයක් ලැබේනම්, තව කෙනෙක් ශක්තිමත්වේ නම් ඉතා හොඳ දෙයකි. ආත්මික චරිතය ගොඩනැගීම හරි වැදගත්ය.
යේසුස්වහන්සේ පවසා තිබෙන්නේ පෙනීමේ හැටියට නොව ධාර්මිකව විනිශ්චය කරන්න කියාය.
ශු. යොහන් 7:24
[24] පෙනීමේ හැටියට විනිශ්චය නොකරන්න, ධාර්මික විනිශ්චයෙන් විනිශ්චය කරන්නැයි කීසේක.
පිටස්තරයෙන් විනිශ්චය නොකර සිටිමු. දාවිත් රජතුමාගේ පුත්‍රයෙක් අබ්සලොම්. ඔහුගේ පිටස්තරයෙන් කිසිම වැරැද්දක් නොපෙණුනි. ඒ මනුෂ්‍යයා හොඳ මනුෂ්‍යයෙක් ලෙසින් පිටස්තරින් පෙනුනත් ඔහු පියාට මහත් ද්‍රෝහීකමක් කරන ලදි. ඔහුට කිසිම චරිත ගුණාංගයක් තිබුණේ නැත. තිබුණේ ද්‍රෝහිකමක්ය.
හදවතේ අරමුණු, චේතනා සම්පූර්ණයෙන්ම රජතුමාට විරුද්ධය. ඔහුගේ හදවතේ අදහස තමාගේ පියාව සම්පූර්ණයෙන්ම නැත්තටම නැති කර දමන්නටය.
2 සාමුවෙල් 14:24-26
[24] රජද: ඔහු තමාගේ ගෙදරට යේවා, ඔහු මාගේ මුහුණ නොදක්නේයයි කීවේය. එබැවින් අබ්සලොම් තමාගේ ගෙදරට හැරී ගියේය, ඔහු රජුගේ මුහුණ දුටුවේ නැත. [25] අබ්සලොම් මෙන් රූප ශෝභාව ගැන ප්‍රශංසා කටයුතු කෙනෙක් මුළු ඉශ්‍රායෙල්හි සිටියේ නැත. පතුළ පටන් හිස්මුදුන දක්වා ඔහුට කිසි කැලලක් නොවීය. [26] ඔහු තමාගේ හිසකේ අවුරුද්දෙන් අවුරුද්ද කැපුවේය; ඒවා කැපුවේ ඔහුට බරව තිබුණ නිසාය. ඔහු හිසකේ කැපූ විට එය කිරා බැලුවේය, ඒවායේ බර රාජ පඩියෙන් ෂෙකෙල් දෙසියයක් විය.
ඔහුව දුටු පමණින් සියල්ලන්ගේ සිත ඇදී ගියේය. ඔහු පිටස්තරයෙන් අලංකාර කෙනෙක් වූයේය. බාහිරව කෙනෙක්ව බලමින් ඒ කෙනාගේ චරිත ගුණාංග නොමැතිව. අපි ඒ කෙනා විශ්වාස නොකරමු.
2 සාමුවෙල් 15:1
[1] ඉන්පසු අබ්සලොම් රථයක්ද අශ්වයන්ද තමාට පෙරටුවෙන් දුවන්ට මනුෂ්‍යයන් පනස් දෙනෙක්ද පිළියෙළ කරගත්තේය.
අබ්සලොම්ට අශ්වරථ තිබුණි. ඔහු ඉදිරියෙන් යන්නට මනුෂ්‍යයන් සිටින ලදි.
