+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මනුෂ්‍යයන් යේසුස්වහන්සේ ගැන පුදුම වූසේක - මනූ මැතානි
October 2, 2022 Sunday Sermon Notes


දෙවියන්වහන්සේ ජීවමාන බලවන්ත දෙවියන්වහන්සේය.

ස්වාමීන්වහන්සේට යටහත්ව ජීවත්වන සෙනඟට උන්වහන්සේගේ ආශීර්වාදය, අනුග‍්‍රහය, විශේෂ අනුග‍්‍රහය සහ අනුග‍්‍රහය තුළින් විපාක ලැබෙනු ඇත.

සභාවක් ගොඩ නැගීමේ දී බොහෝ අය පිටස්තර දේ කෙරෙහි අවධානය දක්වති.

එහෙත් සභාව කියන්නේ කුමක්ද කියා විශේෂ අදහසක් දේව වචනය අපට පෙන්නුම් කර දෙයි.

1 තිමෝති 3:15
මා ප්‍රමාදවුණොත් දෙවියන්වහන්සේගේ ගෘහයෙහි මනුෂ්‍යයන් කෙසේ හැසිරිය යුතුද කියා නුඹ දැනගන්නා පිණිසය. එය ජීවමාන දෙවියන්වහන්සේගේ සභාවත් සැබෑවේ කනුව සහ අත්තිවාරමත්ය.

සමහරුන් අනුග‍්‍රහයේ වචනය කියා තමුන්ගේ පහසුවට ලෙහෙසියට තමුන්ට කැමති දේ පිළි අරගෙන කැමති දේ ඉවත් කරගෙන පරණ ගිවිසුමෙන් අලුත් ගිවිසුම වෙන්කරගෙන ඇත.

නමුත් අපට මෙලෙස වෙන්කිරීමට නොහැක. පරණ ගිවිසුම තවමත් වලංගුය. මන්ද මෙම කොටස් දෙකම තුළ ක්‍රියා කරනුයේ දෙවියන්වහන්සේය.

සිදුවූයේ පාපය කමා කරගැනීමට තිබුණාවු බැටළුවන් පූජා කිරීම වැනි යාග පූජා මංගල්‍යයන්, යේසුස්වහන්සේගේ ජීවිත පූජාව තුළින් අවලංගු කිරීමයි.

අපි සෑම කෙනෙකුම නව ගිවිසුමේ සේවකයන්ය. අපගේ වගකීම ලෝකයාට සුභාරංචිය කියා දීමයි. එහිදී හරි දේ ප‍්‍රකාශ කළ යුතුයි.

සභාවක් යනු, මනුෂ්‍යයන්ට ලැබෙන ආත්මීක ආහාරය.

එනම් ආත්මික වර්ධනය සඳහා, ආත්මිත මඟ පෙන්වීම සඳහා, තමාගේ දියුණුව සඳහා ජීවිතය ගෙන යායුතු ආකාරය, තම ජීවිතය පිහිටුවාගෙන උන්වහන්සේගේ සුරක්ෂිතභාවය ඇතුව සිටීම, එමෙන්ම උන්වහන්සේගේ සේවයේ යෙදී සිටීම යන සියල්ලටමයි.

නව ගිවිසුම තුළ අප සියල්ලන්ම දෙවියන්වහන්සේගේ සේවකයන්ය.

ඔබ තුළ ශුද්ධාත්මයාණන් සිටිනවා නම් ඔබ දේව සේවකයෙක්ය.

දෙවියන්වහන්සේ ශුද්ධාත්මයාණන් එවනු ලැබුවේ සාක්ෂි දැරීමටය.

අප පොළොවේ ලුනු හා දෙවියන්වහන්සේගේ ආලෝකයයි.

සභාව යනු යම් ගොඩනැගිල්ලක් නොව, නමුත් ස්වාමීන්වහන්සේගේ සෙනඟයි.

මතෙව් 13:51-52
නුඹලා මේ සියල්ල තේරුම්ගත්තහුදැයි ඇසූසේක. එසේයයි ඔව්හු උන්වහන්සේට කීවෝය. එවිට උන්වහන්සේ ඔවුන්ට කථාකොට: එහෙයින් ස්වර්ග රාජ්‍යය සඳහා ගෝලයෙක්වී සිටින යම් ලියන්නෙක් ඇද්ද, ඔහු තමාගේ ගබඩාවෙන් අලුත් දේත් පරණ දේත් පිටතට ගෙනෙන්නාවූ ගෙදර ස්වාමියෙකුට සමානයයි කීසේක.

