+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබ දේව භයින් සිටින්නේද? - යෝෂා මනූ
August 28, 2022 Sunday Sermon Notes

 

අපගේ දරුවන්ට අපි කුඩා කාලයේ පටන් දෙවියන්වහන්සේ ගැන කියා දෙන්නට අවශ්‍යයි.

ඒ් අයට අප මඟ පෙන්වීමක් උපකාරයක් ලබා දිය යුතුයි.

දෙවියන්වහන්සේගේ මාර්ගයේ ගමන් කරන පිණිස දේව වචනය ඉගැන්විය යුතුයි.

අපගේ දරුවන්ට අපි බයිබලය කියවන්නට යාච්ඤා කරන්නට කියා දිය යුතුයි.

ස්වාමීන්වහන්සේ තුළ සිටින දෙමව්පියන් ලෙස අපි ඒ වගකීම ගැනීම ඉතා වැදගත්ය.

අපි අපගේ දරුවන්ගේ ජීවිතයේ පළමුවැන්නා දෙවියන්වහන්සේ ලෙස සිතන්නට පෙළඹවිය යුතුයි. ඒ අය තුළ ස්වාමීන්වහන්සේ කෙරෙහි ආශාවක් ඇති කරන්නට අවශ්‍යයි.

දරුවන්ට පාසැල් වලින් ලැබෙන අධ්‍යාපනයෙන් පමණක් මඟ පෙන්වනවා නම්, ඒ් අය වැඩි වයසට පැමිණි කල ලෝකාකාරව, මාංශාකාරව ජීවත් වෙන්ට තෝරා ගැනීම පුදුමයට පත් වෙන කාරණාවක් නොවනු ඇත.

මන්ද අද අප දකින්නේ තරුණ වියට පැමිණෙන පරම්පරාව දෙවියන්වහන්සේව සොයන්ට ඔවුන් තුළ කිසි පිපාසයක්වත් නැති බවයි.

දෙවියන්වහන්සේ ජීවමාන බවත් ඒ් දරුවන්ට උන්වහන්සේ සමඟ සම්බන්ධකමක් ගොඩනගා ගන්නට හැකි වන ආකාරය කියා දීම දෙමාපියන් හැටියට අපගේ වගකීමයි.

අපි අද දින ආබ‍්‍රහම්ගේ ජීවිතය ගැන බලමු.

දෙවියන්වහන්සේ ආබ‍්‍රහම්ව කැඳවූ අවස්ථාවේදී ඔහු සිටියේ අන්‍ය ජාතිකයෙකු ලෙසයි.

ආබ‍්‍රහම්ට ඇදහිල්ලේ පියා වෙන්නට වසර ගණනාවක් ගත විය.
ඔහු ඇදහිල්ලේ ගමන ආරම්භ කරන විට වයස 75ක් ව සිටියා.

දේව භය අපගේ ජීවිතයේ දවසකින් ඇති වන දෙයක් නොවේ.

අපි ගැළවීම ලැබූ දා, අපගේ හදවතට දෙවියන්වහන්සේ පැමිණියා, අප නව මැවිල්ලක් බවට පත් වුණා.

දෙවියන්වහන්සේ මේ ඇදහිල්ලේ ගමනට ආබ‍්‍රහම්ව කැඳවූවායින් පසුවද, ඔහු අතින් බොහෝ වැරදීම් සිදුවුණා, වැරදි තීරණ පවා ඔහු ගනු ලැබුවා; නමුත් ඔහු වෙනුවෙන් තිබූ දේව කැමැත්ත කිසිදා වෙනස් වුයේ නැත.

අපි ඉපදෙන්නටත් කලින් උන්වහන්සේට අප වෙනුවෙන් සැලැස්මක් තිබෙනවා. අපි ඒ සැලැස්ම සොයා, එය මේ පොළොවේ ඉෂ්ට කළ යුතුයි.

දේව භය අපගේ මුලු ජීවිත කාලයේම තිබිය යුතු දෙයක්.

අපි ගැළවීම ලබා ගත් මුල් කාලයේ මේ පිපාසය තිබුණත් ඒ් කැපවීම වර්ධනය කර ගැනීමට අවශ්‍යයි.

දේව දරුවන් ලෙස අපට අද උතුම් ගිවිසුමක් තිබෙනවා. අපි යේසුස්වහන්සේගේ ලේ වලින් පවිත‍්‍රවූ සෙනගක්. අප දැන් සිටින්නේ යේසුස් කි‍්‍රස්තුස්වහන්සේ තුළයි.