2 සාමුවෙල් 15:2-6
[2] තවද අබ්සලොම් අලුයම නැගිට දොරටුවට යන මාර්ගයේ අයිනේ සිට, විනිශ්චය පිණිස රජු වෙතට පැමිණීමට නඩුවක් ඇති එකිනෙකාට අඬගසා: නුඹ මොන නුවරට අයිතිදැයි ඇසීය. ඔහුද: ඔබගේ මෙහෙකරුවා ඉශ්‍රායෙල් ගෝත්‍රයකට අයිතියයි කීවේය. [3] අබ්සලොම්: ඔන්න නුඹේ කාරණා හොඳය, හරිය; නුමුත් නුඹේ කාරණා අසන පිණිස රජු විසින් පත්කරනලද කෙනෙක් නැතැයි ඔහුට කීවේය. [4] ඇරත් අබ්සලොම් කථාකොට: දේශයේ විනිශ්චයකාරයා කොට මා පත්කළොත් යහපත! එවිට නඩුවක් හෝ පැමිණිල්ලක් ඇති කවුරු නුමුත් මා වෙතට ආ කල්හි මම ඔහුට යුක්තිය කරන්නෙමියි කීවේය. [5] යමෙක් ඔහුට වඳින්ට ළංවූ කල ඔහු තමාගේ අත දිගුකොට ඔහු අල්වා සිඹගත්තේය. [6] විනිශ්චය පිණිස රජු ළඟට ආ සියලු ඉශ්‍රායෙල්වරුන්ට අබ්සලොම් මෙයාකාර කොට, හොරෙන් ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ගේ සිත් දිනා ගත්තේය.
ඔහු ඉශ්‍රායල් මනුෂ්‍යයන්ගේ සිත් දිනාගන්නා ලදි. යහපත් චරිතයක් නැත්නම් කෙනෙකුගේ ජීවිතයක් තුළ ඒ මනුෂ්‍යයාගේ පිටස්තර මුහුනෙන් වැඩක් නැත.
දෙවියන්වහන්සේ ඔබගේ රජතුමා, ඔබගේ රජතුමාගෙන් ඔබව ඇදගන්නවා නම් කවුරු හරි කෙනෙක් ප්‍රවේශම් වෙන්න.
යෙරෙමියා 2:13
[13] මක්නිසාද මාගේ සෙනඟ නපුරු දේවල් දෙකක් කළෝය; ඔව්හු ජීවන වතුර උල්පතවූ මා අත්හැර, කටාරම්, එනම් වතුර නාල්ලන්නාවූ බිඳුණාවූ කටාරම් තමුන්ට කපාගත්තෝය.
කටාරම් නම් චරිතයයි. බිඳුනු චරිතයක්, නැත්නම් බිඳුනු කටාරම් තිබේනම් කොයි තරම් දේවල් ඇතුල් වුනත් ඒ සියල්ල පිටවී යයි. එනම් දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධයක් නැතුව සිටීමයි.
අප සිටිය යුත්තේ දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධවයි, අපගේ ජීවිතයේ තිබෙන අඩුපාඩු හදාගෙන, අප දෙවියන්වහන්සේගේ ඉතාම වටිනා උපදෙස් අපගේ හදවතේ නිධාන කරගෙන තවත් අයට ආශිර්වාදයක් වෙමු.
රජතුමාගෙන් ඔබ වළක්වන්න ඔබගේ ජීවිතයට බලපැමක් ඇති කරන්නට, ඔබගේ සිත් ඇදගන්නට අබ්සලොම් වැනි අයට ඉඩ නොදෙන්න. ඔබගේ ජීවිතේ ඔබ රක්ෂා කරගත යුතුය.
අපගේ ජීවිතයේ බිඳුනු තැන් තිබේනම් ඒවා හදාගෙන දෙවියන්වහන්සේගේ ප්‍රඥාව යහපත අල්ලාගෙන, අපටත් අපේ ජීවිතයටත් ආරක්ෂාවටත් ඒ උල්පතෙන්ම බොන්නට පුළුවන. අපටත් තවත් අයටත් අපගේ ජීවිතයෙන් ප‍්‍රයෝජනවත් වීමට ඒ කටාරමෙන් ප‍්‍රයෝජනවත් දේ ගන්න පුළුවන.
Watch the Sermon Video