+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දේව භයින් දේව පොරොන්දු දෙස බලමින් ඇදහිල්ලෙන් බලවත් වන්න - යෝෂා මනූ
September 11, 2022 Sunday Sermon Notes


ගිතාවලිය 25:1-3
1 ස්වාමිනි, ඔබ දෙසට මාගේ ආත්මය ඔසවමි.
2 මාගේ දෙවියන්වහන්ස, ඔබ කෙරෙහි විශ්වාසකෙළෙමි, මම ලජ්ජා නොවෙම්වා; මා කෙරෙහි ජය නාද පවත්වන්ට මාගේ සතුරන්ට ඉඩ නුදුන මැනව.
3 එසේය, ඔබ කෙරෙහි බලා සිටින කවරෙක්වත් ලජ්ජා නොවන්නේය. නිෂ්කාරණයේ ද්‍රෝහිකම්කරන්නෝ ලජ්ජාවන්නෝය.

දෙවියන්වහන්සේ තුළ සිටින දරුවන්ව උන්වහන්සේ කිසිදා ලැජ්ජාවට පත්කරන්නේ නැත.

ජීවමාන දෙවියන්වහන්සේ ඔබ තුළ සිටිනවානම් ඔබ තුළින් උන්වහන්සේගේ ප‍්‍රීතිය, ප‍්‍රශංසාව, ප්‍රේමය බබළවන්න.

දේව භයින් ක්‍රියා කරන්නෙකු දේව පොරොන්දු දෙස බලමින් ඇදහිල්ලෙන් බලවත්ව ජීවත් වන්නේය.

රෝම 4:20
එසේය, දෙවියන්වහන්සේගේ පොරොන්දුව දෙස බලා ඇදහිල්ලෙන් බලවත්ව, දෙවියන්වහන්සේට ගෞරවකරමින්,

අබ්‍රහම් දෙවියන්වහන්සේගේ පොරොන්දුව දෙස බලා එන්න එන්නම ඇදහිල්ලෙන් බලවත්ව, තමාව ශක්තිමත් කර ගත්තේය.

ආබ‍්‍රහම්ගේ ජීවිතයේ සමහර තැන්වලදී දුර්වලකම් ඉස්මතුවුණි. දෙවරක් අන් රජවරු ඉදිරියේ සාරාව තම සහෝදරිය ලෙස හදුන්වාදුනි. ඔහු සිටි වාතාවරණය තුළ ඇතිවූ බිය නිසා එසේ ප‍්‍රකාශ කරත් ඔහු අවිශ්වාස කලේ නැත.

ආබ‍්‍රහම්ගේ ජීවිතයේ යම් යම් දුර්වලකම් ඉස්මතුවුවත් අපට එය අපගේ ජීවිතයට අදාල කරගත යුතුනැත. මන්ද ආබ‍්‍රහම් සිටියේ පරණ ගිවිසුමේ සෙවනැල්ලක් හා සමාන ගිවිසුමකය.

නමුත් ඔබ සිටින්නේ සැබෑවූ ජීවමානවූ දෙවියන්වහන්සේ ඉදිරියේ ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සෑදූ ගිවිසුමක් තුළය.

ඔහු පොරොන්දුව ගැන අවිශ්වාසය නිසා සැක කළේ නැත.

පොරොන්දුව යනු දෙවියන්වහන්සේගේ වචනයයි.

ආබ‍්‍රහම්ට දෙවියන්වහන්ගෙන් ලැබුණු පොරොන්දුව ඔහු මනසින් දිවා රාත‍්‍රී මෙනෙහි කරන ලදි. දෙවියන්වහන්සේ ආබ‍්‍රහම්ගේ සිතුවිලි දක්නා ලදි

අපගේ සිතුවිලි අපගේ අභ්‍යන්තරය දකින්නේ දෙවියන්වහන්සේ පමණි.

ආබ‍්‍රහම් එය සිදුවෙයිද නැද්ද කියා කනස්සල්ලෙන් සිටියේ නැත.

දෙගිඩියාවක් ඇති කරගෙන පසුබට වුනේ නැත.

