+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ස්වාමීන් කෙරෙහි භය පිරිසිදුය - යෝෂා මනූ
August 21, 2022 Sunday Sermon Notes


යෙසායා දෙවියන්වහන්සේගේ අභිමුඛයෙහි සිටින විට, දෙවියන්වහන්සේගේ ශුද්ධත්වය ඔහු දුටුවා.
යෙසායා 6:1-3
1 උස්සියා රජු නැසුණු අවුරුද්දේදී ස්වාමීන්වහන්සේ උස්වූ උසස්වූ සිංහාසනයක වැඩ හිඳිනවා දුටිමි. උන්වහන්සේගේ වස්ත්‍ර කෙළවරින් මාළිගාව පිරී තිබුණේය.

2 උන්වහන්සේ අවටින් සෙරාප්වරු සිටියෝය. එක් එක්කෙනාට පියාපත් හය බැගින් තිබුණේය; දෙකකින් මුහුණ වසාගත්තේය, දෙකකින් පාද වසාගත්තේය, දෙකකින් පියාසර කෙළේය.

3ඔව්හු එක්කෙනෙක් අනිකෙකුට මොරගසමින්: සේනාවල ස්වාමීන්වහන්සේ ශුද්ධය, ශුද්ධය, ශුද්ධය, මුළු පොළොව උන්වහන්සේගේ තේජසින් පිරී තිබේයයි කීවෝය.

එම දෙවියන්වහන්සේගේ ශුද්ධත්වය අපගේ හදවත් තුලෙහිද තිබිය යුතුය.
අප ශුද්ධකමෙන් අලංකාරයෙන් දෙවියන්වහන්සේට නමස්කාර කල යුතුය.
අපගේ ජීවිත දෙවියන්වහන්සේට කැපවූ, වෙන්වූ ශුද්ධවූ ජීවිත ලෙස ගත කල යුතුය.
දෙවියන්වහන්සේ අප තුළ උන්වහන්සේගේ ශුද්ධ ආත්මය වගුරන ලදි.
ශුද්ධාත්මය නොමැතිව ශුද්ධකමින් ජීවත්විය නොහැක.

යේසුස්වහන්සේගේ උත්පත්තියේ පටන් සේවයේ අවසානය දක්වාම උන්වහන්සේ කි‍්‍රයා කරන ලද්දේ ශුද්ධාත්ම බලයෙනි.

මේ පොළොවේ ජයග‍්‍රාහී ජීවිතයක් ගත කිරීමට අපටද ශුද්ධාත්මය අත්‍යවශ්‍යය.

ඇදහිල්ලේ ජීවිතයට අවශ්‍යය වැදගත්ම දෙය ශුද්ධාත්ම බවිතීස්මයයි.

අප ශුද්ධකමෙන් ජීවත්වන පිණිස දෙවියන්වහන්සේ අපව ආලේප කර ඇත.

ලෝකයා දෙස බලමින් අපට මෙම ගමන ගමන්කල නොහැක.

හෙබ්‍රෙවි 12:1
එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා, සියලු බරද පහසුවෙන් අප අසුකරන පාපයද අහක දමා, ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණකරන්නාදවූ යේසුස්වහන්සේ දෙසම බලමින්, අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු.

මෙහි පීඩා ගෙනෙන්නාවූ කාරණා 2ක් පෙන්වා ඇත.
1- සියලු බර
2- පහසුවෙන් අසුකරන පාප

අපගේ ආත්මීක ජීවිතයට සැහැල්ලුවෙන් ගමන් කරන්න අපහසු දෙයින් අප මනස පුරවා ගනු අත. අප ඒවා ඉවත් කළ යුතුය.

අපගේ දිවීම අන් අය දෙස නොබලා මනුෂ්‍යයා නිසා නොපැකිල අප ඉවසීමෙන් දිවිය යුතුය.

රෝම 12:3
නුඹලා එකිනෙකා සුදුසු තරමට වඩා තම තමා ගැන උතුම්කොට නොසිතා, දෙවියන්වහන්සේ එකිනෙකාට බෙදාදුන් ඇදහිල්ලේ ප්‍රමාණය ලෙස පමණදැන සිතන හැටියට, මට දෙනලද අනුග්‍රහයෙන් නුඹලා අතරෙහි එකිනෙකාට කියමි.

