+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යේසුස්වහන්සේගේ නාමයෙන් අපට ලැබී තිබෙන ප්‍රයෝජන - යෝෂා මනූ
December 4, 2022 Sunday Sermon Notes

 

අපගේ ගැළවුම්කරු ජීවමානව සදාකාලයටම ජීවත්වන්නාවූ දෙවියන්වහන්සේය.
ඒ ජීවනයම අපටත් ලැබී ඇත.

දෙවියන්වහන්සේ ජීවමාන බව අප අදහා ඒ ජීවනය තුළ අප ජීවත්වන හෙයින් අප උන්වහන්සේට ස්තූති කළ යුතුය.

ඔබගේ දෙවියන්වහන්සේ කොහේදැයි අසන අය හට, "මාගේ දෙවියන්වහන්සේ මා හද තුළ රජකම් කරමින් ජීවමානව වැඩවසන බව පවස්න්නෙමි."

උන්වහන්සේ වචනයෙන් මා හට පොරොන්දු දී ඇත. මා ඒවා අත් නාරින්නෙමි යයි මා පැවසිය යුතුය.

ඇදහිල්ලෙන් ගමන් කරනවා යනු නොපෙනෙන දේ කෙරෙහි විශ්වාස කිරීමයි.

ආබ‍්‍රහම් දෙවියන්වහන්සේව සැක නොකොට උන්වහන්සේ සමඟ සම්බන්ධතාවය නොකඩවා ගෙන යන ලදි.

අපද ඇදහිල්ලෙන් වර්ධනය වෙමින් දෙවියන්වහන්සේ තුළ ජීවත් විය යුතුයි.

දෙවියන්වහන්සේ යේසුස්වහන්සේට තැබූ නාමයේ අර්ථය - ගැළවුම්කරුය.

උන්වහන්සේ අපගේ ගැළවුම්කරු නම් උන්වහන්සේ අපට දුන් ගැළවීම තුළින් අප ලබා ගත්තේ කුමක්ද?

දෙවියන්වහන්සේ මනුෂ්‍යයා මැවූ විට ඔහු ජීවමාන ප‍්‍රාණයක් විය. පළමු මනුෂ්‍යයා ආදම් මාංසික තලයට පමණක් සීමා වූයේය.
යේසුස්වහන්සේ දෙවන ආදම් ලෙස පැමිණෙන ලදි. උන්වහන්සේ ජීවමාන ආත්මයක් වූසේක.

1 කොරින්ති 15:45‭-‬50 පවසන්නේ මේ ආකාරයටයි.
ආදම්, පළමුවැනි ආදම්, පළමුවෙනි මනුෂ්‍යයා, ඔහු ජීවමාන ප්‍රාණයක් වූයේය. ප්‍රථම වන්නේ ස්වාභාවික කෙනා ඔහු භූමියෙන් නිසා භූමිකය. ආදම්ව භූමියෙන් දූවිල්ලෙන් මවනු ලැබීය.

යේසුස්වහන්සේ අන්තිම ආදම්, එතුමා දෙවෙනි මනුෂ්‍යයා ය, එතුමාණන් ජීවනදායක ආත්මයක් වූසේක.

1 කොරින්ති 15:48-50
ස්වර්ගීක තැනැත්තා යම්සේද ස්වර්ගීකයොත් එසේමය. 49 අපි භූමිකවූ තැනැත්තාගේ රූපය දැරුවා සේම ස්වර්ගීක තැනැත්තාගේ රූපයද දරන්නෙමුව. 50 ඉතින්, සහෝදරයෙනි, මාංසයට හා රුධිරයට දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකරගන්ට බැරි බවත් දිරන ස්වභාවට නොදිරන ස්වභාව උරුමකරගන්ට බැරි බවත් කියමි.

දෙවියන්වහන්සේට අවශ්‍ය වූයේ පාපයට ශාපයට වැටුණු මනුෂ්‍යයාව නැවත වාරයක් දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධ කිරීමටය.

දෙවියන්වහන්සේට යේසුස්වහන්සේව මෙළොවට එවන්නට සිදුවූයේ, මනුෂ්‍යයාගේ ස්වභාවය පව්කාර වූ නිසාත් මනුෂ්‍යයාගේ පාපය වෙනුවෙන් ලේ වැගිරීමක් සිදුවිය යුතු නිසාත් ය.

