+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යේසුස්වහන්සේගේ නාමය තුළින් අපට පව් කමාව තිබේ - යෝෂා මනූ
January 29, 2023 Sunday Sermon Notes

 

ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ වචනය තුළින් නිතරම අපට කථා කරන සේක.

උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ කථා කරන දෙවියන්වහන්සේය. අප උන්වහන්සේගේ හඬට ඇහුම්කන් දිය යුතුය.

දෙවියන්වහන්සේගේ හඬ තිබෙන්නේ දේව වචනය තුළයි. බයිබලය නොකියවන්නේ නම් ඔබට දේව හඬට ඇහුම්කන් දිය නොහැකිය.

අප දිනපතා දේව වචනය කියවමින් ශක්තිමත් විය යුතු අතර, අප වචනය තුළින් අන්‍යයන්ට කථා කළ යුතුය. ඒ සදහා දේව පොරොන්දු අපහට අපගේ හදවතේ ලියා ගත හැකිය.

ගීතාවලිය 25:1
මාගේ දිව දක්ෂ ලියන්නෙකුගේ පන්හිඳ වේ.

අප දෙවියන්වහන්සේගේ වචනයට මුල් ස්ථානය දෙන දරුවන් වෙමු.

යේසුස්වහන්සේගේ නාමයෙන් අපට පව්කමාව ලැබී ඇත.

යේසුස්වහන්සේගේ නාමය තුළින් දෙවියන්වහන්සේ අපගේ පව්කාර ජීවිතය සම්පූර්ණයෙන්ම පවිත‍්‍ර කළසේක.

අපි යේසුස්වහන්සේව අපගේ ජීවිතයට පිළිගත් දින අපගේ පාපයට කමාව ලබා ගැළවීම ලබාගත්තෙමු. (ක්‍රියා 4:12)

සියල්ලන්ටම ගැළවීම ලබා ගැනීමට ඇති එකම උතුම් නාමය යේසුස් වේ.

යේසුස්වහන්සේට මේ පොළොවට පැමිණ මනුෂ්‍යයාව පාපයෙන් ගළවන්නට සිදුවූයේ ආදම් පව් කළ නිසයි.

දෙවියන්වහන්සේ ආදම් සහ ඒවට තහනම් කළ ගසෙන් ඵල කෑමෙන්, පාපයේ ස්වභාවය ඔවුන් තුළට ඇතුල් වූයේය. ඒ ඵල කන තුරු ඔවුන් පාපය කුමක්දැයි දැන සිටියේ නැත.

පාපය යනු දෙවියන්වහන්සේගෙන් වෙන්වීමය.

දෙවියන්වහන්සේ ජීවමානය, බලවන්තය, ශුද්ධය. උන්වහන්සේට අවශ්‍ය වන්නේ නිතරම මනුෂ්‍යයා සමඟ සම්බන්ධකම් පැවැත්වීමටය, සංවාදයෙහි යෙදීමටය.

ඒදන් උයනේදී දෙවියන්වහන්සේ හා මනුෂ්‍යයා අතර මෙම සමීප සබඳතාවය තිබුණු නමුත් මනුෂ්‍යයා තුළට පාපය ඇතුල්වීමෙන් මෙම සබඳතාවය බිඳී දෙවියන්වහන්සේගෙන් මනුෂ්‍යයා වෙන්වුණේය.

පාපය නිතරම මනුෂ්‍යයාව දෙවියන්වහන්සේගෙන් වෙන්කරයි.

පාපයෙන් ගළවීමට ඇති එකම මාර්ගය යේසුස්වහන්සේගේ නාමයයි.

ක්‍රියා 4:12
වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ මනුෂ්‍යයන් අතරේ දෙනලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේයයි කීවේය.

අපට කොපමන නම් තිබුණත් ඒ නාමවල ගැළවීමද පවිකමාවද නැත.

යේසුස්වහන්සේ ස්වාමීන් කියා අපේ මුවින් ප‍්‍රකාශ කර, එය හදවතින් පිළිගත් කල අපට ගැළවීම ලැබේ. එපමණක් නොව රෝම 10:10 අනුව අපට ධර්මිෂ්ඨකමද ලැබේ.

රෝම 10:10
මක්නිසාද මනුෂ්‍යයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහාගන්නේය. ගැළවීම පිණිස මුඛයෙන් කියාදෙන්නේය.

ධර්මිෂ්ඨකමේ දීමනාව යනු; මෙතෙක් කලක් දෙවියන්වහන්සේගෙන් වෙන්ව සිටි මා හට කිසිම භයක් නොමැතිව නිර්භීතකමින් දෙවියන්වහන්සේ වෙතට යා හැකි පරිදි යේසුස්වහන්සේ තුළින් සමඟි කිරීමය.

වෙන්වූ සෙනඟක්ව සිටි අපව යේසුස්වහන්සේ තුළින් සමඟි කරනු ලැබුවෙමු.

