+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දේව භය - මනූ මැතානි
January 29,2023 Sunday Sermon Notes


දේව භය අපේ ජීවිතයට ඉතා වැදගත් වන්නේය.

අප දෙවියන්වහන්සේට ප්‍රේම කරනවා කීවත්, කොයි තරම් නමස්කාරකරනවා කීවත් දේව භයක් නොමැතිනම් ඵලක් නැත.

යක්ෂයා පවා කලක් ලුසිෆර් වන අග‍්‍ර දේවදූතයා ලෙස සිටිමින් දෙවියන්වහන්සේට නමක්කාරය මෙහෙයවූ අයෙකි. නමුත් ඔහු තුළ දේව භයක් නොතිබුණි.

ඔහු තුළ දේව භය නොතිබූ නිසා ඔහු දෙවියන්වහන්සේට විරුද්ධව කැරළි ගසන ලදි.

දේව භය අත්‍යවශ්‍ය දෙයකි.

දෙවියන්වහන්සේට ප්‍රේම කරමින් සේවය කරනවායයි කියන්නාවූ අය තුළ පවා දේව භයක් නොමැතිවීම ඔවුන්ගේ වැටීමට හේතුවෙයි.

ශුද්ධකමේ අලංකාරයෙන් ජීවත්වීමට අවශ්‍ය එකම දෙය දේව භයයි.

රෝම 11:20
හොඳයි; අවිශ්වාසකම නිසා ඒවා කඩාදමනලද්දේය, නුඹද නුඹේ ඇදහිල්ලෙන් ස්ථිරව සිටින්නෙහිය. උඩඟු නොවී, භයවෙන්න.

දේව භය නැති නිසා මනුෂ්‍යයන් උඩඟුකමෙන් ජීවත් වෙති.

දේව භය යනු දෙවියන්වහන්සේට අප දෙන්නාවු උසස්තම ගෞරවයයි. එය අපගේ යටි සිතේ තිබිය යුතුය.

රෝම 11:21-22
මක්නිසාද දෙවියන්වහන්සේ ස්වාභාවික අතු ඉතුරු නොකළසේක් නම්, නුඹවත් ඉතුරු නොකරනසේක.

එබැවින් දෙවියන්වහන්සේගේ යහපත්කමත් සැරකමත් බලන්න. වැටුණුවුන් කෙරෙහි සැරකමය; නුමුත් නුඹ උන්වහන්සේගේ යහපත්කමෙහි පවතින්නෙහි නම් නුඹ කෙරෙහි දෙවියන්වහන්සේගේ යහපත්කමය. එසේ නොපවතින්නෙහි නම් නුඹත් කපාදමනු ලබන්නෙහිය.

ඔබ දේව භය තුළ නොපවතී නම් දෙවියන්වහන්සේගේ සැරකමට (දඩුවමට) හසුවේ.

ඔබ දෙවියන්වහන්සේට භය ඇතිව සිටින විට ඔබ පාපයෙන් පලා දුවන්නේය.

අප මේ ගමන් කරන්නාවූ මාර්ගයේ, දීර්ඝ ගමනක් ගමන් කරමින් දෙවියන්වහන්සේගේ කාරණා අත් දැකීමට අවශය නම් දේව භය ඇතිව ගමන් කළ යුතුය.

1 පේත්‍රැස් 1:16-17
මක්නිසාද: මා ශුද්ධව සිටින හෙයින් නුඹලාත් ශුද්ධව සිටිය යුතුයයි ලියා තිබේ. තවද මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලා එකිනෙකාගේ ක්‍රියාවේ ප්‍රකාර විනිශ්චයකරන තැනන්වහන්සේට පියාණෝය කියා නුඹලා යාච්ඤාකරන්නහු නම්, නුඹලාගේ විදේශීව සිටීමේ කාලය භයින් පසුකරන්න.

නව ගිවිසුම තුළ අනුග‍්‍රහයෙන් ජීවත්වන අපට දේව භයක් අවශ්‍යය නැතැයි ඇතැමුන්ගේ මතයයි.

සමහරුන් බයිබලයේ පරිච්ඡේද වලින් තමුන්ට අවශ්‍ය වාසිදායක පද පමණක් උපුටා ගනී.

ගීතාවලිය 112:1
ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන් කෙරෙහි භයවන්නාවූ උන්වහන්සේගේ ආඥාවලට ඉතා ප්‍රියවන්නාවූ මනුෂ්‍යයා ආශීර්වාදලද්දෙකුය.

දේව භය සහ දේව වචනයට මහත් ලෙස ප්‍රිය කරන තැනැත්තාට මේ ගීතාවලියේ ලියා තිබෙන ආශීර්වාද අයිතිය.

දේව භය තිබෙන මනුෂ්‍යයා කවදාවත් තමාව රවටා නොගනී.

හිතෝපදේශ 28:13
තමාගේ වරද සඟවන්නා සඵල නොවන්නේය; එහෙත් ඒවා කියාදී අත්හරින්නාට කරුණාව ලැබේ.

දෙවියන්වහන්සේගේ වචනය අපට දෝෂාරෝපණයක් ගෙන දෙන්නේ නැත. නමුත් දෙවියන්වහන්සේගේ වචනය අපට අවවාද ගෙන දේ. උන්වහන්සේගේ වචනයෙන් අපට දෙවියන්වහන්සේගේ කැමැත්ත දැන ගත හැකිය.