වැටුණු මනුෂ්‍යයාව නැවත දෙවියන්වහන්සේ වෙතට සම්බන්ධ කරගන්නට කිසිම මනුෂ්‍යයෙකු මේ පොළොවේ නොසිටි හෙයින් යේසුස්වහන්සේම මනුෂ්‍යයෙකු මෙන් පැමිණිසේක.

ඒ තුළින් දෙවියන්වහන්සේගේ ආත්මයත්, අපගේ ආත්මයත් දැන් එක්වී තිබේ. (1 කොරින්ති 6:17)

යුදෙවිවරුන්ගේ ප‍්‍රධානියෙක්ව, ඉශ‍්‍රායෙල්හී ගුරුවරයෙක්වූ නිකදේමුස් රාත්‍රියෙහි යේසුස්වහන්සේ වෙත පැමිණ පැවසුවේ, "ඔබ දෙවියන්වහන්සේ කෙරෙන් ආ කෙනෙක් බව දනිමි" කියාය.

නැත්නම් ඔබ කරන්නාවූ මේ හාස්කම් කරන්ට කිසිවෙකුට නුපුළුවනැයි ඔහු කීවේය.

යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින් පැවසුවේ, යමෙක් අලුතෙන් නූපන්නොත් ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යය දකින්ට නොහැකියයි ඔහුට කීසේක.

නිකොදේමුස් උන්වහන්සේට කථාකොට: මනුෂ්‍යයෙක් මහලුව සිටියදී උපදින්ට පුළුවන් කොහොමද? දෙවෙනි වර මවුකුසට ඇතුල්ව උපදින්ට පුළුවන්දැයි උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹට කියමි–යමෙක් වතුරෙන්ද ආත්මයාණන්ගෙන්ද නූපන්නොත් ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වෙන්ට බැරිය.

යොහන් 3:1‭-‬5

කෙනෙකු දේව රාජ්‍යය දකින්නට හෝ ඇතුලුවෙන්නට ඕනේ නම්, තමා නැවත ඉපදිය යුතුය.

නිකදේමුස්ට මෙම නව උත්පාදනය ගැන ඇතිවූ ප‍්‍රශ්නයට යේසුස්වහන්සේ ඔහුට පැහැදිලිව පිළිතුරු දුන්සේක.

යේසුස්වහන්සේට කන්‍යාවක් තුළින් ළදරුවෙක් ලෙස ඉපදෙන්නට සිදුවුණි. ඒ ආකාරයටම අපත් යේසුස්වහන්සේ මෙන් නව උත්පාදනයක් ලබා ගත යුතුය.

යෙසායා 9:6
මක්නිසාද අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙනලද්දේය; ආණ්ඩුවද උන්වහන්සේගේ කර පිට තිබෙන්නේය.

ලූක් 1:31‭-‬33
බලව, නුඹ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකරන්නීය, උන්වහන්සේට යේසුස් යන නාමය තබන්න. උන්වහන්සේ උතුම්ව මහෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝයයි කියනු ලබනසේක. උන්වහන්සේගේ පියවූ දාවිත්ගේ සිංහාසනය දෙවිවූ ස්වාමීන්වහන්සේ උන්වහන්සේට දෙනසේක. උන්වහන්සේ යාකොබ්ගේ වංශය කෙරෙහි සදාකාලේටම රජකම්කරනසේක; උන්වහන්සේගේ රාජ්‍යය කෙළවර නොවන්නේයයි කීයේය.

බිළින්ඳා වර්ධනයවී පුත‍්‍රයෙකු බවට පත්වූයේය. යෙසායා 9:6
පදය මෙමගින් සනාථවේ.

ලූක් 2:11-12
මක්නිසද ස්වාමිවූ ක්‍රිස්තුස් නම් ගැළවුම්කාරයෙක් නුඹලාට දාවිත්ගේ නුවර අද උපන්සේක. 12 රෙදිවලින් ඔතා ගවයන් කන ඔරුවක බාවා ඉන්න ළදරුවෙක් නුඹලාට සම්බවන්නේය; මේක නුඹලාට ලකුණයයි කීවේය.

මෙම පදයේ පැවසූ දේ අනාගතවක්තෘ යෙසායා පවසා තිබුණි.

