+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දේව භයින් ජීවත් වීම යහපත්ය - යෝෂා මනූ
October 23, 2022 Sunday Sermon Notes

 

ස්වාමීන්වහන්සේ විශ්වාසවන්ත එඬේරා ලෙස අපට මඟ පෙන්වමින් අප සමඟ සිටියි.

උන්වහන්සේ අපගේ රක්ෂස්ථානයයි. අපට තිබෙන්නේ ඒ නාමය තුළ සැඟවී උන්වහන්සේ සමඟ කාලය ගත කරන්නටයි. එය ඉතා වැදගත්ය.

කුණාටු වේලාවෙදී පමණක් නොව සැම කල්හීම ස්වාමීන්වහන්සේ අපට උපදෙස් දීමට, මඟ පෙන්වීමට අප සමඟ සිටගෙන අපව ශක්තිමත් කිරීමට, ධෛර්යයමත් කිරීමට අප තුළ සිටිනසේක.

ඔබ ස්වාමීන්වහන්සේගේ වචනය සමඟ කාලය ගත කරමින් උන්වහන්සේට නමස්කාර කිරීමට කාලයක් වෙන්කරන කල ඔබගේ ජීවිතයේද පුදුමාකාර වෙනසක් ඔබ අත් දකිනු ඇත.

ඔබ දෙවියන්වහන්සේට දෙන කාලය ටිකෙන් ටික වැඩිකරන කල උන්වහන්සේගේ එළිදරව් කිරීම් මඟින්, ඉගැන්වීම් මඟින් මහත්වූ අත්දැකීම් ඔබට ලබා ගැනීමට හැකිවනු ඇත.

බයිබලය කියවීම සඳහා ඔබ සතුව බයිබලයක් තිබීම ඉතා වැදගත්ය.

බයිබලයේ වචන හදවතට ඇතුළු කර ගත්විට ඔබට වචනයෙන් කිව නොහැකි මහත් තෘප්තියක් ලබෙනු ඇත.

දෙවියන්වහන්සේ අපට දුන් ගැළවීම තුළින් අප උන්වහන්සේ සමඟ කාලය ගත කරන විට උන්වහන්සේ කවුදැයි කියා අපට හඳුනාගත හැකිවේ.

දෙවියන්වහන්සේ විශ්වාසවන්ත ප්‍රේමයේ දෙවිකෙනෙකු බැවින් අපට උන්වහන්සේ තුළින් සියල්ලට විසඳුම සහ සහනය ලබා ගත හැක.

ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් හා බයිබල් පාඩම් තුළින් අප දිනෙන් දින ඉගෙන ගත යුතුයි.

ඔබ ගැළවීම ලැබූ අලුත ඇතිවන ජ්වලිතකම සැමකල්හීම තබා ගත යුතුය.

ජීවිත ගමනේ අතර මඟදී සතුරාට ඔබගේ හදවත තුළ ඇති යහපත් බීජ උගුලා දමන්නට ඉඩ නොදිය යුතුය.

වපුරන්නාගේ උපමාව ජීවිතයට අදාල කරගෙන සරුබිමෙහි වැටුණාවු ඵල දරන්නාවු බීජයක් බවට පත්වන්න. මතෙවි 13:1-23

ඔබගේ හදවත තුළ තැන්පත් කරගත් බීජ ඵල දැරීමට කාළයක් දිය යුතුය.

ගීතාවලිය 86:11
ස්වාමිනි, ඔබගේ මාර්ගය මට ඉගැන්නුව මැනව; ඔබගේ සැබෑකමෙහි හැසිරෙන්නෙමි. ඔබගේ නාමයට භයවෙන පිණිස මාගේ සිත එකඟකළ මැනව.

මෙය අපගේ ජීවිතයේ යාච්ඤාවක් කරගත යුතුය.

ඔබවහන්සේගේ යහපත් ජීවන මාර්ග ක්‍රියා කරන ආකාරය, ඔබවහන්සේ අනුව යන්නට කීකරු වන්නට සහ ඔබවහන්සේ තුළ ගමන් කරන ආකාරය ගැන මට තවත් කියා දෙන්න. එවිට මා තුළ ඇති සියල්ල ඔබගේ නාමයට ගෞරවයක් ගෙන දෙන තුරු ඔබේ සත්‍යය තුළ මට ගමන් කළ හැකිය.