පරණ ගිවිසුමේද දෙවියන්වහන්සේ සෙනඟව තෝරා ගත්තේ උන්වහන්සේ තුළ ශුද්ධ ජීවිත ගතකිරීමටය.

ද්විතීය කථාව 6-8 පරිච්ඡේද ද කියවන්න.

අපි පරණ ගිවිසුම ඉවත් කරන්නේ නැත.
පරණ ගිවිසුමේ තිබෙන පොරොන්දු අපට අයිතියි.

පරණ ගිවිසුම කියවා එහි තිබෙනා දේ අප තෝරා බේරා අලුත් ගිවිසුමට අදාල කර ගන්නා ආකාරය අප ඉගෙන ගත යුතුය.

බයිබලයේ උත්පත්ති සිට එළිදරව් දක්වා සෑම පොරොන්දුවක්ම දී තිබෙන්නේ යේසුස්වහන්සේටය. එම නිසා යේසුස්වහන්සේ තුළ අප සිටින හෙයින් එම පොරොන්දු අපට හිමි වී ඇත.

අප බයිබලයේ කිසිම පදයක් සුලු නොකළ යුතුය.

1 තිමෝති 3:15
මා ප්‍රමාදවුණොත් දෙවියන්වහන්සේගේ ගෘහයෙහි මනුෂ්‍යයන් කෙසේ හැසිරිය යුතුද කියා නුඹ දැනගන්නා පිණිසය. එය ජීවමාන දෙවියන්වහන්සේගේ සභාවත් සැබෑවේ කනුව සහ අත්තිවාරමත්ය.

පාවුල් තිමෝතිට සභාව යනු කුමක්දැයි පහදා දී ඇත.

එළිදරව් 22:18‭-‬19
මේ පොතේ අනාගතවාක්‍ය වචන අසන සියල්ලන්ට මෙසේ සහතිකලෙස කියමි, එනම්: යමෙක් ඒ වචනවලට යමක් එකතුකරන්නේ නම්, දෙවියන්වහන්සේ මේ පොතෙහි ලියනලද පීඩා ඔහුට එකතු කරනසේක. යමෙක් මේ අනාගතවාක්‍ය පොතේ වචනවලින් යමක් අහක්කරන්නේ නම්, මේ පොතෙහි ලියා තිබෙන ජීවන-වෘක්ෂයෙන්ද ශුද්ධ නුවරින්ද දෙවියන්වහන්සේ ඔහුගේ කොටස අහක්කරන සේක යනුයි.

මුළු බයිබලයම අපට දී තිබෙන අනාගතය වාක්‍යයයි.

මේ වචනයට අප කිසිදෙයක් එකතු කරන්නත් අඩු කරන්නත් නොහැකියි.

දෙවියන්වහන්සේ ඊයෙත් අදත් එකාකාරය. උන්වහන්සේ වෙනස් වී නැත. උන්වහන්සේ වෙනස් වන්නෙත් නැත.

හිතෝපදේශ 1:20-29
ප්‍රඥාව වීථියෙහි මොරගසයි; එළිමහන් ස්ථානවල ඇගේ හඬ පවත්වයි; මනුෂ්‍යයන් රැස්වෙන මංසන්ධිවල ඈ කෑගසයි; නුවරට ඇතුල්වෙන දොරටු ළඟ සිට ඇගේ බස් පවසයි. එනම් නුවණ නැත්තෙනි, නුඹලා අනුවණකමට කැමතිවන්නෙත්, නින්දාකරන්නන් නින්දාකිරීමට ප්‍රසන්නවන්නෙත්, අඥානයන් දැනගැන්මට ද්වේෂකරන්නෙත් කොතෙක් කල්ද? මාගේ අවවාදයට හැරෙන්න. මෙන්න, මාගේ ආත්මය නුඹලා කෙරෙහි වගුරුවන්නෙමි, මාගේ වචන නුඹලාට දන්වන්නෙමි. මක්නිසාද මම අඬගැසීමි, නුඹලා අකැමැතිවූහුය; මාගේ අත දිගුකෙළෙමි, කවරෙක්වත් සැලකුවේ නැත; නුඹලා මාගේ සියලු දැනමුතුකම් සුළුකොට, මාගේ අවවාදය කොහෙත්ම පිළිනොගත්තාහුය. එබැවින් මමත් නුඹලාගේ විපත්ති දවසේදී සිනාසෙන්නෙමි; නුඹලාට භය පැමිණෙන විටද, නුඹලාගේ භීතිය කුණාටුවක් මෙන් පැමිණෙන විටද, නුඹලාගේ විනාශය සුළි හුළඟක් මෙන් එනවිටද, නුඹලා කෙරෙහි විපතත් දුකත් පැමිණෙන විටද, මම සරදම්කරන්නෙමි. එවිට ඔවුන් මට හඬගසන නුමුත් මම උත්තර නොදෙන්නෙමි; ඔවුන් බොහෝසේ මා සොයන නුමුත් මා සම්බවන්නේ නැත. මක්නිසාද ඔව්හු දැනගැන්මට ද්වේෂකොට, ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම තෝරා නොගෙන සිටියෝය.