දෙවියන්වහන්සේ පූජාසනය මත ඊසාක්ව පූජා කරන ලෙස ආබ්‍රහම්ට පැවසූ විට ඔහු එයට කීකරු වූවා.

දෙවියන්වහන්සේට පූජා ඔප්පු කිරීම ආබ්‍රහම් නිතරම කළ දෙයකි.

මෙදා දවසේදී දෙවියන්වහන්සේ ආබ‍්‍රහම්ට පැවසුවේ, ඔබේ පුත‍්‍රවූ ඔබ පේ‍්‍රම කරන ඔබේ එකම පුත‍්‍රවූ ඊසාක් රැගෙන මොරියා දේශයට ගොස් ඒ කන්දේ දවන පූජාවක් ලෙස ඔප්පු කරන්න කියාය. උත්පත්ති 22:2.

දවන පුජාව යනු, අල්තාරයක් සාදා ඒ පූජාසනය මත බැටළුවෙකු තබා ඔහු මරා, ලේ වගුරුවා, පසුව පුලුස්ස ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳ පූජාවක් ලෙස ඔප්පු කිරීමයි.

මේ කන්ද නගින අවස්ථාවේදී තරුණ වයසේ සිටි ඊසාක්ද: “අපි ළඟ ගින්දරත් දරත් තිබෙනවා නමුත් දවන පූජාවට බැටළුපැටවා කොයිදැ”යි ආබ‍්‍රහම්ගෙන් ඇසුවේය.

ආබ‍්‍රහම් පැවසුවේ කුමක්ද? දෙවියන්වහන්සේම දවන පූජාවක් පිණිස බැටළුපැටවා සපයා ගන්නවා ඇත යනුවෙනි.

දැන් ආබ‍්‍රහම් මේ තරුණ පුතාව පූජාසනයේ තබා මරන පිණිස පිහිය ගත් අවස්ථාවේදී:

උත්පත්ති 22:11
එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා ස්වර්ගයෙහි සිට ඔහුට අඬගසා: ආබ්‍රහම්, ආබ්‍රහම්යයි කීයේය. ඔහුද: මම මෙහියයි කීය.

උත්පත්ති 22:12
දේවදූතයා: නුඹේ අත තරුණයා පිට නොතබව, ඔහුට කිසිවක් නොකරව. මක්නිසාද නුඹේ පුත්‍රයා, නුඹේ එකම පුත්‍රයා මාගෙන් නොවැළැක්වූ බැවින් නුඹ දෙවියන්වහන්සේට භයවෙන බව දැන් දනිමියි කීයේය.

මෙතෙක් කාලයක් ආබ‍්‍රහම් දෙවියන්වහන්සේ සමග ඇදහිල්ලේ ගමන් කළත්, මේ අවස්ථාවේදී උන්වහන්සේ ආබ‍්‍රහම්ගේ හදවත තුළ තිබුණු කැපවීමත් විශ්වාසවන්තකමත් දුටුවේය.

එහෙත් ආබ්‍රහම් ඇදහිල්ලේ වීරයෙකු ලෙස මේ ගමන ආරම්භ කළේ නැත.

ආබ්‍රහම් ඇදහිල්ල හා කීකරුකම වර්ධනය කිරීමෙන් ආදර්ශයක් වූ ලෙස අපි දකිමු.

අපි දේව භය ඇතුව, දෙවියන්වහන්සේට කැපවූ ජීවිතයක් ගත කරමු.

රෝම 10:17 මෙසේ ඇසීමෙන් ඇදහිල්ලද ක්‍රිස්තුස්වහන්සේගේ වචනයෙන් ඇසීමද පැමිණෙන්නේය.

රෝම 4:12 අපගේ පියවූ ආබ්‍රහම් අචර්මඡේදිතව සිටිය කල්හි, ඔහුට තිබුණු ඇදහිල්ලේ අඩිපාරේ යන්නෝව සිටින්නන්ට චර්මඡේද්‍යයේ පියා වන පිණිසත්ය.

ආබ්‍රහම් ඇදහිල්ලේ පියවරවල් ගත්තේය.

දෙවියන්වහන්සේ පියවරෙන් පියවර ඔහුගේ ඇදහිල්ල ගොඩනැංවූයේය.

ස්වාමීන්වහන්සේ තුළ පවතිමින් අපි අපගේ මනස වෙනස් කර ගැනීමට කැප විය යුතුයි.