දෙවියන්වහන්සේ නිතරම මෝසෙස්ට උන්වහන්සේගේ මාර්ග ඉගැන්වූ සේක.

ගීතාවලිය 103:7 උන්වහන්සේ ස්වකීය මාර්ග මෝසෙස්ටත් තමන් ක්‍රියා ඉශ්‍රායෙල් පුත්‍රයන්ටත් දැන්වූසේක.

මෝසෙස් දෙවියන්වහන්සේ සමඟ කාළය ගත කල හෙයින් උන්වහන්සේගේ මාර්ග හඳුනාගන්නා ලදි.

නමුත් ඉශ‍්‍රායෙල්වරු ස්වාමීන්වහන්සේගේ මාර්ග හඳුනා නොගෙන උන්වහන්සේට අකීකරුව, සවාමීන්වහන්සේට විරුද්ධව කොඳුරමින් උන්වහන්සේව සැක කල හෙයින්, ඔවුන්ගේ මුල් පරම්පරාව පොරොන්දු දේශයට යාමේ වරප‍්‍රසාදය නැති කර ගත් අතර, ඉතා පහසුවෙන් කෙටි ගමන් මගකින් යා යුතුව තිබූ ගමන කාන්තාරයේ වසර 40 ක් දක්වා වූ ගමනකින් දීර්ඝ කර ගන්නා ලදි.

ඉශායෙල්වරු දෙවියන්වහන්සේ කෙරෙහී විශ්වාස කළේ උන්වහන්සේගේ ක‍්‍රියාවන් දුටුවිට පමණි.

ඇදහිල්ල නම් නොදක්නා දේ කෙරෙහි විශ්වාස කිරීමය.

මෝසෙස් දෙවියන්වහන්සේ හා සමඟ කාලය ගතකර උන්වහන්සේගේ මාර්ග ඉගෙන ගත් හෙයින් ඔහු තුළ මෙම විශ්වාසය තිබුණි.

ද්වීතීය කථාව 4:9-10
 නුඹේ ඇස්වලින් දුටු දේවල් නුඹට මතකනැති නොවන පිණිසත් නුඹේ ජීවිතයේ සියලු දවස්වල ඒවා නුඹේ සිතෙන් පහනොවන පිණිසත් බලාගෙන, නුඹේ ආත්මය ප්‍රවේසමෙන් ආරක්ෂාකරගන්න; ඒවා නුඹේ පුත්‍රයන්ටද නුඹේ පුත්‍රයන්ගේ පුත්‍රයන්ටද දන්වන්න.ඒවා නම්, ස්වාමීන්වහන්සේ මට කථාකොට: සෙනඟ මා ළඟට රැස්කරන්න, ඔවුන් භූමිය මතුපිට ජීවත්වෙන සියලු දවස්වල මට භය වෙන්ට ඉගෙනගන්නා පිණිසත් තමුන්ගේ දරුවන්ට උගන්වන පිණිසත් මාගේ වචන ඔවුන්ට ඇසෙන්ට සලස්වන්නෙමියි මට කීකල නුඹ හොරෙබ්හිදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටි දවසේදී වුණ දේවල්ය.

මුලින්ම ඔබ ඉගෙන ගන්න. පසුව ඔබ ඉගෙන ගත් දේ ඔබගේ දරුවන්ට උගන්වන්න.

ඔබ තුළ ඇති දේව භය දරුවන්ට උගන්වන්න.

දේව භය නිසයි අපි ස්වාමීන්වහන්සේට කීකරු වන්නේ.

ඉගෙන ගන්න යන වචනයේ තවත් අර්ථයක් නම් කීකරු වීම.

ද්වීතීය කථාව 14:22‭-‬23
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නිතරම භයවෙන්ට ඉගෙනගන්න (කීකරු වන) පිණිස අවුරුද්දෙන් අවුරුද්ද කෙතේ නුඹේ බීජවලින් හටගන්න සියලු අස්වැන්නෙන් දසයෙන් කොටසක් වෙන්කර, නුඹේ ධාන්‍යවලිනුත් මුද්‍රික රසයෙනුත් තෙල්වලිනුත් දසයෙන් කොටසද නුඹේ ගවයන්ගෙත් එළු බැටළුවන්ගෙත් කුලුඳුලන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ස්වකීය නාමය වාසයකරවන්ට තෝරාගන්න ස්ථානයේදී උන්වහන්සේ ඉදිරියෙහි කන්න.