හිතෝපදේශ 1:30‭-‬33
ඔව්හු මාගේ දැනමුතුකමට මුළුමනින්ම අප්‍රසන්නවී, මාගේ සියලු අවවාද සුළුකළෝය. එබැවින් ඔව්හු තමුන්ගේම ක්‍රියාවල ඵල ලබන්නාහුය, තමුන්ගේම මන්ත්‍රණවලින්ද තෘප්තියට පැමිණෙන්නාහුය. මක්නිසාද නුවණ නැත්තෝ තමුන්ගේ පසුබටවීම නිසා මැරුම්කන්නෝය. අඥානයෝ තමුන්ගේ නොසැලකිලිකම නිසා නැතිවන්නෝය. නුමුත් මට ඇහුම්කන්දෙන තැනැත්තේ සුවසේ වාසයකොට, විපතට භයනොවී, නිශ්චලව සිටින්නේය.

හිතෝපදේශ පොත දිනපතා කියවන්න.
එය සියලු දෙනාටම කථාකරන ඉතා වැදගත් පොතකි.
ශුද්ධාමයාණන්වහන්සේ අපට මඟ පෙන්වන්නට අවවාද උපදෙස් ලබා දෙයි.

දේව වචනය අපට ප්‍රඥාවයි එය අපට දැනමුතුකම ලබා දෙයි. මඟ පෙන්වයි. පිළිතුරු ලබා දෙයි.

අපගේ සෑම දෙයටම පිළිතුරක් බයිබලයේ ඇත.

යෝෂුවා 1:7-9 මේ වචනය තුළ පවතින්න. සත්‍යතාවයේ ආත්මය ඔබට මඟ පෙන්වයි.

ශුද්ධාමයාණන්වහන්සේ සත්‍යතාවයේ ආත්මයයි. උන්වහන්සේ අපට ප්‍රඥාව සහ ආරක්ෂාව ගෙන දෙයි.

හාස්කම් සිදුවන්නේ ස්වාමීන්වහන්සේගේ කැමැත්තෙන්ය.

මතෙව් 13:53‭-‬54
තවද යේසුස්වහන්සේ මේ උපමා කියා නිමකළායින් පසු එතැනින් පිටත්ව ගියසේක. උන්වහන්සේ තමන්ගේ රටට පැමිණ, ඔවුන්ගේ සිනගෝගයෙහිදී ඔවුන්ට ඉගැන්වූසේක. ඔව්හු විස්මපත්ව: මොහුට මේ ප්‍රඥාව සහ බලවත් ක්‍රියා කොයින්ද?

යේසුස්වහන්සේ සිනගෝගයට පැමිණි අවස්ථාවේදී වචනය ඉගැන්වූ සේක.

ඉගැන්වීමේ සේවය ඉතා වැදගත්ය.

යමක් ඉගෙන ගත් විට අපට අවබෝධයක් ඇතිවේ, තේරුම් ගැනීමක් ඇතිවේ, යම් දෙයක් වටහා ගැනීමටද හැක.

ඉගෙන ගැනීමට ආශාවක් උනන්දුවක් තිබිය යුතුය.

අප සියල්ල ඉගෙන ගෙන අවසන්යැයි කිව නොහැක. මන්ද මේ පොළොවේ ජීවත්ව සිටින තුරු අපට ඉගෙනීමට දේ ඇත.

මතෙව් 13:55
මොහු වඩුවාගේ පුත්‍රයා නොවේද? මොහුගේ මවුගේ නම මරියා නොවේද? මොහුගේ සහෝදරයෝ යාකොබ්, යෝසෙප්, සීමොන් සහ යූදස් නොවෙද්ද?

මනුෂ්‍යයන් යේසුස්වහන්සේව දුටුවේ සාමන්‍ය මනුෂ්‍යයෙකු ලෙසයි.

මතෙව් 13:56
මොහුගේ සියලු සහෝදරියොත් අප අතරෙහි නොවෙද්ද? එසේවී නම් මේ සියල්ල මොහුට කොයින්ද කියා,

යේසුස්වහන්සේ කුඩා කාලයේ පටන් තමාගේ පියාණන් සමඟ සහභාගිකම් කළසේක.

