+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ස්වාමීන්වහන්සේ කෙරෙහි භයව නපුරෙන් දුරුවෙන්න - යෝෂා මනූ
August 7, 2022 Sunday Sermon Notes


සුවය ලබා ගැනීමට පියවර 7ක් යන පොතෙන් පැහැදිලිව පෙන්නුම් කරන්නේ සුවය දේව කැමැත්ත බවත් එය අපට ඇදහිල්ලෙන් ලබා ගැනීමට පුලුවන් බවත්.

දෙවියන්වහන්සේගේ සත්‍ය වචනයේ ආත්මික ආධිපත්‍යය අපි දැන ගත යුතුයි. දෙවියන්වහන්සේ අපව බලයෙන් පුරවා තිබෙනවා. අපි ආධිපත්‍යයෙන් සිටින විට නිර්භීතව, කිසි භියක් නැතිව සිංහයන් මෙන් අපට ප‍්‍රශ්නවලට මුහුණ දිය හැකියි.

ලූක් 10:19 යේසුස්වහන්සේ අපට සර්පයන් හා ගෝනුස්සන් පාගන්ට බලය සහ ආධිපත්‍යය දී තිබෙනවා.

සර්පයන් හා ගෝනුස්සන් යන්නෙන් අදහස් කරන්නේ යක්ෂ ආත්ම දුරු කරන බලය ගැනයි.

ලූක් 10:17-20 ඉන්පසු සැත්තෑදෙනා ප්‍රීතියෙන් හැරී ඇවිත්: ස්වාමිනි, ඔබගේ නාමය නිසා යක්ෂයෝ පවා අපට යටත්වෙතියි කීවෝය.
18 උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: සාතන් විදුලිය මෙන් අහසෙන් වැටුණා දුටිමි.
19 බලව, සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්ටත් සතුරාගේ මුළු ශක්තිය මැඩපවත්වන්ටත් මා විසින් නුඹලාට බලය දී තිබේ. කොයි දෙයකින්වත් නුඹලාට අන්තරායක් නොවන්නේය.
20 එසේවුවත් ආත්මයන් නුඹලාට යටත්වන නිසා නොව නුඹලාගේ නාම ස්වර්ගයෙහි ලියා තිබෙන නිසා ප්‍රීතිවෙන්නැයි කීසේක.

යේසුස්වහන්සේ අපට යක්ෂයන් දුරු කරන්නටත් ලෙඩ රෝග දුරු කරන්නටත් බලය දී තිබෙනවා.

යෙසායා 11:2-3
ස්වාමීන්වහන්සේගේ ආත්මය, එනම් ප්‍රඥාව හා නුවණේ ආත්මයද මන්ත්‍රණය හා බලයේ ආත්මයද දැනගැන්ම හා ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමේ ආත්මයද, උන්වහන්සේ කෙරේ පිහිටන්නේය. ස්වාමීන්වහන්සේ කෙරෙහි භයින් සිටීම උන්වහන්සේගේ ප්‍රීතිය වන්නේය;

මේ පදවලින් කථා කරන්නේ යේසුස්වහන්සේ තුළ තිබුණු ආත්මය ගැනයි. ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමේ ආත්මය අප තුළද තිබිය යුතුයි. ස්වාමීන්වහන්සේ කෙරෙහි භයින් සිටීම අපගේ ප්‍රීතියයි.

අපි ශුද්ධකමෙන් ජීවත්වීමෙන් දෙවි පී‍්‍රතිය අපට ශක්තිය ගෙන දෙයි

හිතෝපදේශ 3:7 නුඹ ඥානවන්තයෙකැයි සිතා නොගන්න; ස්වාමීන්වහන්සේ කෙරෙහි භයව නපුරෙන් දුරුවෙන්න.

නපුරෙන් දුරුවෙන්න යයි අර්ථවත් වන්නේ නපුරාගේ කි‍්‍රයාවන්ගෙන් දුරුවී සිටීමයි.

නපුරාගෙන් දුරුවී සිටීම යන්නෙහි තවත් අර්ථ කිහිපයක්ම තියෙනවා. එනම්: නපුරෙන් ඉවත්වන්න, නපුරට වෛරකරන්න,

නපුර ප්‍රතික්ෂේප කරන්න, නපුරෙන් හැරෙන්න, නපුර ඉවත් කරන්න, නපුර අවසන් කරන්න නපුර උදුරා දමන්න. නපුරට විරුද්ධව කැරළි ගසන්න, නපුරු දේවල් ජීවිතයෙන් ක්‍රියා විරහිත කරන්න සහ අහෝසි කරන්න.