දරුවන්ට කුඩා කල සිටම දේව අණපනත් සහ දෙවියන්වහන්සේට දීමේ ඇති වටිනාකම පහදා දී ඔවුන්වද ඒවාට යොමු කර, එම ආශීර්වාදය භුක්ති විඳීමට සලසා දෙන්න.

අලුත් ගිවිසුම තුළ ඔබ සම්පූර්ණයෙන්ම ස්වාමීන්වහන්සේට අයිතිය. එබැවින් ඔබ සතු සියල්ලම ස්වාමීන්වහන්සේ සතුය.

උන්වහන්සේ මිදීමේ මිලයක් ගෙවා අපව හිමිකරගෙන ඇත.

1 කොරින්ති 6:19-20
19 නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන්වහන්සේගෙන් ලැබූ, නුඹලා තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාළිගාව බව නොදනිවුද? 20 නුඹලා නුඹලාටම අයිති නැත; මක්නිසාද නුඹලා මිලේටගනු ලැබුවහුය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන්වහන්සේට ගෞරවකරන්න.

මතෙව් 6:21
මක්නිසාද නුඹේ වස්තුව යම් තැනෙක්හිද නුඹේ සිතත් එතැන්හිම වන්නේය.

දෙවියන්වහන්සේගේ රාජ්‍යය තුළ ඔබගේ වස්තුව තබන්න. එවිට ඔබගේ සිත උන්වහන්සේගේ රාජ්‍යය කෙරෙහි පවතිනු ඇත.

ලූක් 12:34
මක්නිසාද නුඹලාගේ වස්තුව තිබෙන්නේ යම් තැනකද නුඹලාගේ සිතත් එහිම තිබෙන්නේය.

අපගේ ජීවිතය තිබෙන තුරු (දිවි ඇති තාක්, මුලු ජීවිත කාලයම) ස්වාමීන්වහන්සේට ගරුබිය දක්වන්නට ඉගෙන ගනිමු.

ද්වීතීය කථාව 5:29
අහෝ ඔවුන්ටද ඔවුන් සමඟ ඔවුන්ගේ දරුවන්ටද සදාකාලේටම ශුභ සිද්ධවන පිණිස නිතරම මට භයවීමටත් මාගේ සියලු ආඥා රක්ෂාකිරීමටත් මෙයාකාර සිතක් (හදවතක්) තිබුණොත් යහපත!

දේව භය ඇති හදවතක් තිබීම ඔබට යහපතකි.

ද්වීතීය කථාව 10:12‭-‬14
ඉතින් ඉශ්‍රායෙල්, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයවීමත් උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරීමත්, උන්වහන්සේට ප්‍රේමකිරීමත්, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹේ මුළු සිතින්ද, නුඹේ මුළු ආත්මයෙන්ද, සේවය කිරීමත් නුඹේ යහපත පිණිස අද මා විසින් නුඹට අණකරන ස්වාමීන්වහන්සේගේ ආඥාද පනත්ද පැවැත්වීමත් මිස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද? බලව, ස්වර්ගය සහ ස්වර්ගවල ස්වර්ගයද පොළොව සහ එහි ඇති සියල්ලද අයිති නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ය.

ස්වාමීන්වහන්සේ පවසන්නේ අප දේව භය ඇතිව මුඵ සිතින් ස්වාමීන්වහන්සේට සේවය කිරීම යහපත් බවය.

1 සාමුවෙල් 12:24
ස්වාමීන්වහන්සේට භයව නුඹලාගේ මුළු සිතින් උන්වහන්සේට සැබෑලෙස සේවයකරන්න. මක්නිසාද උන්වහන්සේ නුඹලා උදෙසා කොපමණ මහත්දේ කළසේක්ද කියා බලන්න.

සේවය කරනවා යනු ස්වාමීන්වහන්සේට කරන සුඵ දෙයක් වූවත් එය තමාගේ මුලු සිතින් (හදවතින්) කිරීමය.