යේසුස්වහන්සේගේ ඉගැන්වීම් දැක උන්වහන්සේට මෙවැනි ප‍්‍රඥාවක් කොහෙන්ද කියා මනුෂ්‍යයන් පුදුම වූහ.

ලෝකයේ මනුෂ්‍යයන් හා ගත කරද්දී අප ඉහළින් පැමිණෙන ප‍්‍රඥාව සමඟ ගමන් කළ යුතුයි. ඔබේ ඇදහිල්ලේ වචනයෙන් මනුෂ්‍යයන් පුදුමයට පත්විය යුතුයි.

ඔබ තුළ වාසය කරන දෙවියන්වහන්සේ සමඟ ඔබ බැඳී ජීවත් වන්න.

ඔබ සත්‍යයෙන් ජීවත් වන්න.

පරණ ගිවිසුමේ මනුෂ්‍යයන් කළාවු වැරදි අප නොකළ යුතුයි.

පරණ ගිවිසුමේ දේ අලුත් ගිවිසුමේ සදහන් කර ඇත්තේ අපට පාඩමක් ඉගෙන ගැනීමටයි.

1 කොරින්ති 10:5
එසේවී නුමුත් ඔවුන්ගෙන් වැඩිදෙනාට දෙවියන්වහන්සේ ප්‍රසන්න නොවූසේක. එබැවින් ඔව්හු කාන්තාරයෙහි හෙළාදමනු ලැබුවෝය.

මනුෂ්‍යයන් අනුග්‍රහයෙන් ඉවත් වුවහොත් නැවත යන්නේ ව්‍යවස්ථාවටයි.

1 කොරින්ති 10:6
ඉඳින් ඔවුන් නපුරු දේවලට ආශාවුණාක්මෙන් අප විසිනුත් ආශා නොවන පිණිස මේ කාරණා අපට ආදර්ශ විය.

පරණ ගිවිසුමේ මනුෂ්‍යයන් කළාවු දේවල් අප නොකරන ලෙසට ආදර්ශයක් වෙමු.

1 කොරින්ති 10:7
සෙනඟ කන්ටද බොන්ටද හිඳ, ක්‍රීඩාකරන්ට නැගුටුණෝයයි ලියා තිබෙන ලෙස, ඔවුන්ගෙන් සමහරෙකුමෙන් රූපවඳින්නෝ නොවෙන්න.

1 කොරින්ති 10:8-9 ඔවුන්ගෙන් සමහරෙක් වේශ්‍යාකම් කළාක්මෙන් අපි වේශ්‍යාකම් නොකරමු, එයින් එක දවසෙහි විසිතුන්දහස් දෙනෙක් විනාශවුණෝය. අපි ස්වාමීන්වහන්සේ පරීක්ෂා නොකරමු, ඔවුන්ගෙන් සමහරෙක් පරීක්ෂාකොට සර්පයන්ගෙන් නාස්තිවුණෝය.

දෙවියන්වහන්සේව කිසිදා පරීක්ෂා නොකරන්න.

දෙවියන්වහන්සේගේ වචනයට විරුද්ධව ක්‍රියා කළොත් යක්ෂයා ඔබට දෂ්ට කරන්නේය.

දේව ආරක්ෂාව අපට තිබෙන්නේ අපි ස්වාමීන්වහන්සේට කීකරු වූවොත් පමණි.

හෙබ්‍රෙව් 4:6
එබැවින් සමහරුන් ඊට ඇතුල්වන්ට ඕනෑ බැවිනුත් ඒ ශුභාරංචිය පළමුකොට ඇසූ අය අකීකරුකම නිසා ඇතුල් නූණ බැවිනුත්,

නොඇදහිලිකාරකම සහ අකීකරුකම යනු එකම දෙයකි.

ඇදහිල්ලෙන් පියවර ගැනීම වැදගත්ය.

ඇදහිල්ලෙන් පියවරක් ගන්නවා යනු දේව හඬට කීකරුව ඒ දේ කිරීමයි.

නොඇදහිලිකාරව ගමන් කරනවා යනු අපගේ අකීකරුකමයි.

යේසුස්වහන්සේ පේත්‍රැස්ට පැවසුවේ මසුන් අල්ලන පිණිස මුහුදට දැල් දමන්න. ඔහු ඇදහිල්ලෙන් කීකරු වූවේය. නමුත් ඔහු හෙලනු ලැබුවේ එක් දැලකි.