යෙසායා 7:13‭-‬16
එවිට ඔහු කථාකොට: එම්බා දාවිත්ගේ වංශය, ඉතින් අසන්න නුඹලා මාගේ දෙවියන්වහන්සේ වෙහෙසන්නේ මනුෂ්‍යයන් වෙහෙසනවා මදිවාටද? එබැවින් ස්වාමීන්වහන්සේම නුඹලාට ලකුණක් දෙනසේක; බලව, කන්‍යාව ගර්භීණීව පුත්‍රයෙකු වදා, එම්මානුවෙල් යන නම ඔහුට තබන්නීය.
15 ඔහු නපුර එපාකොට යහපත තෝරාගන්ට දැනගන්නා කල, දීකිරිත් මීපැණිත් කන්නේය. 16 මක්නිසාද දරුවා නපුර එපාකොට යහපත තෝරාගැනීම දැනගන්ට පළමුවෙන් නුඹ භයවෙන රජවරුන් දෙදෙනාගේ දේශය අත්හරිනු ලබන්නේයයි කීවේය.

(1)
මක්නිසාද අපට ළදරුවෙක් උපන්නේය. යේසුස්වහන්සේ මේ පොළොවට ඉපදුනේ කුඩා බිළින්ඳෙකු මෙනි.
දේව වචනය පවසන්නේ
ළදරුවෙක්=ජනිත කළා කියාය. ඉංග්‍රීසියෙන් (Begotten)

ක්‍රියා 13:33 එසේම: නුඹ මාගේ පුත්‍රයාය, අද නුඹ ජනිතකෙළෙමියි දෙවෙනි ගීතිකාවේ ලියා තිබේ. (ගීතාවලිය 2:7)

හෙබ්‍රෙව් 1:5
මක්නිසාද: නුඹ මාගේ පුත්‍රයාය, මම අද නුඹ ජනිතකෙළෙමියි කියාත්, මම ඔහුට පියෙක් වන්නෙමි, ඔහු මට පුත්‍රයෙක් වන්නේය කියාත්, දේවදූතයන්ගෙන් කවරෙකුට යම් කලක උන්වහන්සේ කීසේක්ද?

හෙබ්‍රෙව් 5:5
එසේම ක්‍රිස්තුස්වහන්සෙත් උත්තම පූජකයෙක් වීමේ ගෞරවය තමන්වහන්සේම ගත්තේ නැත. නුමුත්: නුඹ මාගේ පුත්‍රයාය, මම අද නුඹ ජනිතකළෙමියි උන්වහන්සේට කී තැනන්වහන්සේ ඒ ගෞරවය දුන්සේක;

ගැළවීම ලබන විට අපි රෝම 10:9 පදය ප‍්‍රකාශ කරන්නෙමු.

යේසුස්වහන්සේ පිළිගැනීමෙන් හා උන්වහන්සේගේ නාමය අදහා ගැනීමෙන් යොහන් 1:12 අනුව අපි දෙවියන්වහන්සේගේ දරුවන් බවට පත්වන්නෙමු.

යේසුස්වහන්සේගේ නාමයෙන් විශ්වාස කිරීමෙන් අපට ලැබී තිබෙන ප්‍රයෝජන අපි බලමු.

යේසුස්වහන්සේගේ නාමය අදහා ගැනීමෙන් අපි නව උපතක් ලබාගත්තෙමු.

යොහන් 1:12
නුමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, (විශ්වාසකරන්නෝද) ඔවුන්ට දෙවියන්වහන්සේගේ දරුවන් වෙන්ට උන්වහන්සේ බලය දුන්සේක.

යම් පමණ දෙනෙක් පිළිගත්තෝද එනම්, මේ ආරාධනාව තිබෙන්නේ සියලු දෙනාටමය. යොහාන් 3:16

කෙනෙකුට ගැළවීම ලබා ගැනීමට අවශ්‍යය නම් ඒ අය ඇදහිල්ලෙන් උන්වහන්සේව පිළිගත යුතුයි. ප‍්‍රතික්ෂේප කරන කෙනාට දෙවියන්වහන්සේගේ දොරවල් වැසී ඇත.

පිළිගැනීම යනු, උන්වහන්සේට ආරාධනා කිරීම, හද තුළට කැඳවීමත් ජීවනය වැළඳ ගැනීමත්.

යේසුස්වහන්සේගේ නාමය කෙරෙහි ඇදහිල්ල තැබීම යන්නෙන් අදහස් වන්නේ
උන්වහන්සේගේ නාමය නියෝජනය කරන සෑම දෙයක්ම විශ්වාස කිරීමත් උන්වහන්සේගේ නාමයේ බලයෙන් උන්වහන්සේ ඉගැන්වූ දේ ක්‍රියාවට නැංවීමත්ය.

එසේම උන්වහන්සේ අපට දරුවන් වෙන්ට බලය සහ ආධිපත්‍යය දෙනු ලබන්නේය.