දෙවියන්වහන්සේට සේවය කරනවා යන්නෙන් අදහස් කරන්නේ මනුෂ්‍යයන්ට පෙනෙන්නට මනුෂ්‍යයන්ව සතුටු කිරීමට කරන්නාවු දෙයක් නොව, ඔබට කරන්නට ලැබෙන්නාවූ සුළු දෙය වූවත් එය අවංකව යෙසුස්වහන්සේට මෙන් යටහත්ව කිරීමයි. පිලිප්පි 2:1-11

1 සාමුවෙල් 12:14
නුඹලා ස්වාමීන්වහන්සේගේ අණට විරුද්ධව කැරළි නොගසා උන්වහන්සේට භයව උන්වහන්සේට සේවයකොට උන්වහන්සේගේ හඬට කීකරුව සිටිනවානම්, නුඹලාත් නුඹලා කෙරෙහි රජකම්කරන රජුත් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පස්සේ යනවානම්, යෙහෙකි.

ද්වීතීය කථාව 17:19‭-‬20
ඔහුගේ හෘදය තමාගේ සහෝදරයන් කෙරේ උඩඟුනොවී, ඔහු ආඥාවෙන් දකුණට හෝ වමට හැරී නොගොස්, මේ ව්‍යවස්ථාවේ සියලු වචනද මේ නියෝගද පවත්වා රක්ෂාකරන හැටියට, තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයවෙන්ට ඉගෙන ගන්න පිණිසද මෙසේ තමාගේ රාජ්‍යය කෙරෙහි තමාගේ සහ තමාගේ පුත්‍රයන්ගේත් දවස් ඉශ්‍රායෙල් මැද වැඩිකරගන්න පිණිසද තමාගේ ජීවිතයේ සියලු දවස්වලදී ඒ පිටපත කියවන්නේය.

ඔබගේ දරුවන්ට දේව භය ගැන උගන්වන්න. බයිබලය දරුවන්ට උගන්වන්න.

දේව පනත් රක්ෂා කරන්න යැයි පවසන බයිබල් පද.

ද්වීතීය කථාව 31:12‭-‬13
පුරුෂයන්ද ස්ත්‍රීන්ද බාලයන්ද නුඹේ දොරටු ඇතුළෙහි සිටින විදේශියාද අසා ඉගෙනගන නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයවී මේ ව්‍යවස්ථාවේ සියලුම වචනවල හැටියට කරන්ට බලාගන්න පිණිසද, එය දැනනොගත් ඔවුන්ගේ දරුවන්ද අසා නුඹලා හිමිකරගන්ට යොර්දානෙන් එතරව යන භූමිය මතුපිට නුඹලා ජීවත්වෙන සියලු දවස්වල නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයවෙන්ට ඉගෙනගන්න පිණිසද සෙනඟ රැස්කරන්නැයි කීවේය.

ද්වීතීය කථාව 6:1‭-‬3
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයව නුඹේ ජීවිතයේ සියලු දවස්වල නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ පුත්‍රයාගේ පුත්‍රයාද මා විසින් නුඹට අණකරන උන්වහන්සේගේ සියලු පනත් සහ ආඥා පවත්වන පිණිසත් නුඹේ දවස් වැඩිවෙන පිණිසත්, නුඹලා හිමි කරගන්ට එතරව යන්නාවූ දේශයේදී පැවැත්වීමට නුඹලාට උගන්වන හැටියට මට අණකළ ආඥාවද පනත්ද විනිශ්චයවල්ද මේවාය. එබැවින් ඉශ්‍රායෙල්, නුඹට ශුභ සිද්ධවන පිණිසත් නුඹේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පොරොන්දුවුණු ලෙස කිරි හා මීපැණි ගලායන දේශයකදී නුඹලා අතිශයින් වැඩිවෙන පිණිසත් එය අසා ඉෂ්ටකරන්ට බලාගන්න.

ද්වීතීය කථාව 6:24
අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට අප විසින් භයවෙන පිණිසත් සෑම කල්ම අපට ශුභසිද්ධවෙන පිණිසත් අද දවසේ මෙන් අප ජීවමානව රක්ෂාකරන පිණිසත් මේ සියලු පනත් ඉෂ්ටකරන්ට ස්වාමීන්වහන්සේ අපට අණකළසේක.

ද්වීතීය කථාව 13:4
නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අනුව ගොස්, උන්වහන්සේට භයව, උන්වහන්සේගේ ආඥා රක්ෂාකොට, උන්වහන්සේගේ හඬට කීකරුව, උන්වහන්සේට සේවයකර, උන්වහන්සේට ඇලුම්ව සිටින්න.

දේව භය ඇතිව දේව පනත් රක්ෂා කිරීමෙන් පුදුමාකර ආශීර්වාද ඔබ අත්දකිනු ඇත.


Watch the Sermon Video

Read 306 times