අපිත් ඇදහිල්ලේ පියවරවල් ගනිමු.

ගලාති 3:9
මෙසේ ඇදහිල්ලෙහි පිහිටෙන්නෝ ඇදහිලිවන්තවූ (විශ්වාසවන්තවූ) ආබ්‍රහම් සමඟ ආශීර්වාද ලබති.

ආබ්‍රහම් විශ්වාසවන්තව කි‍්‍රයා කළේය.

යෙසායා 51:1-2
ධර්මිෂ්ඨකම අනුවයන්නාවූ, ස්වාමීන්වහන්සේ සොයන්නාවූ තැනැත්තෙනි, මට කන්දෙන්න. නුඹලාව කොටාගත්තේ මොන පර්වතයකින්ද කියාත් නුඹලාව හාරාගත්තේ මොන ගල්වළකින්ද කියාත් බලන්න. නුඹලාගේ පියවූ ආබ්‍රහම්ද නුඹලා බිහිකළ සාරාද බලන්න. මක්නිසාද ඔහු එක්කෙනෙක්ව සිටිද්දී මම ඔහු කැඳවාගන, ඔහුට ආශීර්වාදකොට, ඔහු වැඩි කෙළෙමි.

අපි ආබ්‍රහම්ව ආදර්ශයට ගනිමු.

උත්පත්ති 11:30-32 තේරා තමාගේ පුත්‍රවූ ආබ්‍රම්ද තමාගේ පුත්‍රවූ හාරාන්ගේ පුත්‍රයා වන ලොත්ද තමාගේ පුත්‍රවූ ආබ්‍රම්ගේ භාර්යාව වන තමාගේ යෙහෙළිවූ සාරයිද කැඳවාගෙන ඔවුන් සමඟ කානාන් දේශයට යන පිණිස ඌර් නම් වූ කල්දිවරුන්ගේ නුවරින් පිටත්ව ගොස් හාරාන්ට පැමිණ එහි වාසයකෙළේය. තේරාගේ දවස් දෙසිය පස් අවුරුද්දක්ය; තේරා හාරාන්හිදී මෙළේය.

පොරොන්දු දේශයට යන පිණිස පළමුව දෙවියන්වහන්සේගේ කැඳවීම ලැබුණේ ආබ‍්‍රහම්ගේ පියා වන තේරාටයි. නමුත් තේරා හාරාන්ට පැමිණි පසු එහි කූඩාරම් තනා වාසය කරමින් එම ස්ථානයේ මළේය.

ඉන්පසු දෙවියන්වහන්සේ ඒ කැඳවීම ආබ‍්‍රහම්ට ලබා දුන්නේය.

උත්පත්ති 12:1‭-‬3
ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට කථාකොට: නුඹේ දේශයෙන්ද නුඹේ නෑයන් කෙරෙන්ද නුඹේ පියාගේ ගෙදරින්ද පිටත්ව මා විසින් නුඹට පෙන්වන දේශයට යන්න.
2 මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි; නුඹට ආශීර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි; නුඹද ආශීර්වාදයක් වෙන්න. තවද නුඹට ආශීර්වාද කරන්නන්ට මම ආශීර්වාද කරන්නෙමි, නුඹට ශාපකරන්නාට මම ශාපකරන්නෙමි. පොළොවේ සියලු පවුල් නුඹ කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝයයි කීසේක.

ආබ්‍රම්ට පැවසුවේ තමාගේ දේශයෙන්ද තමාගේ නෑයන් කෙරෙන්ද, පියාගේ නිවසෙන්ද පිටතට පැමිණෙන්නට කියාය.

දෙවියන්වහන්සේ ඔහුට කීවේ:

1 මම ඔබට දේශයක් දෙන්නෙමි. එනම් කානාන් දේශයය.

2 මම ඔබව මහත් ජාතියක් (වංශයක්) කරන්නෙමි. ඒ වංශය තුළින් යේසුස්වහන්සේ පැමිණියේය.

3 එසේම ඔබට ආශීර්වාද කර ඔබේ නාමය කීර්තිමත් කරන්නෙමි. ඔබද ආශීර්වාදයක් වෙන්න. තවද ඔබට ආශීර්වාද කරන්නන්ට මම ආශීර්වාද කරන්නෙමි, ඔබට ශාපකරන්නාට මම ශාපකරන්නෙමි. පොළොවේ සියලු පවුල් ඔබ කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝයයි කීසේක.


Watch the Sermon Video

Read 373 times