+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යේසුස් යන නාමය උන්වහන්සේ ලබාගත් ආකාරය- යෝෂා මනූ
November 27, 2022 Sunday Sermon Notes

 

අපව සාතන්ගෙන් අන්ධකාර බලයෙන් මුදවා ගැනීමට යේසුස්වහන්සේ විශාලවූ මිලයක් ගෙවන ලදි.

අප පාපය කරණකොටගෙන මැරී සිටි සෙනඟකි. (එපීස 2:1)

අපගේ පාපයෙන්, නරක පුරුදුවලින්, රහසිගත පාපයන්ගෙන්, බන්ධනවලින් අපව මුඳවාගත් යේසුස්වහන්සේට අප නිතරම ස්තුතිවන්ත විය යුතුයි.

ස්වර්ගයේ වැඩවසන්නාවූ ජීවමානවූ දෙවිකෙනෙකු සිටිනවානම් මට ප‍්‍රකාශවන්නයැයි ඔබ පැවසුවහොත්, උන්වහන්සේ ඔබට ප‍්‍රකාශ වනු ඇත; එළිදරව් වනු ඇත.

ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයන්ගේ හදවත් දකිනසේක.
ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයාගේ ආත්ම සහ සිත් කිරා බලනසේක. (හිතෝපදේශ 16:2; 21:2)

අප වංචාවක් නොමැතිව අවංක සිතින් යමක් ඉල්ලුවහොත් ස්වාමීන්වහන්සේ අපට එය ඉටුකර දෙනසේක.

යේසුස්වහන්සේ මැරී සිටියාවූ අපව ජීවත්කළසේක.

යේසුස්වහන්සේ ජීවමානයි. ජීවමානවූ තැනැන්වහන්සේට අප නමස්කාර කළ යුත්තේ හද පිරී ප්‍රීතියෙනි. අප උන්වහන්සේව ගැයීමෙන් නැටීමෙන් නැමදිය යුතුය.

දාවිත් ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට ගෙනෙන විට නටමින් ගයමින් සෙනඟ සමඟ දෙවියන්වහන්සේගේ අභිමුඛයේ ප්‍රීතිවන ලදි. නමුත් ඔහුගේ භාර්යාව වූ මීඛල් එය හෙළා දැක්කාය. (1 ලේකම් 15:27-29; 2 සාමුවෙල් 6:14-16)

ඇයගේ එම ක්‍රියාව හේතුවෙන් ඇය මිය යනතුරු ඇයට දරුවෙක් නොලැබුණි. (2 සාමුවෙල් 6:20-23)

දෙවියන්වහන්සේගේ සෙනඟ ආත්මයෙන් කරනා දේ වලට විහිළු නොකරන්න.

ස්වභාවයෙන් අප උදහසේ දරුවන් මෙන් සිටි අතර දෙවියන්වහන්සේ දයාවෙන් කරුණාවෙන් අනුග‍්‍රහයෙන් අපව ගැළවන්නට මුදවන්නට අපට ප්‍රේම කරන්නට පොහොසත්ව සිටිසේක.

දෙවියන්වහන්සේ යේසුස්වහන්සේ තුළින් මේ පොලොවේ කරන්නට යන දේ පරණ ගිවිසුමේ යෙසායා අනාගතවක්තෘ හට එළිදරව් කරන ලදි.

යෙසායා 9:6
මක්නිසාද අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙනලද්දේය; ආණ්ඩුවද උන්වහන්සේගේ කර පිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවියන්වහන්සේය, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය.
(හඬගසනු ලබන්නේය).

යේසුස්වහන්සේට තම නාමය ලැබුණේ මෙම බයිබල් පදයේ සඳහන් ලෙස ළදරුවෙක්, පුත‍්‍රයෙක්. ආණ්ඩුව යන කාරණා තුන සිදුවීමෙන් අනතුරුවය.

පළමුව, යේසුස්වහන්සේට ළදරුවෙක් වෙන්ට සිදුවුණි. ඉන්පසු උන්වහන්සේට පුත‍්‍රයෙක් වෙන්ට සිදුවුණි. අනතුරුව උන්වහන්සේට ආණ්ඩු කිරීමට, රජකම් කිරීමට අවස්ථාව දෙවියන්වහන්සේ ලබාදුනි.