නපුරාගෙන් ඈත්ව සිටීම දේව කැමැත්තයි.

යොහන් 10:10 සොරා එන්නේ සොරකම්කරන්ටත් මරන්ටත් විනාශකරන්ටත් පමණක්ය. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධිකලෙස ලැබෙන පිණිසත්ය.

හිතෝපදේශ 14:27
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම මරහුගේ මලපත්වලින් මිදීමට ජීවන උල්පතක්ය.

හිතෝපදේශ 16:6
කරුණාවත් සැබෑකමත් කරණකොට ගෙන අයුතුකම කමාකරනු ලැබේ; ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමෙන් මනුෂ්‍යයෝ නපුරෙන් දුරුවෙති.

නපුරෙන් දුරුවීම අපගේ වගකීමයි. දෙවියන්වහන්සේ අපගේ පාපයට අයුතුකම් වලට කමාව දී තිබෙනවා.

අපට දැන් උන්වහන්සේගේ කරුණාවෙන් අනුග‍්‍රහයෙන් සහ ලේ වල බලයෙන් ජීවත් විය හැකියි. උන්වහන්සේ අපට නව ආරම්භයක් දී තිබෙනවා. අපි නව මැවිල්ලක් වී සිටිමු.

යක්ෂයාගේ කි‍්‍රයා බිඳ හෙළා අපව අන්ධකාරයෙන් ආලේකයට ගෙන ආ සේක. අපව සාතන්ගේ බලයෙන් දෙවියන්වහන්සේ වෙතට ගෙන ඇවිත් තිබෙනවා.

දෙවියන්වහන්සේ අපගේ ජීවිනය හරවා අපව නව මැවිල්ලක් කළා. මේ ජීවනය අපි ආරක්ෂා කරමු.

හිතෝපදේශ 16:17
අවංක අයගේ මහා මාර්ගය නම් නපුරෙන් ඉවත්ව සිටීමය; තමාගේ මාර්ගය බලාගන්න තැනැත්තා තමාගේ ප්‍රාණය ආරක්ෂාකරගන්නේය. අපගේ සිත මනස අපි ආරක්ෂා කර ගමු.

අපගේ මනස අපි පවිත‍්‍රව තබාගමු. දේව හඬ අසන්නට අපි ශුද්ධව ජීවත් වෙමු. ස්වර්ගයේ පිහිටුවා තිබෙන මේ වචනය අපගේ හදවත් තුළ අපි පිහිටුවා ගමු.

හිතෝපදේශ 13:14 ප්‍රඥාවන්තයාගේ උපදේශය [උපදෙස්) මරණයේ මලපත්වලින් ගළවන ජීවන උල්පතක්ය.

යක්ෂයාගේ මලපත්වලින්, උගුල් වලින් ගැළවෙන්නට ස්වාමීන්වහන්සේ මාර්ගය අපට පෙන්වයි.

ගීතාවලිය 34:15 ස්වාමීන්ගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් උන්වහන්සේගේ කන් ඔවුන්ගේ මොරගැසීමටත් යොමා තිබේ.

ගීතාවලිය 97:10
ස්වාමීන්ට ප්‍රේමකරන්නෙනි, නපුරට වෛරකරව්. උන්වහන්සේ ස්වකීය ශුද්ධවන්තයන්ගේ ප්‍රාණ ආරක්ෂාකරනසේක; දුෂ්ටයන්ගේ අතින් ඔවුන් ගළවනසේක."

ස්වාමීන්වහන්සේ තමන්වහන්සේගේ පේ‍්‍රමවන්තයන්ට පවසන්නේ නපුරට වෛර කරන්න කියා.

දුෂ්ට යක්ෂයා මනුෂ්‍යයන්ට උගුල් අටවමින් විනාශ කරන්නට තැත් කළත් ස්වාමීන්වහන්සේ අපව ඒ සියල්ලෙන් ආරක්ෂා කරනසේක

අපි දානියෙල්ගේ ජීවිතය දෙස බලමු. දෙවියන්වහන්සේ දානියෙල්ගේ හදවත් ප‍්‍රඥාවෙන් පුරවා තිබුණි. ඔහු දේව භය ඇතුවා ජීවත් වූවා.