අපට දරුවන් වෙන්ට හැකියාව, පුලුවන්කම, අවසරය, ශක්තිය, හා අයිතියද මේ තුළින් ලැබේ.

දරුවන් මෙන් ක්‍රියා කිරීමේ නිදහස, දරුවන් ලෙස ක්‍රියා කිරීමේ අයිතිය දෙවියන්වහන්සේ විසින් දෙනු ලබන්නේය. මෙය කිසි සීමාවක් නැති බලය ලබා ගැනීමයි.

මෙමෙ බලය අපට පවරණු ලැබුවේ දරුවන් මෙන් නියෝජනය කරන පිණිසත්, වගකීමක් ඇතුව ක්‍රියා කරන පිණිසත්.

ආධිපත්‍යයෙන් ක්‍රියාකරන්නට නම් අපි ළදරුභාවය අත් හැර දරුවන් මෙන් වර්ධනය විය යුතුය.

අපගේ ඇදහිල්ලේ ගමන දේව වචනය සමඟ වර්ධනය කරගත යුතුය.

යොහන් 1:13‭
ඔව්හු (දරුවන්) ලෙයෙන්වත් මාංසයේ කැමැත්තෙන්වත් මනුෂ්‍යයාගේ කැමැත්තෙන්වත් නොව දෙවියන්වහන්සේගෙන් උපන්නෝය.

අප නව උපත ලබනුයේ ආදම්ගේ ලේ වලින් නොව, දෙමාපියන්ගේ කැමැත්තෙන් නොව, අපගේ කැමැත්ත නිසාද නොව, ස්වර්ගීය පියාණන්ගේ කැමැත්තෙනි. එය උන්වහන්සේම අපව තොරාගත් නිසාමය.

ලූක් 2:52
යේසුස්වහන්සේ ප්‍රඥාවෙන් හා උස මහතින්ද දෙවියන්වහන්සේගෙත් මනුෂ්‍යයන්ගෙත් කරුණාවෙහිද වැඩුණුසේක.

ආත්මික දරුවන් ලෙස නව උපත ලබා, දේව රාජ්‍යයට නැවත ඉපද සිටින අප, මෙම නව උපත තුළ දේව වචනය තුළින්, දිව්‍යමය ප‍්‍රඥාවෙන්, දේව කරුණාවෙන් වර්ධනය විය යුතුමය.

අපි කිරි ආහාර වලින් පෝෂණය වී දැඩි ආහාර ලබන්ට පුරුදු වෙමු.

අප දේව වචනය තුළින් මාංසය කපා දැමිය යුතුය.

දේව වචනය ජීවමානය, බලවත්ය, කොයිම දෙමුහත් කඩුවකටවත් වඩා තියුණුය, ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇටමිදුළුද වෙන්කරන තරමට කාවදින්නේය, සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය.
හෙබ්‍රෙව් 4:12

අප අපවද ආරක්ෂා කරගෙන අන් අය උදෙසාද යාච්ඤා කරන මට්ටමට වර්ධනය විය යුතුය.

අපගේ ජීවිතයේ දෙවියන්වහන්සේගේ අනුග‍්‍රහයෙන්, උන්වහන්සේගේ ශුද්ධකමින් අප ජීවත්වී මනුෂ්‍යයන්ට අප උපස්ථාන කළ යුතුය.

එම මට්ටමට පැමිණෙන පිණිස අප දේව වචනයෙන් පෝෂණය ලබා, වර්ධනය වී, ස්වාමීන්වහන්සේ සමඟ ඇති සම්බන්ධකම ගොඩ නඟා ගැනීම වැදගත් වේ.

1 කොරින්ති 13:11 මම බාලයෙක්ව සිටිය කල බාලයෙකු මෙන් කථාකෙළෙමි, බාලයෙකු මෙන් සිතුවෙමි, බාලයෙකු මෙන් කල්පනා කෙළෙමි. දැන් මම වැඩි වයසට පැමිණ සිටින බැවින් බාලයාගේ දේවල් අත්හැර සිටිමි.

ගැළවීම ලබාගත් පසු අපගේ මනස වෙනස්කර ගැනීමට කාලයක් ගතවේ.

ලෝකාකාරව තිබුණු මනස (සිත) අලුත්කර ගමු. රෝම 12:1-2

බාලයෙකු මෙන් අප සිතූ දේ කළාවූ දේවල් අත් හැරිය පසු අපි වර්ධනයවීමට පටන් ගන්නෙමු.


Watch the Sermon Video

Read 250 times