එක් අවස්ථාවකදී ඔහු ඔහුගේ සියල්ල උරුමකරගන්නේ ඔහුගේ නිවසේ සේවකයාද කියා දෙවියන්වහන්සේගෙන් විමසන අතර, එහිදී දෙවියන්වහන්සේ ඔහුට පවසන්නේ ඔහුගේ උරුමක්කාරයා ඔහු තුළින්ම නික්මෙන්නෙක් බවයි. එමෙන්ම ඔහුගේ වංශයට අනාගතයේදී සිදුවන්නට යන දේද එහිදී දෙවියන්වහන්සේ ඔහුට ප‍්‍රකාශ කරනලදි.

උත්පත්ති 15: 1- 21

නමුත් ආබ‍්‍රහම් සාරාගේ හඬට ඇහුම්කන්දී ගත් වැරදි තීරණයක් නිසා හාගර්ගෙන් දරුවෙකු ලැබුණු හෙයින් ඔහුට තව කාලයක් පොරොන්දුව දෙස බලා සිටින්නට සිදුවිය.

එහෙත් ආබ‍්‍රහම් විශ්වාසයෙන් අඩු වුනේ නැත. ඇදහිල්ලෙන් දුන් පොරොන්දුව ගැන ආබ්‍රහම් තර්ක කළේ නැත.

දෙවියන්වහන්සේට විරුද්ධව ක්‍රියා කළේ නැත.

ඔහු ඇදහිල්ලෙන් නොසැලී, දෙවියන්වහන්සේට ගෞරවකරමින්, මහිමය දුන්නේය.

තමාගේ බෙලහීනභාවය ගැන ඔහු අවධානය යොමු කළේ නැත.

ඔහු පොරොන්දුව අතහැරියේ නැත.

සැක සහිත වචන වලින් ප්‍රශ්න කළේ නැත.

තමාගේ ඇදහීම නතර කළේ නැත.

දෙවියන්වහන්සේට තමාගේ පොරොන්දුව ඉෂ්ට කරන්ට සියලු බලය ඇත කියා තදින්ම ඔහු විශ්වාස කලේය.

ආබ්‍රහම් තමාටම පැවසුවේ, දෙවියන්වහන්සේ මට පියෙකු වන්නට පොරොන්දු වුණා කියාය.

මට දරුවෙකු ඉපදෙන්නට යනවා’’යයි පවසා ගනිමින්. පියෙකු වීමට, ඇදහිල්ල තුළ ඔහු ශක්තිමත් වූ නිසා, ඔහු දෙවියන්වහන්සේගේ පොරොන්දුව විශ්වාස කිරීම නතර කළේ නැත.

එමෙන්ම ඔහු ඇදහිල්ලෙන් බලවත් වූ නිසාත්, ඔහුගේ පොරොන්දු ඉටු කිරීමට අවශ්‍ය සියලු බලය දෙවියන්වහන්සේට තිබෙන බව ඒත්තු ගැන්වූ නිසාත්, දෙවියන්වහන්සේට මහිමය දුන්නේය.

උත්පත්ති 17:21
එහෙත් මාගේ ගිවිසුම එන අවුරුද්දේ නියම කාලයේදී සාරා නුඹට බිහිකරන්නාවූ ඊසාක් සමඟ පිහිටුවන්නෙමියි කීසේක.

දෙවියන්වහන්සේට සෑම දෙයක් කිරීමට නියම කාලයක් ඇත.

උත්පත්ති 18:10
එවිට උන්වහන්සේ: සැබවින්ම එන අවුරුද්දේ නියම කාලය පැමිණි විට මම නුඹ වෙතට නැවත එන්නෙමි; බලව, නුඹේ භාර්යාවවූ සාරා පුත්‍රයෙකු ලබන්නීයයි කීසේක. උන්වහන්සේට පස්සෙන් තිබුණු කූඩාරම් දොරකඩදී සාරාට ඒ ඇසුණේය.

උත්පත්ති 18:14
ස්වාමීන්වහන්සේට බැරි දෙයක් ඇද්ද? එන අවුරුද්දේ නියම කාලය පැමිණි විට නුඹ වෙතට නැවත එන්නෙමි, සාරා පුත්‍රයෙකු ලබන්නීයයි කීසේක.

මෙතෙක්කල් ආබ‍්‍රහම් පොරොන්දුව දෙස බලා සිටි අතර, දැන් දෙවියන්වහන්සේ සාරා දෙස බලන ලදි.