ස්වාමීන්වහන්සේට අකීකරුකමින් ක්‍රියා කිරීමෙන් අපට අයහපත් ප්‍රතිඵල ගෙන දෙයි.

යාකොබ් 2:19-20
ඇත්තේ එකම දෙවියන්වහන්සේ බව නුඹ විශ්වාසකරන්නෙහිය; නුඹ කරන එක හොඳය. යක්ෂයොත් විශ්වාසකර වෙවුලති. නුමුත්, හිස්වූ මනුෂ්‍යය, ක්‍රියා නැති ඇදහිල්ල නිෂ්ඵල බව නුඹ දැනගන්ට කැමතිද?

ආබ්‍රහම් ඇදහිල්ල සමඟ කීකරකමෙන් තමාගේ පුත‍්‍රවූ ඊසාක් පූජා කළ නිසයි ඔහු ආශීර්වාද ලැබුවේ.

දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට ආශීර්වාද කළහ.

රාහබ්ටත් ඇය තුළ තිබුණු කීකරු කම නිසාදෙවියන්වහන්සේ ආශීර්වාද කළහ.

කීකරුකමෙන් ගන්න තීරණ ඉතා වැදගත්ය.

ද්වීතීය කථාව 7:2 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් නුඹ අතට පාවාදෙන්ටත් නුඹ ඔවුන්ට පහරදෙන්ටත් යෙදෙන කල්හිද නුඹ ඔවුන් සමඟ කිසි ගිවිසුමක් නොකොට, ඔවුන්ට කරුණා නොකොට, ඔවුන් සහමුලින්ම විනාශකර දමන්න.

ද්වීතීය කථාව 7:3
ඔවුන් සමඟ ආවාහ විවාහ නොකරන්න; නුඹේ දුව ඔහුගේ පුත්‍රයාට පාවා නොදෙන්න, ඔහුගේ දුව නුඹේ පුත්‍රයාට පාවා නොගන්න.

ද්වීතීය කථාව 7:4‭-‬6
මක්නිසාද ඔවුන් අන් දෙවිවරුන්ට සේවයකරන පිණිස නුඹේ පුත්‍රයා මා අනුව යාමෙන් අහකට හරවාගන්නවා ඇත. එවිට ස්වාමීන්වහන්සේගේ උදහස නුඹට විරුද්ධව ඇවිළ උන්වහන්සේ වහාම නුඹ විනාශකරනවා ඇත. එහෙත් ඔවුන්ට මෙසේ කරන්න: ඔවුන්ගේ පූජාසන කඩාදමා, ඔවුන්ගේ රූපස්තම්භ බිඳදමා, ඔවුන්ගේ අෂේරා කණු කපාදමා, ඔවුන්ගේ රූප ගින්නෙන් දවන්න. මක්නිසාද නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ශුද්ධ සෙනඟක්ය. පොළෝතලයෙහි සිටින සියලු මනුෂ්‍ය වර්ගයන් අතරෙන් ස්වාමීන්වහන්සේ තමන් සන්තක සෙනඟක් වන පිණිස නුඹ තෝරාගත් සේක.

ස්වාමීන්වහන්සේට විරුද්ධ අය හා එක්ව ගිවිසුම් ඇතිකර ගන්නවාට දෙවියන්වහන්සේ ප‍්‍රසන්න නොවන සේක.

ද්වීතීය කථාව 7:7
ස්වාමීන්වහන්සේ නුඹලා කෙරෙහි ඇලුම්වී නුඹලා තෝරාගත්තේ අන් සියලු ජනයන්ට වඩා නුඹලා ගණනින් වැඩි නිසා නොවේ; මක්නිසාද නුඹලා අන් සියලු ජනයන්ට වඩා ස්වල්ප වූහුය.

දෙවියන්වහන්සේට අවශ්‍යයව තිබෙන්නේ ශුද්ධ සෙනඟක්ය.

යේසුස්වහන්සේ තමන්ගේ නුවරට පැමිණි අවස්ථාවේ සෙනඟ දුටු උන්වහන්සේගේ වෙනස ඔබගේ ජීවිතය තුළ තිබෙනවාද?

ඔබගේ ජීවිතයේ අභ්‍යන්තරයෙන් එන අවංකභාවය විශ්වාසභාවය ඔබ මනුෂ්‍යයන්ට දකින්ට ඉඩ දෙන්න.

ඔබගේ කථාවෙන් නොව ක්‍රියාවෙන් මනුෂ්‍යයාට ඔබගේ ස්ථීරභාවය පෙන්නුම් කරන්න.


Watch the Sermon Video

Read 356 times