ඔහු දෙවියන්වහන්සේට වෙන්වූ ජීවිතයක් ගත කළ නිසා රජ මාළිගාවේ තිබුණු සමහර ආහාර කෑමෙන් පවා ඔහු වැලකී සිටියා

දානියෙල් දෙවියන්වහන්සේ ඉදිරියේ ශුදධ ජීවිතයක් ගත කළ නිසා උන්වහන්සේ ඔහුව ආරක්ෂා කළා.

දානියෙල් 6:1‭-‬9
මුළු රාජ්‍යයෙහි සිටීම පිණිස රාජ්‍යය කෙරෙහි දිසාපතීන් එකසිය විසි දෙනෙක්ද, රජුට අලාභ නොපැමිණෙන පිණිස ඒ දිසාපතීන්ගෙන් ගණන්ගැනීමට ඔවුන් කෙරෙහි අමාත්‍යයන් තුන්දෙනෙක්ද පත්කිරීමට දාරියුස් සතුටුවිය; ඒ තුන්දෙනාගෙන් දානියෙල් එක්කෙනෙක්ය. එකල මෙම දානියෙල් තුළෙහි උතුම් ආත්මයක් තිබුණු නිසා, ඔහු අමාත්‍යයන්ටත් දිසාපතීන්ටත් වඩා උතුම්විය; රජතෙමේ මුළු රාජ්‍යය කෙරෙහි ඔහු පත්කරන්ට සිතුවේය.

රජතුමා දානියෙල් තුළ තිබූ මේ උතුම් ආත්මය දුටුවා.

දැන් දෙවියන්වහන්සේ අපටත් යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටුවන ලද ආත්මය දී තිබෙනවා.

දානියෙල් 6:4 එකල අමාත්‍යයෝද දිසාපතීහුද රාජ්‍යය ගැන දානියෙල්ට විරුද්ධව කාරණයක් අල්ලාගන්ට සෙවුවෝය;

රජතුමා දානියෙල්ට පේ‍්‍රම කළ නිසාත් ඔහුගෙන් උපදෙස් ගන්නා පිණිස ඔහුට උසස් ස්ථානයක් දී තිබූ නිසා මනුෂ්‍යයන් ඔහුට ඊරෂ්‍යා කළා.

ඔබව දෙවියන්වහන්සේ යම් ස්ථානයක පත් කර තිබෙන්නේ නම් ඔබ දිගටම එම ස්ථානයේ ශුද්ධකමෙන් සිටින්න.

දානියෙල් 6:4 …නුමුත් කාරණයක්වත් දෝෂයක්වත් අල්ලාගන්ට ඔවුන්ට නොහැකිවිය;

මන්ද දානියෙල් දේව භයින් සිටියා, නපුරෙන් වැළකී සිටියා

දානියෙල් 6:4 …මක්නිසාද ඔහු විශ්වාසව සිටියේය, ඔහුගේ කිසි වරදක්වත් දෝෂයක්වත් සම්බ නොවීය.

දානියෙල් රජතුමාට පමණක් විශ්වාසව සිටියා නොවේ, ඔහු දෙවියන්වහන්සේට විශ්වාසවන්තව සිටියා.

දානියෙල් 6:5
එවිට ඒ මනුෂ්‍යයෝ: ඒ දානියෙල්ගේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව ගැන ඔහුට විරුද්ධව කාරණයක් අල්ලාගත්තොත් මිස නැත්නම් ඔහුට විරුද්ධව කාරණයක් අපට සම්බ නොවන්නේයයි කීවෝය.

මේ දානියෙල්ගේ කිසි වැරැද්දක් මේ අයට සොයාගන්නට බැරිවිය. දානියෙල් බොරු කීවේ නැහැ, අවංකකමෙන් සිටියා. ඔහුට විරුද්ධව යම් වැරැද්දක් සොයා ගන්නට නොහැකිවූ නිසා ඔහු නමස්කාර කරන දෙවියන්වහන්සේ ගැන වැරැද්දක් සොයා බලන්නට තැත් කළා.

දානියෙල්ට විරුද්ධව සිටිය අය ඔහුගේ වැරදි සොයාගන්නට බැරිවූ නිසා ඔහු යම් දෙයක් විශ්වාස කළාද ඒ ගැන වැරැද්දක් සොයන්නට තැත් කළා.