ලූක් 24:47
යෙරුසලමේ පටන් සියලු ජාතීන්ට පසුතැවිල්ල සහ පව්කමාවද උන්වහන්සේගේ නාමයෙන් ප්‍රකාශකරනු ලබන්ටත් යුතුයයි ලියා තිබේ.

ක‍්‍රියා 1:8 අනුව යේසුස්වහන්සේ ගෝලයන්ට පැවසුවේ ඔවුන් වෙත ශුද්ධාත්මයානන් පැමිණි කල ඔවුන් ලොව මුලුල්ලේ සාක්ෂිකාරයන් වන බවය.

පසුතැවිල්ල යනු දෙවියන්වහන්සේට විරුද්ධව මා අධර්මිෂ්ඨකමින් ජීවත්වූවත් දැන් එයින් හැරෙන්නට අවශ්‍යය යන්නය. එනම් අපගේ මනස වෙනස් කිරීමය.

ක‍්‍රියා පොතේ පේත‍්‍රැස් දේශනා කරමින් පැවසුවේ පසුතැවිලිවී බවිතිස්ම‍ය ලබා ගන්න කියාය.

ක්‍රියා 22:16
ඉඳින් ප්‍රමාදවෙන්නේ මක්නිසාද? නැගිට උන්වහන්සේගේ නාමයට යාච්ඤාකරමින්, බව්තීස්මය ලැබ, නුඹේ පව් සෝදාදමන්නැයි කීවේය.

කලින් පව්කාරව, අධර්මිෂ්ඨව, අන්ධකාරයෙහි ජීවත්වුනාවූ අප දැන් ශුද්ධයි, ධර්මිෂ්ඨයි, පවිත‍්‍රයි කියා අපගේ මනස අප වෙනස් කර ගත යුතුය. එසේ වන්නේ එය අපගේ මුඛයෙන් ප‍්‍රකාශ කිරීමෙන්ය.

ක්‍රියා 10:43
උන්වහන්සේ කෙරෙහි අදහන සියල්ලන්ට උන්වහන්සේගේ නාමය කරණකොටගෙන පාප කමාව ලැබෙන බවට සියලු අනාගතවක්තෘවරු උන්වහන්සේ ගැන සාක්ෂිදෙතියි කීවේය.

අප නිකමට යේසුස් යන නාමය පැවසුවාට ඵලක් නැත. අප එම නාමය අදහාගත යුතුය. ඒ නාමයෙන් පාප කමාව ලැබෙනුයේ අදහන සියල්ලන්ටයි.

ඉන් එහාට අපට එම නාමයෙන් ජය ලබාගත හැකිය. පොරොන්දු ඉටුකර ගත හැකිය.

1 යොහන් 2:12
මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලාට ලියා එවන්නේ, උන්වහන්සේගේ නාමය නිසා ඔබගේ පව් කමාකරනු ලැබූ බැවින්ය.

යේසුස්වහන්සේගේ නාමයෙන් අපට පව්කමාව ලැබී අප ධර්මිෂ්ඨයන් බවට පත්වේ.

යාකොබ් 5:14‭-‬15
නුඹලා අතරෙහි යමෙක් රෝගාතුරව සිටින්නේද? ඔහු සභාවේ වැඩිමහල්ලන්ට හඬගසාවා; ඔව්හු ස්වාමීන්වහන්සේගේ නාමයෙන් ඔහුට තෙල් ආලේපකොට, ඔහු උදෙසා යාච්ඤාකරත්වා. එවිට ඇදහිල්ලේ යාච්ඤාවෙන් රෝගාතුරයාට සුවය ලැබේ. ස්වාමීන්වහන්සේ ඔහු නැගුටුවනවා ඇත. ඔහු පාපයන්කර තිබේ නම්, ඒවා ඔහුට කමාකරනු ලැබේ.

රෝගී පුද්ගලයෙකුට යේසුස්වහන්සේගේ නාමයෙන් අත තබා කරන්නාවූ ඇදහිල්ලේ යාච්ඤාවෙන් ඔහු සුවය ලබයි.

ගැළවීම ලැබූ පසු අපට හිමිවන්නේ බැටළු ස්වභාවයකි. බැටළුවා එඬේරාගේ හඬ අසන්නා සේ අපද දෙවියන්වහන්සේගේ හඬ ඇසිය යුතුය.

යාකොබ් 5:19‭-‬20
මාගේ සහෝදරයෙනි, නුඹලා අතරෙන් යමෙක් සැබෑකමෙන් මුළාව ගියේද, යමෙක් ඔහු හරවාගන්නේ නම්, පව්කාරයෙකු තමාගේ මාර්ගයේ මුළාවෙන් හරවාගන්න තැනැත්තා ප්‍රාණයක් මරණයෙන් ගළවා, පව් රාශියක් වසන බව ඔහු දැනගනීවා.