උත්පත්ති 21:2 
සාරා ගර්භිණීව දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට කීවාවූ නියම කාලයෙහිදී ඔහුගේ මහලු වයසෙහි ඔහු නිසා පුත්‍රයෙකු බිහිකළාය.

දෙවියන්වහන්සේ ආබ‍්‍රහම්ගේ නිවසට සිනහව ගෙනෙන ලදි.

පොරොන්දු ඉෂ්ඨ වන කල ප‍්‍රීතිය ලැබේ.

රෝම 4:17-22
17(නුඹ බොහෝ ජාතීන්ට පියෙකු කෙළෙමියි ලියා තිබෙන ලෙස) ආබ්‍රහම් තමා විශ්වාසකළාවූ, මළවුන් ජීවත්කරන්නාවූ, නැති දේ ඇති දේ මෙන් සඳහන්කරන්නාවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි අප සියල්ලන්ගේ පියාණෝය. 18නුඹේ වංශය මෙසේ වන්නේය කියා තිබෙන ලෙස, ආබ්‍රහම්, බොහෝ ජාතීන්ගේ පියා වන පිණිස, බලාපොරොත්තුවීමට ඉඩ නැති තැන බලාපොරොත්තුවෙන් විශ්වාසකෙළේය. 19ඔහු (අවුරුදු සියයක් පමණ වයස්ගතව සිටියදී,) ඇදහිල්ලෙන් දුර්වල නොවී, තමාගේම ශරීරය මළ බව හා සාරාගේ කුසය මළ බවත් සිතා ඇදහිලි නැතිකම කරණකොටගෙන චංචල නොවී, 20එසේය, දෙවියන්වහන්සේගේ පොරොන්දුව දෙස බලා ඇදහිල්ලෙන් බලවත්ව, දෙවියන්වහන්සේට ගෞරවකරමින්, 21පොරොන්දුවූ දේ ඉෂ්ටකරන්ට උන්වහන්සේට පුළුවන කියා නිසැකව විශ්වාසකෙළේය. 22ඒ නිසා එය ඔහුට ධර්මිෂ්ඨකම කොට ගණන්ගන්නාලද්දේය.

ආබ‍්‍රහම් බලාපොරොත්තුවක් නැති අවස්ථාවක බලාපොරොත්තුවෙන්, සැක නොකොට, ඇදහිල්ලෙන් ස්තීරව, පොරොන්දුව ප‍්‍රකාශ කරමින් විශ්වාස කරන ලදි.

ඔබට දෙවියන්වහන්සේ දී ඇති පොරොන්දු ගැන සැක නොකොට නොකඩවා දේව වචනය ප‍්‍රකාශ කරන්න.

යෙරමියා 1:12
එවිට ස්වාමීන්වහන්සේ: නුඹට පෙනුණා හරිය. මක්නිසාද මාගේ වචනය ඉෂ්ටකරන පිණිස මම ඒ ගැන පිබිද සිටිමියි මට කීසේක.

ආබ‍්‍රහම් පොරොන්දුව දෙස බලා දෙවියන්වහන්සේට ප‍්‍රශංසා කරා, ගෞරව කරා, නමස්කාර කරා එයයි රහස.

ඔබගේ හදවත තුලද සැක සහිත වචන පැමිණෙන කල ඒවා දුරු කර දෙවියන්වහන්සේට ස්තූති කරන්න.

හෙබ්‍රෙව් 6:13
මෙසේ දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දුව දුන් කල, තමන්ට වඩා උතුම් කෙනෙක් ගැන දිවුරන්ට නැති නිසා තමන්ම ගැන දිවුරමින්:

හෙබ්‍රෙව් 6:14‭ සැබවින්ම නුඹට බොහෝසෙයින් ආශීර්වාද කරන්නෙමි, බොහෝසෙයින් නුඹ වර්ධනයකරන්නෙමියි කීසේක.

හෙබ්‍රෙව් 6:15 ඒ හැටියට ඔහු ඉවසිල්ලෙන් සිට, පොරොන්දුව ලබාගත්තේය.

ඇදහිල්ල හා ඉවසීම එකට ක‍්‍රියා කරයි.


Watch the Sermon Video

Read 327 times