මේ පිටුපස ක‍්‍රියා කළේ යක්ෂයාය. මේ වාගේම යක්ෂයාද අපට විරුද්ධව පැමිණෙන්නේ අපගේ ඇදහිල්ල නවතා දමන්නට. අපව ඇදහිල්ලෙන් බිඳහෙළන්නට.

ඔබටත් විරුද්ධව යම් අය පැමිණෙන්නේ ඔබ මනුෂ්‍යයන්ට සාක්ෂි දැරීම නතර කරන්නටයි. ඔබගේ ඇදහිල්ල බාධා කරන්නට පැමිණෙයි.

ඔබ ඔබගේ තීරණ ආරක්ෂා කරගන්න, වෙනස් නොකරන්න.

දානියෙල් 6:6
එකල ඒ අමාත්‍යයෝද දිසාපතීහුද රජු වෙතට රැස්ව ඔහුට කථාකොට: දාරියුස් රජ්ජුරුවෝ සදාකාලයටම ජීවත්වේවා. රජ්ජුරුවෙනි, කවුරුනුමුත් තිස් දවසක් යන තුරු ඔබගෙන් මිස යම් දෙවි කෙනෙකුගෙන්වත් මනුෂ්‍යයෙකුගෙන්වත් කිසියම් අයදුමක් කළොත්, ඔහු සිංහ ගුහාවේ දමනු ලැබේය කියා රාජ පනතක් පනවා, ස්ථිර තහනමක් පිහිටුවන්ට රාජ්‍යයේ සියලු අමාත්‍යයෝද අධිපතිවරුද දිසාපතීහුද මන්ත්‍රීවරුද ආණ්ඩුකාරයෝද මන්ත්‍රණයකරගත්තෝය. ඉතින් රජ්ජුරුවෙනි, වෙනස් නොවන්නාවූ මේදවරුන්ගේද පර්සිවරුන්ගේද ව්‍යවස්ථාව ප්‍රකාරයට තහනම වෙනස් නොවී තිබෙන පිණිස, එය ස්ථිරකොට පත්‍රය අත්සන්කළ මැනවැයි කීවෝය. ඒ නිසා දාරියුස් රජ පත්‍රය හා නියමය අත්සන්කෙළේය.

දානියෙල්ගේ ජීවිතයේ වැරැද්දක් සොයාගැනීමට නොහැකිවූ ඔහුගේ විරුද්ධවාදීන් අවසානයේ ඔහු නමස්කාර කරන දෙවියන්වහන්සේ සම්භන්ධයෙන් කාරණාවක් අල්ලා ගැනීමට උගුලක් අටවන ලදි.

ඔවුන් රජතුමා පොළඹවා රජතුමාට හැර අන් කිසිවෙකුට නමස්කාර කළ නොහැකි අයුරින් ලියවිල්ලක් රජතුමා ලවා අත්සන් කර ගන්නා ලදි.

දානියෙල් සම්භන්ධ මෙවන් උගුලක් හා ඔවුන්ගේ කපටිකම රජතුමා නොදැන සිටියා.

දානියෙල් එය දැනගෙනත් තම නිවසට ගොස් සුපුරුදු ලෙස ඔහු දෙවියන්වහන්සේට නමස්කාර කරමින් යාච්ඤා කරන ලදි.

දානියෙල් 6:10
10 ඒ පත්‍රය අත්සන් කළ බව දානියෙල් දැනගත් විට, තමාගේ ගෙදරට ගොස්, තමාගේ උඩුමහලේ කවුළු යෙරුසලම දෙසට ඇරී තිබියදී, තමා ඊට පළමු කළාක්මෙන් දවසට තුන්වරක් දණින් හිඳ තමාගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි යාච්ඤාකොට ස්තුතිකෙළේය.

මෙය දානියෙල්ට ඇටවූ උගුලක් බව දැනගත් රජ ඔහුව ගැළවීමට උත්සහ කරන ලදි.