මෙම දූෂිත ලෝකයේ පෙනෙන්නාවූ ඇසෙන්නාවූ දේ බැලීමෙන් ඇසීමෙන් අප වැලකී සිටිය යුතුය. නෝවාගේ කාලයේ මනුෂ්‍යයන් මෙන් අප නොවිය යුතුය. උත්පත්ති 6:12

නෝවාගේ නැවට ඇතුල්වූ අය ගැළවුනාසේ අපද ගැළවීමට යේසුස්වහන්සේ නැමැති නැවට ඇතුල්විය යුතුය.

ඔබ ගැළවීම ලැබූවායින් පසු නැවත ඔබගේ පරණ ස්වභාවයට ඉස්මතු වීමට ඉඩ නොදෙන්න.

ඔබගේ ජීවිතයේ ආලෝකය හා වෙනස මනුෂ්‍යයන් දැකිය යුතුයි. ඔබගේ ජීවිත සාක්ෂිය තවත් කෙනෙකුට දකින්නට ඉඩහරින්න.

1 කොරින්ති 6:9‭-‬10
නොහොත් අධර්මිෂ්ඨයන් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකරගන්නේ නැති බව නුඹලා දන්නේ නැද්ද? නොරැවටෙන්න. වේශ්‍යාකම්කරන්නෝවත් රූපවඳින්නෝවත් කාමමිථ්‍යාචාරිකයෝවත් ස්ත්‍රීන් ලෙස හැසිරෙන්නෝවත් පිරිමින් සමඟ අනාචාරකරන්නෝවත්, සොරුවත් (හොර, බොරු, වංචාව, රැවටිල්ල) ලෝභයෝවත් බේබද්දෝවත් නින්දා කරන්නෝවත් කොල්ලකන්නෝවත් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකර නොගන්නෝය.

අප ශුද්ධකමින් ජීවත් නොවන්නේ නම්, අපට දේව රාජ්‍යයට ඇතුල්විය නොහැක. දේව වචවය අසා අප ක‍්‍රියාවට නංවන්නේ නොමැතිනම් අප අපවම රවටා ගනී.

දේව රාජ්‍යය උරුම කර නොගන්නාවූ අය ඔවුන්ගේ ඵල වලින් හඳුනා ගත හැක.

1 කොරින්ති 6:11
නුඹලාගෙන් සමහරු එබන්දෝව සිටියෝය. නුමුත් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්ද අපගේ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් තුළද නුඹලා සෝදනු ලැබුවහුය, ශුද්ධකරනු ලැබුවහුය, ධර්මිෂ්ඨකරනු ලැබුවහුය.

අපගේ ජීවිතවල කලක් අශුද්ධ ඵල තිබුනද යේසුස්වහන්සේගේ නාමයෙන් අද අපි පවිත‍්‍රව ශුද්ධව සිටින්නෙමු.

අද මනුෂ්‍යයා සභාව තුළ අධර්මිෂ්ඨව, පාපිෂ්ඨව ජීවත්වන්නේ ඔවුන් තුළ දේව භයක් නොමැති නිසාය.

ක‍්‍රියා පොතේ ස්කේවාගේ පුත‍්‍රයන් පාවුල් දේශනාකරන්නාවූ යේසුස්වහන්සේගේ නාමයෙන් නපුරු ආත්ම දුරුකරන්නට තැත් කළ නමුත්, ඔවුන් යේසුස් යන නාමය අසා තිබුනද ඔවුන්ට එහි එළිදරව්වක් නොතිබූ හේතුවෙන් ඔවුන් එම නපුරු ආත්ම වැසී සිටි කෙනාගේ ප‍්‍රහාරයට ලක්වුණෝය. (ක්‍රියා 19:14-16)

ක්‍රියා 19:17
මෙය එපීසයෙහි විසූ සියලු යුදෙව්වරුන්ටද ග්‍රීක්වරුන්ටද දැනගන්ට ලැබුණේය; ඔවුන් සියල්ලන් කෙරෙහි භයක් පැමුණුණේය, ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයටද ගෞරව පැමුණුණේය.

ඔබ දෙවියන්වහන්සේගේ දරුවෙකුය, ඔබගේ පාපයට කමාව ලැබී තිබේ. ඔබ තුළ, දැන් ධර්මිෂ්ඨයි යන දැනගැනීමේ එළිදරව්ව තිබේ නම් ඒ තුළින් ඔබට භය නොවී ඕනෑම කෙනෙකුට යාච්ඤා කළ හැකි වේ.

අනනියස් සහ සප්පිරා එක්ව කළාවු වංචා ක‍්‍රියාව හේතුවෙන් ඔවුන් මරණයට පත්වුණෝය.

ක්‍රියා 5:5
අනනියස් ඒ වචන අසා වැටී මළේය. ඒ ඇසූ සියල්ලන්ට මහත් භයක් පැමුණුණේය.

ක්‍රියා 5:11
මුළු සභාවටද මේ දේ ඇසූ සියල්ලන්ටද මහත් භයක් පැමිණියේය.

ජීවිතයට දේව භය ඉතාම වැදගත්ය.


Watch the Sermon Video

Read 230 times