දෙවියන්වහන්සේ ලොව මැවීමෙන් පසු මනුෂ්‍යයාගේ මැවීම ගැන ශුද්ධවූ ත්‍රිත්වය එක්ව කථා කරන ලදි.

උත්පත්ති 1:26-27-28
26 තවද දෙවියන්වහන්සේ: අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ; ඔව්හු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයෙහි පක්ෂීන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුළු පොළොව කෙරෙහිද පොළොව පිට බඩගා යන සියල්ලන් කෙරෙහිද ආණ්ඩුකෙරෙත්වයි කීසේක. 27 දෙවියන්වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූසේක, දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවූසේක; පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවූසේක. 28 දෙවියන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකළසේක; දෙවියන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත් කර ගන්න; මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්නැයි කීසේක.

මනුෂ්‍යයාගේ මැවීමේදී දෙවියන්වහන්සේගේ ස්වරූපය, සමානත්වය හා ආණ්ඩුබලය ආදම්ට ලැබුණි.

දේව වචනයේ එකම දේ තැන් කිහිපයකම සඳහන්ව ඇත්තේ එය අප තේරුම්ගන්නා පිණිසත් අපගේ මනසේ හොඳින් තැන්පත් වන පිණිසත්ය.

දෙවියන්වහන්සේ පළමු මනුෂ්‍යයා සෑදුවේ ජීවමාන ප‍්‍රාණයක් ලෙසටය.

උත්පත්ති 2:7
7 ස්වාමිවූ දෙවියන්වහන්සේ භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම හෙළූසේක; එවිට මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක්* විය. (* එනම්, සත්වයෙක්)

දෙවියන්වහන්සේ මනුෂ්‍යයා සාදා ඔහුට බෝවෙන්න, වැඩිවෙන්න, පූර්ණ කරන්න හා සියලු දේ යටත්කරගන්න ආධිපත්‍යය දෙන ලද්දේය.

මනුෂ්‍යයා දෙවියන්වහන්සේට අකීකරුවීමෙන් පසු ඔහු තුළ තිබූ ජීවනය නැතිවුණේය. දෙවියන්වහන්සේ සමඟ තිබූ සම්බන්ධකම බිදුණි.

‍උත්පත්ති 2:18-24
ස්වාමිවූ දෙවියන්වහන්සේ කථාකොට: මනුෂ්‍යයා තනියම සිටීම හොඳ නැත; ඔහුට සුදුසු සහකාරියක් සාදාදෙන්නෙමියි කීසේක.

මනුෂ්‍යයා තනිව සිටි විට සතුරු බලපෑමක් ඇති නොවුණි. නමුත් ස්ත්‍රිය සෑදු පසු යක්ෂයා ඔවුන්ව පාපයට දමන්නට අවස්ථාවක් සෙවීය.

ඒව සර්පයා සමඟ සහභාගිකමක් ඇති කර ගන්නා කල, ආදම් ඇය අසලම සිටියේය. නමුත් ඇය සර්පයාගේ හඬට සවන් දුන්නාය. දේව අණට විරුද්ධ සිතුවිලිවලට ඇයගේ මනස විවර කළාය.

ඔබගේ ජීවිතයේ පවා දේව හඬට පටහැනි සිතුවිලි මනසට පැමිණෙන විට ඒවාට එරෙහිව නැගී සිටින්න; ඒවාට ඉඩ නොදී ඊට එරෙහිව ක්‍රියා කරන්න. දේව වචනය මෙහෙහි කරන්න.

ස්වාමිවූ දෙවියන්වහන්සේ භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම හෙළූසේක; එවිට මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් විය.

මනුෂ්‍යයා පව් කිරීමෙන් ඔවුන්ගේ සහභාගිකම නැතිව ගියායින් පසු නැවත මනුෂ්‍යය වර්ගයාව දෙවියන්වහන්සේ සමඟ සමාදාන කරන පිණිස යේසුස්වහන්සේට මේ පොළොවට දෙවියන්වහන්සේගේ ශුද්ධ ලේ ගෙන ඒමට සිදුවූයේය. එමනිසා යේසුස්වහන්සේ කන්‍යාවක් තුළින් මෙලොවට පැමිණිසේක.