දානියෙල් 6:13‭-‬14
13 එවිට ඔව්හු රජු ඉදිරියේ උත්තරදෙමින්; රජ්ජුරුවෙනි, යූදාරටෙන් අල්ලාගන ආ තැනැත්තන්ගෙන් එක්කෙනෙක්වූ දානියෙල් ඔබ සහ ඔබ විසින් අත්සන්කළ තහනම නොසලකා, දවසට තුන් වරක් තමාගේ යාච්ඤාව ඔප්පුකරන්නේයයි කීවෝය. 14 රජ මේ වචන ඇසූ කල ඉතා අමනාපවී, දානියෙල් ගළවන්ට තමාගේ සිත ඔහු කෙරෙහි තබා, ඔහු නිදහස්කරන්ට ඉර බසින තුරු උත්සාහකෙළේය.

රජතුමාට අකමැත්තෙක් හෝ දානියෙල්ව සිංහ ගුහාවට දැමීමට සිදුවුනත් එම රාති‍්‍රයේ දෙවියන්වහන්සේ උන්වහන්සේගේ දූතයන් එවා දානියෙල්ව ආරක්ෂා කරා.

දානියෙල් 6:21‭-‬22
එවිට දානියෙල් රජුට කථාකොට: රජ්ජුරුවෙනි, ඔබ සදාකාලයටම ජීවත්වේවා. මාගේ දෙවියන්වහන්සේ තමන්ගේ දූතයා එවා, සිංහයන් මට අනතුරු නොකරන හැටියට උන්ගේ කටවල් පියෙවූසේක. මක්නිසාද උන්වහන්සේ ඉදිරියෙහි මා තුළ නිදොස්කම තිබුණේය; ඇරත් රජ්ජුරුවෙනි, ඔබ ඉදිරියේද මම කිසිවරදක් නොකෙළෙමියි කීවේය.

දුෂ්ඨ මනුෂ්‍යයන් ඉදිරියේ ඔබ ජීවත්වන විට දෙවියන්වහන්සේ ඔබව ආරක්ෂා කරනවා.
මනුෂ්‍යයන් කොපමණ උත්සහා කරත් ඔබව වට්ටන්න, ඔබට උගුල් අටවන්න, චරිත ගාතනය කරන්න, ඔබට විරුද්ධ දේ කරන්න, ඔබ කෙලින් සිටගන්න. දේව භය ඇතිව කි‍්‍රයාකරන්න.

දානියෙල් 6:23-26
23එකල රජ ඉතා සන්තෝෂවී, දානියෙල් ගුහාවෙන් ගොඩගන්ට අණකෙළේය. එසේ දානියෙල් ගුහාවෙන් ගොඩගන්නාලද්දේය, කිසි අනතුරක්ද ඔහුට සිද්ධ නොවී තිබුණේය, මක්නිසාද ඔහු තමාගේ දෙවියන්වහන්සේ කෙරේ විශ්වාසකෙළේය. 24එවිට දානියෙල් කෙරෙහි වරද තැබූ ඒ මනුෂ්‍යයන් රජුගේ ආඥාව පිට ගෙනවුත්, ඔවුන් සහ ඔවුන්ගේ දරුවන්ද භාර්යාවන්ද සිංහ ගුහාවේ දැමුවෝය; ඔවුන් ගුහාවේ අඩියට පැමිණෙන්ටත් පළමුවෙන් සිංහයෝ ඔවුන්ගෙන් ජයගෙන, ඔවුන්ගේ ඇට සියල්ල කැබලි කළෝය. 25එකල දාරියුස් රජ මුළු පොළොවෙහි වසන සියලු ජනයන්ටත් ජාතීන්ටත් භාෂාවන්ටත් ලියා යවනුයේ: නුඹලාට සමාදානය වැඩිවේවා. 26මාගේ රාජ්‍යයේ ආණ්ඩුව පවතින සෑමතැනම මනුෂ්‍යයන් දානියෙල්ගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි වෙවුලා භය වෙන හැටියට අණකරමි. මක්නිසාද උන්වහන්සේ ජීවමානවූ සදාකාලයටම සිටින්නාවූ දෙවියන්වහන්සේය, උන්වහන්සේගේ රාජ්‍යය නැති නොවී, උන්වහන්සේගේ ආණ්ඩුව කෙළවර දක්වා පවත්නේය.

ඔබ ධර්මිෂ්ඨව දේව භය ඇතිව සිටින්න. භය වෙන්න එපා කිසි දෙයකට කෙලින් සිටගන්න. දෙවියන්වහන්සේ ඔබ වෙනුවෙන් නැගී සිටිනවා.


Watch the Sermon Video

Read 408 times