අප සැමටම එක හා සමාන ඇදහිල්ලේ ප‍්‍රමාණයක් ලැබී ඇත.

මෙම ඇදහිල්ලේ ප‍්‍රමාණය අප වර්ධනය කර ගත යුතුය.

ඇදහිල්ල වර්ධනය කර ගත හැක්කේ වචනය අසා එය කි‍්‍රයාවට දැමීමෙනී.

රෝම 10:17
මෙසේ ඇසීමෙන් ඇදහිල්ලද ක්‍රිස්තුස්වහන්සේගේ වචනයෙන් ඇසීමද පැමිණෙන්නේය.

ඇදහිල්ල වර්ධනයට අවශ්‍යය ආහාරය දේව වචනය, යාච්ඤාව, ප‍්‍රශංසාව, නමස්කාරය, දෙවියන්වහන්සේට ස්තූතිදීම හා ගෞරවයයි.

හෙබ්‍රෙවි 6:12
ඒ වනාහි නුඹලා අලස නොවී, ඇදහිල්ලද ඉවසිලිවන්තකමද කරණකොටගෙන පොරොන්දු උරුමකරගන සිටින්නන්ගේ අඩිපාරේ යන්නන් වෙන පිණිසය.
ඇදහිල්ලේ ගමනේදී අප මනුෂ්‍යයා නිසා නොපැකිල පොරොන්දු උරුමකරගත් අයගේ අඩිපාරේ ගමන් කළ යුතුය.

දේව භයින් යුතුව අප දෙවියන්වහන්සේ ඉදිරියේ කැපවුනාවු ජීවිතයක් ගත කළයුතුය.

පවිකරුවන්ගේ ශුභසිද්ධිය බලා අප කනගාටු නොවිය යුතුය.

ගීතාවලිය 73:16‭-‬19
මා විසින් දෙවියන්වහන්සේගේ ශුද්ධ ස්ථානයට ගොස් ඔවුන්ගේ අන්තිමය ගැන කල්පනා කරන තෙක්, එය මට අධික වේදනා සහිත විය; එය දැනගත හැකි කෙසේදැයි සිතමින් සිටියෙමි. සැබවින් ඔබ ඔවුන් ලිස්සන තැන්වල සිටුවනසේක. ඔබ ඔවුන් විනාශයට හෙළනසේක. ඔවුන් ක්ෂණයකින් ශුන්‍යවූ හැටි! භීතිවලින් ඔව්හු සහමුලින්ම විනාශ වූවෝය.

පවිකරුවන් විනාශවීම දෙවියන්වහන්සේගේ කැමැත්ත නොවේ.

2 පේතෘස් 3:9 ………..නුමුත් සියල්ලන්ම පසුතැවිලිවෙනවාට මිස කිසිවෙක් විනාශවෙනවාට උන්වහන්සේ නොකැමැතිව, නුඹලා කෙරෙහි බොහෝ කල් ඉවසනසේක.

දෙවියන්වහන්සේ පව්කරුවන්ට පේ‍්‍රම කරන නිසයි අප වෙනුවෙන් දිවි පිදුවේ.

අප පවිකරුවන්ව සිටියදිත් දෙවියන්වහන්සේ අපට පේ‍්‍රම කලා යන ගරුත්වය දෙමින් අප පවිත‍්‍රවූ ජීවිත ගත කල යුතුය.

ගීතාවලිය 19:7‭-‬11
ස්වාමීන්ගේ ව්‍යවස්ථාව සම්පූර්ණය, ආත්මය ප්‍රාණවත්කරන්නේය. ස්වාමීන්ගේ සාක්ෂිය සත්‍යය, නුවණ නැත්තන් ඥානවත්කරන්නේය. ස්වාමීන්ගේ පනත් සාධාරණය, සිත ප්‍රීතිකරවන්නේය. ස්වාමීන්ගේ ආඥාව පවිත්‍රය, ඇස් එළියකරන්නේය. ස්වාමීන් කෙරෙහි භය පිරිසිදුය, සදාකල් පවතින්නේය. ස්වාමීන්ගේ විනිශ්චයෝ සැබෑය, සම්පූර්ණයෙන්ම ධර්මිෂ්ඨය. ස්වර්ණයටත්, එසේය අනර්ඝ ස්වර්ණ රාශියකටත් වඩා ඊට ආශාවිය යුතුය. මීපැණියටත් මීවදයටත් වඩා මිහිරිය. තවද එයින් ඔබගේ මෙහෙකරුවාට අවවාද ලැබේ. ඒවා පැවැත්වීමෙන් මහත් විපාක ඇත්තේය.