පාපයට වැටුණු මනුෂ්‍යයාව නැවත පිහිටුවන පිණිස යේසුස්වහන්සේ
විශාල මිලයක් ගෙවූසේක.

ඒ නිසා, යේසුස්වහන්සේ ළදරුවෙක් මෙන් ඉපදී, පුත‍්‍රයෙක් මෙන් වර්ධනයවී, මනුෂ්‍යයා උන්වහන්සේ සමඟ රජකම්කරන පිණිසත්, ආණ්ඩුකරන පිණිසත් සතුරාගේ බලය පරාජය කරමින් මුදවා ගත්සේක.

1 කොරින්ති 15:45‭-‬50 එසේම: පළමුවෙනි මනුෂ්‍යයාවූ ආදම් ජීවමාන ප්‍රාණයක් වුණේයයි ලියා තිබේ. අන්තිම ආදම් ජීවනදායක ආත්මයක් විය. එසේවී නුමුත් ප්‍රථමවන්නේ ආත්මික එක නොව ස්වාභාවික එකය; පසුව ආත්මික එක විය. පළමුවෙනි මනුෂ්‍යයා භූමියෙන්ය, භූමිකය. දෙවෙනි මනුෂ්‍යයා ස්වර්ගයෙන්ය. භූමික තැනැත්තා යම්සේද භූමිකයොත් එසේමය. ස්වර්ගීක තැනැත්තා යම්සේද ස්වර්ගීකයොත් එසේමය. අපි භූමිකවූ තැනැත්තාගේ රූපය දැරුවා සේම ස්වර්ගීක තැනැත්තාගේ රූපයද දරන්නෙමුව. ඉතින්, සහෝදරයෙනි, මාංසයට හා රුධිරයට දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකරගන්ට බැරි බවත් දිරන ස්වභාවට නොදිරන ස්වභාව උරුමකරගන්ට බැරි බවත් කියමි.

මනුෂ්‍යයා මාංසයෙන් පව්කොට මාංසාකාරයට පත්වුණේය. දෙවියන්වහන්සේට අවශ්‍ය වූයේ ඔහුව නැවත ආත්මික තලයට ගෙන ඒමටය.

දෙවියන්වහන්සේට අවශ්‍ය වූයේ ආදම්ව මවා තැබුවාවූ ස්ථානයටත් දේව දූතයන්ටත් වඩා උසස් ස්ථානයකට මනුෂ්‍යයාව පත්කිරීමටය.
පළමුව, දෙවියන්වහන්සේ, ඉන්පසුව මනුෂ්‍යයන්ට උරුමවන ස්ථානය ලබා දීමටය. මක්නිසාද දේවදූතයන් මනුෂ්‍යයන්ගේ සේවකයන්ය.

පළමුවෙනි මනුෂ්‍යයාවූ ආදම්ව දූවිල්ලෙන් සෑදු අතර, අන්තිම ආදම් ලෙස යේසුස්වහන්සේ කන්‍යාවක් තුළින් ආත්මික තලයෙන් මෙළොවට පැමිණියේය. අන්තිම ආදම් යේසුස්වහන්සේමය.

පළමුවෙනි මනුෂ්‍යයා ආදම් භූමිකය. දෙවෙනි මනුෂ්‍යයා යේසුස්වහන්සේ ස්වර්ගයෙන්ය.

යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටි කුළුඳුළාය. අප සියල්ලෝ ඉන්පසු උන්වහන්සේගේ ලැයිස්තුවට අයිතිවූවන්ය.

යේසුස්වහන්සේ ඉහළින් පැමිණ ස්වර්ගයෙන් උපත ලැබුවාසේම. අපද ඉහළින් ස්වර්ගීය උපත ලබා ගත යුතුය.

අප පොළොවේ දෙමාපියන්ට දාව මෙලොවට උපත ලැබීම අපගේ පළමු උපතය. අපට ස්වර්ගය උරුම කර ගැනීමට දෙවන උපත අත්‍යවශ්‍යයි. අප නැවත ඉපදීමෙන් යේසුස්වහන්සේ හා සමාන වන්නෙමු.

අප යේසුස්වහන්සේ හා සමාන වන්නේ අපගේ පිටාතර පෙනීමෙන් නොව, නමුත් අපගේ ආත්මය යේසුස්වහන්සේ හා සමාන වන්නෙමු.


Watch the Sermon Video

Read 262 times