නව ගිවිසුමට අනුව අනුග‍්‍රහය ලබා ගත යුතු තැනැත්තා තමාගේ පාපය කියාදී ඒවා අතහැර අනුග‍්‍රහය ලබා ගත යුතුය.

ශුද්ධාත්මයාණන්වහන්සේ අපට උගන්වා ඇති පරිදි දේව භය ඇතිව අප ජීවත්වන කල අපගේ ධර්මිෂ්ඨ ක‍්‍රියා සදහටම පවතී.

ගීතාවලිය 112:2‭-‬3
ඔහුගේ වංශය පොළොවෙහි බලවත්වන්නේය. අවංකයන්ගේ පරම්පරාව ආශීර්වාද ලබන්නේය. සම්පත්ද වස්තුද ඔහුගේ ගෙයි ඇත්තාහ. ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේය.

දේව භය ඇති මනුෂ්‍යයා සදහටම දෙවියන්වහන්සේගෙන් ඈත් නොවී ජීවත්වෙයි.
දේව භය ඇති මනුෂ්‍යයාට දීර්ඝ කාලයක් ධර්මිෂ්ඨකමින් ජීවත්විය හැක.

යේසුස්වහන්සේගේ සේවා කාලය තුළ උන්වහන්සේ ආගමීක නායකයන්ගේ ක‍්‍රියා හෙලා දකින ලදි. මන්ද ඒ අය සියල්ල කළේ මනුෂ්‍යයන්ට පෙනෙන්නට පිටාතර පෙනුමෙන් පමණි. එහෙත් ඔවුන්ගේ ඇතුළාන්තයේ දේව භයක් නොතිබුණි.

දෙවියන්වහන්සේ බලන්නේ ඔබගේ හදවතය. ඔබගේ හදවතින් උන්වහන්සේට භයව ජීවත්වන්න.

යෝසෙප් ඔහු තුළ තිබූ දේව භයෙන් ජීවත්වුණේය. ඔහුට සියල්ලන්ගේ ඇස් වසා පාපය කරන්නට තිබුණි. ඔහුගේ විශ්වාසවන්තකම නිසා ඔහුට පෝතිඵර්ගේ නිවසේ සියල්ලම ඔහුගේ යටතට භාරදෙනු ලැබුවේය.

සියල්ලන්ගෙන් වසන්කර වැරදි දේ කිරීමට මාංසය ඔබට අදහස් ගෙන දෙයි.

යෝසෙප් තමාට කොපමණ අලාභයක් සිදුවූවත් ඔහු තුළ තිබූ දේව භය නිසා නපුරු පාපයෙන් ගැළවුනේය.

උත්පත්ති 39:7‭-‬9
මින් පසු යෝසෙප්ගේ ස්වාමිහුගේ භාර්යාව ඔහු කෙරෙහි ඇස් හෙළා: මා සමඟ සයනයකරන්නැයි කීවාය. එහෙත් ඔහු අකැමතිව තම ස්වාමියාගේ භාර්යාවට කථාකොට: මාගේ ස්වාමියා වනාහි ගෙයි මා ළඟ තිබෙන කිසිවක් ගැන නොදනියි, ඔහු තමා සන්තක සියල්ලම මා අතට භාරදී තිබේ; මට වඩා උතුම් කෙනෙක් මේ ගෙයි නැත්තේය; නුඹ ඔහුගේ භාර්යාව බැවින් නුඹ මිස වෙන කිසිවක් මට තහනම් කරලා නැත. එහෙයින් මම මේ මහත් දුෂ්ටකම කර දෙවියන්වහන්සේට විරුද්ධව කෙසේ පව්කරන්නෙම්දැයි ඈට කීවේය.

ඔබ තුළ තිබෙන්නාවූ දේව භය ඔබව නපුරු දේවලින් වලක්වනවා ඇත.

අපගේ ජීවිතය ආරක්ෂා සහිතව ගෙන යාමට අපට ශුද්ධාත්මයාණන්වහන්සේ උපකාර කරණු ඇත.

අප දෙවියන්වහන්සේගේ වචනයට උසස්තම ගෞරවය දෙමින්, බයිබලයේ තිබෙන දේවල් අපගේ ජීවිතයට අදාල කර ගනිමින්, වචනයට කීකරුව ගමන් කරන්නේ අප තුළ ඇති දේව භය නිසයි.

දේව වචනය අපගේ සිතේ නිධාන කරගත යුතුයි.

ගීතාවලිය 119:11 ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිතේ නිධාන කරගතිමි.

දේව භය යන්නෙන් අදහස් කරන්නේ මේ වචනය අපගේ හදවත තුළ සඟවා ගනිමින් ආරක්ෂා කර ගැනීමයි. ඒ තුළින් අපට දෙවියන්වහන්සේට විරුද්ධව පව් නොකර ජීවත් විය හැකිවේ.

ස්වාමීන්වහන්සේගේ වචනයට කීකරුව ක‍්‍රියා කිරීමට අප තීරණය කර ගනිමු.


Watch the Sermon Video

Read 261 times