දෙවියන්වහන්සේගේ වචනය අනර්ඝ වටිනා වස්තුවක් ලෙස අප හදවත තුළ සඟවා තැන්පත් කරගත යුතුය.

දේව වචනයට අප ආශා විය යුතුය.

දේව වචනය අපට කැඩපතක් හා සමානය. එය පිටාතරයට වඩා අපගේ අභ්‍යන්තරය අපගේ මනස අපට පෙන්නුම් කරයි.

ඔබගේ ජීවිතයේ දේව වචනයට ඇබ්බැහී වීමට අවශ්‍යය නම් එය දිනපතාම කියවන්න. එයට වෙලාවක් වෙන්කර ගත යුතුය.

දේව වචනය දෙවියන්වහන්සේගේ මඟ පෙන්වීම අපට ලබා දෙනු ඇත.

දේව වචනය තුළ කිසිදු කැළලක් නොමැත.

දෙවියන්වහන්සේගෙන් පැමිණි වචන සම්පූර්ණය.

2 සාමුවෙල් 22:31
දෙවියන්වහන්සේගේ මාර්ගය වනාහි සම්පූර්ණය. ස්වාමීන්ගේ වචනය නිර්මලය; උන්වහන්සේ තමන් කෙරෙහි විශ්වාසකරන සියල්ලන්ට පලිහක් වනසේක.

ගීතාවලිය 18:30
දෙවියන්වහන්සේගේ මාර්ගය සම්පූර්ණය. ස්වාමීන්ගේ වචනය නිර්මලය; උන්වහන්සේ තමන් සරණ කොට ගන්න සියල්ලන්ට පලිහක් වනසේක.

ප‍්‍රාණය කොටස් 3 කට බෙදේ

මනස, හැගීම්, කැමැත්ත

මෙයින් මනුෂ්‍යයන් තුළ වැඩියෙන් කි‍්‍රයාකරන්නේ කැමැත්තය.

ප‍්‍රාණය දේව වචනය තුළින් අප දිනපතා වෙනස් කර ගත යුතුයි.

රෝම 12: 1-2
1එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ.

2නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.

අපගේ ශරීර දෙවියන්වහන්සේට භාරදී අපගේ මනස වෙනස් කර ගෙන අප දේව කැමැත්ත කළ යුතුයි. දේව කැමැත්ත ලබා ගැනීමට අප ප‍්‍රථමයෙන්ම දෙවියන්වහන්සේට නමස්කාර කළ යුතුවේ.

දේව වචනය තුළින් අප මනස සෝදා පවිත‍්‍රකර ගත යුතුය.

එපීස 5:26-27
26එසේ කළේ සභාව ශුද්ධව, කැලලක් හෝ රැළි හෝ එබඳු යමක් නැතුව,

27තේජවත් සභාවක් කොට තමන්ට ඔප්පුකරගැනීම සඳහා වචනය නමැති වතුරෙන් සේදීමෙන්, උන්වහන්සේ එය පවිත්‍රකොට පිරිසිදුකරන පිණිසය.

දෙවියන්වහන්සේගේ සාක්ෂි අපට දේව වචනය තුළින් දක්නට ඇත.

අපේ ශක්තියෙන් අපට කළ නොහැකි දේවල් දේව වචනය තුළින් අපට කිරීමට හැකියාව ඇත.

අපේ ජීවිතය අපි දේව භයෙන් පුරවා ගත්විට, දේව වචනයට ගෞරවය දෙන විට අපේ ජීවිත පවිත‍්‍ර වනු ඇත.


Watch the Sermon Video

Read 403 times